IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


පත්තරේ පිටු සංස්කරණය කළාට නිර්මාණ හැකියාව ඔපමට්ටම් වෙන්නේ නෑ

සාමීචිය

1987 දී නම් ගම් උපත රචනා කරමින් සාහිත්‍යකරණයට අත්පොත් තබන ඇය දශක ගණනාවක් පුරා සාහිත්‍ය කෙත පෝෂණයට තමාට  ඇති හැකි තරමින් දායක වූවාය.ඇය මේ වන විට ටිකිරි කතන්දර,ප්‍රීතිමත් කුමාරයා,උණ පඳුරයි බුරුත ගහයි,කොමඩු හේනේ යාළුවෝ,ආර්.කේ නාරායන්ගේ කතා,අහිංසා,පැංචලා සහ පැංචිලා, වැනි පොත් ගණනාවක් ලියා පළ කර තිබේ.ඇගේ අලුත්ම කෘතිය "මිෂ්කයි මමයි" වේ.එය මරදානේ සූරිය  ප්‍රකාශනයකි.

ඇය එක් පැත්තකින් ළමා කතා රචිකාවියකි.තවත් පැත්තකින් පරිවර්තිකාවකි.  තවත් පැත්තකින් ප්‍රවීණ පුවත්පත් කලාවේදීනියක ලෙසත් දීර්ඝ කාලයක් කටයුතු කළාය.ඇය  දැන් එමගින් ඉසඹු ලබා මද කාලයකි.පුවත්පත් කලාවට වෘත්තීමය වශයෙන් සමුදෙන විට ලංකාදීප පුවත්පතේ සම කර්තෘවරියක ලෙසද ඇය කටයුතු කළාය.ලංකාදීප මතුමහල මේ කතා බහ චන්ද්‍රිකා විජේසුන්දර නම් ප්‍රවීණ පුවත්පත් කලාවේදිනියගේ  නිර්මාණ ගමන් මග පිළිබදවය.

 

* අපේ කෘති අතර බහුතරයක් ළමා කෘති.ළමා සාහිත්‍යයට ඔබ මෙතරම් කැමැත්තක් දක්වන්නේ ඇයි?

මම රිවිරැස හරහා පුවත්පත් කලාවට එකතු වුණාට පස්සේ විවිධ පිටු සංස්කරණය කිරීමට අවස්ථාව ලැබුණා.එතනදි මම කැමැත්තෙන්ම උප කර්තෘවරියක් ලෙස කටයුතු කළ පිටුව තමයි ළමා පිටුව.මම අවුරුදු 12 ක්ම එක දිගට රිවිරැස පුවත්පතේ "තරුරැස" ළමා පිටුව සංස්කරණයට දායක වුණා.ඊට අමතරව ඒ පුවත්පතේම "කවුද මේ" නමින් රාජ්‍ය නායකයන් පිළිබඳ ලියූ ලිපි පෙළත් ළමයින් අතර ගොඩක් ජනප්‍රිය වුණා.මම සංස්කරණය කළ පිටුව හරහා මට නිරන්තරයෙන්ම දරුවන් සමග  සම්බන්ධ වී වැඩ කිරීමට අවස්ථාව ලැබීමත්  එක්ක ළමා සාහිත්‍යයටත් මගේ තියෙන කැමැත්ත වැඩි වුණා.

 

*දරුවන්ට ලිවිය යුතු භාෂාව ලේඛිකාවක් විදියට ඔබ අල්ල ගත්තේ කොහොමද?

ටිකිරි කතන්දර ළමා කෘතිය රචනා කරන කාලේදිම ළමයින්ගේ සිතුවිලි ළමයින් හිතන පතන විදිය පිළිබඳව අවබෝධයක් ලබාගන්න මට හැකිවුණා කියලා මම හිතනවා.මම නිර්මාණයක් කරන හැම අවස්ථාවකම ළමයින් හිතන්නේ කොහොමද  කියලා තමයි කතන්දරය රචනා කළේ.ළමා සිතිවිලි තේරුම් ගැනීම හරහා ළමයිනුත් මගේ කෘතිවලට කැමති වුණා.

