මාර්ටින් වික්‍රමසිංහයන් බොහෝදෙනා හඳුනන්නේ කවුරුන් හැටියටද?

කොක්ගල ප්‍රාඥයා,තුන්කල් දුටු දාර්ශනිකයා,හෙළයේ මහා ගත්කරු හැටියට ද? මෙි සියලු අර්ථ අනවර්ථ නාම කෙසේ වූවද විකුම්සිහ ලකුණ ලාංකේය සාහිත්‍ය කලාවෙි  සදා නොමැකෙන මුද්‍රවකි.සිහිවටනයකි.වික්‍රමසිංහලා,සරච්චන්ද්‍රලා,අමරසේකරලා වැඩ කළ සමය ස්වර්ණමය යුගයකි.ඔවුහු තම ඵෙතිහාසික කාර්ය භාරය මැනවින් ඉටුකළ යුග පුරුෂයෝය.කෙනකු සිතන ආකාරයට බලපෑම් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙි.ගත්වහර,කටවහර පමණක් නොව භාෂාව අතික්‍රමණය කළ හැකි පෞරුෂයක් ද ඊට ඇවැසිය.ලාංකේය සාහිත්‍ය කලා ක්ෂිතිජය ඉක්ම වූ සාහිත්‍යධරයකු,ප්‍රාඥයකු ලෙස මාර්ටින් වික්‍රමසිංහයන් අප සිතන විදිය වෙනස් කිරීමට ප්‍රබල බලපෑම් කළ චින්තකයෙකි.

මාර්ටින් වික්‍රමසිංහයන් වැනි ගලිවරයකුට කැටපෝලයෙන් විදින්නෝ කවරහුද? ඔවුහු ලිලිපුට්ටෝය. මෙවර ලංකාදීප මතුමහල සාහිත්‍ය වෙබ්අඩවියේ  පළවන විශේෂ මත විමසුම විකුම්සිහ සාහිත සම්ප්‍රදානය පිළිබඳවය.ඊට කේෂ්ත්‍රයේ ප්‍රවීණයන් කුමන අදහසක් දරන්නේ දැයි අපි බලමු.

විකුම්සිහ නිමැවුම් පෙළහර


* නවකතා 

01. ලීලා (1914)
02. සෝමා (1920)
03. අයිරාංගනී (1923)
04. සීතා (1923)
05. මිරිගුව (1925)
06. රෝහිණී (1929)
07. ගම්පෙරළිය (1944)
08. යුගාන්තය (1949)
09. විරාගය (1956)
10. කලියුගය (1957)
12. බවතරණය (1973)

 

 * කෙටිකතා සංග්‍රහ  

13. ගැහැනියක් (1924) 
14. මඟුල් ගෙදර (1927) 
15. පව්කාරයාට ගල් ගැසීම (1936) 
16. අපේ විත්ති (1946) 
17. වහල්ලු (1951) 
18. මගේ කතාව (1947) 
19. කරත්තය (1969)
20. කරුවල ගෙදර (1963) 

 

*ළමා සාහිත්‍ය සහ ස්වයං ලිඛිත අපදාන 
21. අපේ ගම (1940) 
22. මඩොල් දූව (1947) 
23. උපන් දා සිට (1961)

 

* සාහිත්‍ය විචාරය සහ ශාස්ත්‍රීය 

24. ශාස්ත්‍රීය ලේඛන (1919) 
25. සිංහල සාහිත්‍යයේ නැගීම (1945) 
26. සාහිත්‍ය කලා (1950) 
27. කාව්‍ය විචාරය (1952) 
28. සිංහල නවකතාව හා ජපන් කාමකතා සෙවණැල්ල (1969) 
29. සිංහල නාට්‍යය හා සඳැස් ලකුණ (1970) 
30. විචාර ලිපි 
31. ගුත්තිල ගීතය (විචාරය) 
32. නූතන පද්‍ය සංග්‍රහය 
33. සාහිත්‍යෝදය 
34. විචාර පර්යේෂණ 
35. පරිණාමවාදය හා සිංහල සාහිත්‍යය