 

*ඔබේ අලුත්ම කෘතිය "මිෂ්කයි මමයි". මෙහි කතා තේමාව හා මෙය අපේ දරුවන්ට වැදගත් වන්නේ කවර ආකාරයටද? 

මිෂ්කයි මමයි රුසියානු කතා පොතක්.එය NIkolai Nosov රචකයා තමයි රචනා කර තිබෙන්නේ.රුසියාවේ කලින් ළමා සාහිත්‍යයක් කියල දෙයක් තිබුණේ නැහැ.එය බිහි වුණේ රුසියන් විප්ලවයෙන් පස්සේ.රුසියාවේ ජනප්‍රිය ලේඛකයන් රාශියක් ළමා සාහිත්‍යයටත් එකතු වුණා.Nikolai බොහොම දුප්පත් පවුලක ඉපදුණු කෙනෙක්.රැකියාවක් කරන ගමන් ඉගෙනගෙන ඔහු විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා ගියා.ලෝක යුද්ධය පටන් ගත් කාලයේ ලෝක සිනමාවත් ඔහු ඉගෙන ගත්තා.යුද්ධය ගැන චිත්‍රපටි හදන්න පටන් ගත්තා.ඔහු විවාහ වෙලා දරුවන් ලැබුණාම ඒ දරුවෝ නළවන්න එක එක කතන්දර කියන්න පුරුදු වෙලා තිබුණා.ඔහු ගොතපු කතන්දර පසුව පොත් විදියට ලියන්න පටන් ගත්තා.Nikolai විහිළු කතා රචකයෙක් විදිහට තමයි හඳුන්වන්නේ.හිනා යන කතා වුවත් ඒ කතාවල දරුවන්ට ගත හැකි දැනුමක් තිබුණා.මේ පොතේ කතා 11 ක් අඩංගු වී තිබෙනවා.එයින් කතා කීපයකම මිෂ්කයි මමයි ප්‍රධාන වෙනවා.මේ පොත ඉතාම කැමැත්තෙන් ප්‍රකාශයට පත් කළ සූරිය ප්‍රකාශන අධ්පති අතුල ජයකොඩි මහතාටත් මම ස්තූති වන්ත වෙනවා.

 

*ළමා කෘතියකින් දරුවකුට පණිවිඩයක් දිය යුතු යැයි ඔබ විශ්වාස කරනවද?

දරුවකුට ආදරය, කරුණාව, ඉවසීම, ත්‍යාගශීලී බව, සාමූහිකත්වය, අනුන්ට උදව් කිරීම දැන ගන්නට තිබෙන හොඳම මාධ්‍යයක් තමයි කතන්දර මාධ්‍යය.දරුවෝ ඒවා කියවල තමන්ගේ ජීවිතයටත් පාඩමක් ගන්නවා.දරුවෝ කතාවල චරිතවලින් ඉගෙන ගන්නවා.

 

*ඔබ සැබෑ ජීවිතයේදීත් සතුන්ට ප්‍රිය කරන චරිතයක්.පරිවර්තනය සඳහා කෘති තෝරාගැනීමේදී ඒකත් බලපෑවද?

රුසියන් ජනකතාවල ගොඩක් සත්තු ඉන්න චරිත තිබෙනවා.ඒ දරුවා ලොකු මහත් වෙන්නේ සත්තුත් එක්ක.මා රචනා කළ පැංචලා සහ පැංචිලා කෘතියෙත් සම්පූර්ණයෙන්ම අන්තර්ගත වන්නේ සත්ව කරුණාව.යම් පොතක් කියවගෙන යද්දි ඒ පොතේ සත්තු චරිත විදියට ඉන්නවනම් මට පරිවර්තනය කරන්න යම් ආසාවක් එනවා.ඒක නිරායාසයෙන්ම එන  හැඟීමක්.මිෂ්කයි මමයි පරිවර්තකය කරන ගමනුත් මම ඒක කියවලා රස වින්දා.කාලයක් මං ඒ පොත ලියන එක අත ඇරලා තිබුණේ මගේ ළග ඉදපු සතෙක් සම්බන්ධව තිබුණු පුද්ගලික අත්දැකීමක් නිසා.කාලයක් අත ඇරලා ඉඳලා රැකියාවෙන් ඉවත් වුණාට පස්සේ තමයි පොත සම්පූර්ණ කළේ.

 

*ලෝක සාහිත්‍යයන් අතරේ රුසියානු සාහිත්‍යයට ජනතාව මේ තරම් කැමති ඇයි?

රුසියානුයි විප්ලවයත් එක්ක තමයි රුසියානු සාහිත්‍යයේ නැගීම ඇතිවුණේ.අපේ රටේ 71 අරගලයටත් රුසියානු සාහිත්‍ය විශාල බලපෑමක් වුණා.ඒ කාලේ අපි කුඩා වුණත් අපිත් ඒ පොත් කියවන්න ගත්තා.වෙන සාහිත්‍ය කෘතිවලට වඩා රුසියානු පොත් ලංකාවට වැඩිපුර පැමිණීමත් මේ සාහිත්‍යයේ නැගීමට හේතු වෙන්න ඇති.ඒ වගේම රුසියානු සාහිත්‍ය නිර්මාණවල තිබෙන සාර්ථකත්වය එක්ක ලංකාවේ පාඨකයනුත් ඒවාට ආකර්ෂණය වුණා.රුසියානු සාහිත්‍යය අපේ රටේ විතරක් නෙවෙයි ඇමෙරිකාවෙත් ආදරයෙන් වැළඳ ගත්තා.රුසියානු පොත් වගේම රුසියානු සඟරාත් ලංකාවේ ව්‍යාප්ත වුණා.71 කැරැල්ල  කාලේ සමහරු ඒ සඟරා ගෙදර තියා ගන්නත් බය වුණා.රුසියානු පොත් ලංකාව අතර ව්‍යාප්ත වෙන්න තව හේතුවක් තමයි ඒවා පරිවර්තනය කළ පරිවර්තකයන්ගේ දක්ෂතාව.දැදිගම වී රොද්‍රිගු වැනි පරිවර්තකයන් ඒ කාර්යය ඉතාම හොඳින් කළා.රුසියාවේ යුද්ධය හා සීතල නිසා පීඩාවට පත්වෙලා ඉඳිද්දී ලේඛකයන් අමාරුවෙන් රචනා කරපු කෘති ලංකාවෙ පාඨකයාටත් ඒ ආකාරයටම දැනුණා. රුසියානු සාහිත්‍ය වගේම ඉන්දියානු සාහිත්‍යයත් අපට සමීපයි.

 

*දරුවන්ගේ අතේ අද තිබෙන්නේ පොත වෙනුවට ජංගම දුරකතනයයි.අනාගත පරම්පරාවේ රසවින්දනය ගැන අපට බියක් ඇතිවීම සාධාරණයි නේද?

දරුවෝ පොතපතින් ඈත් වෙන්න ලොකුම හේතුවක් බවට ජංගම දුරකතනය හේතූවෙලා තිබෙනවා.ජංගම දුරකතනයට ඇබ්බැහි වූ දරුවන් එයින් මුදාගන්න මවුපියන්ට සහ ගුරුවරුන්ට විශාල වගකීමක් තිබෙනවා.කුඩා කාලයේදීම ඒ වයසට ගැළපෙන පොත්පත් මවුපියන් දරුවන්ට ගෙනත් දිය යුතුයි.අපේ පාසල් කාලයේදී අපට ඒ පෙලඹවීම ගෙදරින් සහ පාසලෙන් ලැබුණා.දැන් එහෙම තත්වයක් පේන්න නැහැ.එක්තරා ජාත්‍යන්තර පාසලක මගේ ටිකිරි කතන්දර පොත නිර්දේශිත ග්‍රන්ථයක් වී  තිබුණා.ඒ පොත මුද්‍රණ වාර 32 ක්  පළ කළා.එහෙම අමතර පොත් නිර්දේශ කිරීම් පාසල්වලින් සිද්ධ කෙරෙන්න ඕනෑ.එතකොට තමයි දරුවෝ කියවන්න පෙලඹෙන්නේ.