 

*මානව විද්‍යාව සහ සංස්කෘතිය 
36. සිංහල ලකුණ (1947) 
37. සංස්කෘතිය හා ඇදහීම 
38. මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය 
39. සිංහල සිරිත් විරිත් 
40. පාරම්පරික සිරිත් විරිත් 
41. සංස්කෘතික විප්ලවය

 

* විද්‍යාව සහ පරිණාමවාදය 

42. සත්ත්ව සන්තතිය (1934) 
43. විද්‍යා විනෝද කථා 
44. සත්ත්ව ලෝකය

 

* දර්ශනය සහ ආගම 

45. බුදු සමය හා සමාජ දර්ශනය 
46. නිවන් මුහුණුවර හා බමුණු දිට්ඨිය 
47. ජෛන ධර්මය හා බුදු දහම 
48. බුදු සමය හා මානව විද්‍යාව 
49. බවතරණ විමර්ශනය (පැමිණි මඟ)

 

*පරිවර්තන සහ චාරිකා සටහන් 

50. තෙරණී ගී (පරිවර්තන) 
51. සෝවියට් දේශයේ චාරිකාව (1956)

 

*ඉංග්‍රීසි කෘති 

52. Aspects of Sinhalese Culture 
53. The Buddhist Jataka Stories and the Russian Novel 
54. The Mysticism of Lawrence 
55. Buddhism and Culture 
56. Sinhala Language and Culture 
57. Buddhism and Art 
58. Revolution and Evolution

 

 ගම්පෙරළිය (1944): 

සිංහල නවකතාවට කලාත්මක මුහුණුවරක් දුන්   මහාර්ඝ කෘතියකි.මෙි වූකලි ලාංකේය ප්‍රබන්ධ කලාවෙි හැරවුම් ලක්ෂ්‍යකි. වැඩවසම් ක්‍රමය මත පදනම් වූ කොග්ගල කයිසාරුවත්ත වලව්වේ බිඳ වැටීමත්, පියල් වැනි වාණිජ පන්තියට නැඹුරු  චරිතයන්ගේ නැගී ඒමත් මෙහි ඉතා සියුම් ලෙස නිරූපණය වේ. නන්දා සහ පියල් අතර ඇති වන ප්‍රේමයත්, කුල ගෞරවය නිසා එයට එල්ල වන බාධාත් හරහා ලාංකික සමාජයේ සිදුවූ මහා පරිවර්තනය වික්‍රමසිංහයන් පෑනට නගන්නේ සමාජ විද්‍යාඥයෙකුගේ දෘෂ්ටියෙනි. මානව සබඳතා සහ ගැමි පරිසරය විචිත්‍රවත් ලෙස ඉදිරිපත් කර ඇති මෙම කෘතිය ලෙස්ටර් ජේම්ස් පීරිස් අතින් සිනමාවට ද තිස්ස අබෙිසේකර අතින් පුංචි තිරයට ද නැගුණි. මෙනයින් ගම්පෙරළිය සිංහල නවකතාවේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස විචාරකයෝ හඳුන්වති.


යුගාන්තය (1949): 

ගම්පෙරළියෙන් ඇරඹි "තුන් ඇඳුත්තේ" අවසාන කොටස ලෙස මෙය සැලකේ. මෙහිදී අවධානය යොමු වන්නේ ධනපති පන්තිය සහ කම්කරු පන්තිය අතර ඇති වන ගැටුම කෙරෙහිය. ටයිටස් වැනි නව පරපුරේ චරිත හරහා පැරණි සමාජ ක්‍රමය වෙනුවට නව සමාජවාදී අදහස් ලාංකීය සමාජයට කාන්දු වන ආකාරය මෙහි මනාව නිරූපණය වේ. දේශපාලනික සහ ආර්ථික වෙනස්කම් මිනිස් සබඳතාවලට බලපාන ආකාරය විග්‍රහ කරන මෙම කෘතිය, ශ්‍රී ලංකාවේ නූතන දේශපාලන ඉතිහාසය සහ සමාජ පරිණාමය අවබෝධ කර ගැනීමට මහඟු පිටිවහලක්   දෙයි.