 

*සමහරු නවකතා කෙටි කතා ලියන්න ආරම්භයක් විදියට ළමා කතාව යොදාගන්නා බව පේනවා.ළමා කතා කියන්නේ ලේඛන කලාවට අත්පොත් තබන මාධ්‍යයක්ද?

ඒක කවුරුහරි ආරම්භයක් කරගත්තාට වරදක් නැහැ.ඒ ලබාගන්න ගැම්ම එක්ක අපිට ඉදිරි පියවරකට යන්න පුළුවන්.ඒත් සිබිල් වෙත්තසිංහ  වැනි ලේඛිකාවන් හැමදාම ලිව්වේ දරුවෝ වෙනුවෙන් විතරයි.ළමා කතාවෙන් පටන් අරගෙන නවකතා, කෙටිකතා දක්වාම ආපූ අයත් ඉන්නවා.මම දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් ගැළපෙන පොත් රචනා කළා.

 

*ළමා පොත් කලාවේ ලාංකීය සංධිස්ථාන ලෙස ඔබ සලකන පොත් කවරේද?

මම පරිවර්තන පොත් පළ කළාට දේශීය සාහිත්‍යයෙන් තමයි නිරන්තරයෙන්ම පන්නරය ලැබුවේ.මඟුල් කෑම, හත්පණ, උගුඩු විත්ති  ඉලංගරත්න මහතාගේ පොත් සිබිල් වෙත්තසිංහ මහත්මියගේ පොත් මාව ආකර්ෂණය කළා.

 

*ඔබ පුවත්පත් කලාවේදිනියක් ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළා.ඒ ගත කරපු කාලය හා ලේඛන භූමිකාවට පුවත්පත් කලාවෙන් ලැබුණු ආලෝකය කොහොමද?

පුවත්පතක උපකර්තෘවරියක් ලෙස අපි පිටු සංස්කරණය කළාට අපගේ නිර්මාණ හැකියාව එමඟින් ඔපමට්ටම් වෙන්නේ නැහැ.ඒනිසා මටත් ඕන වුණා පිටු සංස්කරණයෙන් ඔබ්බට ගොස් නිර්මාණකරණයට ප්‍රවේශ වෙන්න.මම ලියද්දි විෂයයන් එකකට විතරක් සීමා වුණේ නැහැ.දරුවන් වගේම කාන්තාව කලාව විදේශීය ආදී විවිධ ක්ෂේත්‍ර ගැන මම ලිපි රචනා කළා.අදටත් මම විවිධ විෂයයන් ගැන ඉගෙන ගන්න කැමතියි.පුවත්පත සහ ලේඛනය කියන්නේ සමගාමීව යන මාධ්‍ය දෙකක්.පුවත්පත් ජීවිතය වෘත්තියක් වුණාට ලේඛනය කියන්නේ කෙනකුගේ ආසාව වෙන්න පුළුවන්.අපේ දැනුම පොත් විදිහට සමාජයට දායාද කරන්න ලේඛන කලාවට පුළුවන්.දැනටත් මම අලුත් පොත් කීපයක්ම ලියාගෙන යනවා.ඒව ඉදිරියේදී කෘති ලෙස ප්‍රකාශයට පත් වේවි.ඉදිරියේදී මම වැඩිහිටි පාඨක ප්‍රජාව වෙනුවෙනුත් මීට වඩා වැඩි දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.



අදහස් (0)

පත්තරේ පිටු සංස්කරණය කළාට නිර්මාණ හැකියාව ඔපමට්ටම් වෙන්නේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 176 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 241 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1120 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site