විරාගය (1956): 

සිංහල මනෝවිද්‍යාත්මක නවකතාවේ මහඟු ප්‍රතිඵලයකි. අරවින්ද නම් මධ්‍යම පාන්තික තරුණයාගේ අභ්‍යන්තර මානසික ගැටුම, ඔහුගේ අකර්මණ්‍ය ස්වභාවය සහ සරෝජිනී කෙරෙහි වූ ප්‍රේමයත්, බතී කෙරෙහි වූ සෙනෙහසත් අතර දෝලනය වන ජීවිතය මෙහි විග්‍රහ කෙරේ. හුදු කතාවකට එහා ගිය ගැඹුරු දාර්ශනික ස්වරූපයක් ගන්නා මෙම කුඩා ප්‍රබන්ධය, මිනිස් සිතේ පවත්නා අසීමිත සංකීර්ණත්වයත්, පරාජිත බවත් ප්‍රබල ලෙස පාඨකයාට ඒත්තු ගන්වයි.  මෙම පොත සිංහල නවකතාව නව මාවතකට යොමු කළ නිර්මාණයකි.


බවතරණය (1973): 

සිදුහත් චරිතය මානව විද්‍යාත්මක හා ලෞකික ඇසකින් විග්‍රහ කිරීමට වික්‍රමසිංහයන් දැරූ උත්සාහය බවතරණය යි. බුදුසිරිත දේවත්වයෙන් තොරව වටහා ගැනීමට මෙි කෘතිය මනා පිටිවහලක් සපයන බව කීම අතිශයෝක්තියක් නොවෙි.ගෞතම බුදුන්  මිනිසකු ලෙස  මුහුණ දුන් අභ්‍යන්තර ගැටුම් සහ සමාජයීය බලපෑම් මෙහි සාකච්ඡා වේ. මෙම කෘතිය ලිවීමෙන් පසු එකල සංඝ සමාජය අතිශය කැලඹීමට පත් වූ බව ද නොරහසකි.මාර්ටින් වික්‍රමසිංහයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  උල්ලංඝනය කළ බවට ද චෝදනා නැගිණි.වික්‍රමසිංහයන් වහා සිර බාරයට ගන්නැයි ද ඇතමෙක් පැවසූහ.බවතරණය දැඩි සංවාදයකට සහ විවේචනයට ලක් වුවද, බුද්ධ චරිතය පිළිබඳ නවමු කියවීමක් ඉදිරිපත් කිරීමට එම කෘතිය සමත් විය. මිනිස් ගති පැවතුම් සහ අධ්‍යාත්මික ගවේෂණය පිළිබඳව ලියවුණු ඉතා නිර්භීත නවකතාවක් ලෙස මෙය හැඳින්විය හැකිය. සාම්ප්‍රදායික බුදුසිරිතට එහා ගිය දාර්ශනික විග්‍රහයක් මෙහි අන්තර්ගත වූව ද අන්ධභක්තිකයෝ තවමත්  ⁣බවතරණය හෙළා දකිති.

 

 සත්ත්ව සන්තතිය (1934): 

චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය පිළිබඳව සහ ජීවීන්ගේ සම්භවය ගැන ඉතා සරලව මෙන්ම ගැඹුරින් මෙම කෘතියෙන් පැහැදිලි කෙරේ. විද්‍යාව සහ දර්ශනය අතර ඇති සබඳතාව විමර්ශනය කරන මෙවැනි කෘතියක් එකල සිංහලෙන් ලියැවීම වික්‍රමසිංහයන් සතු වූ පුළුල් දැනුම මැනවින් කියාපාන්නකි. ලොව පවතින සත්ත්ව සහ ශාක ප්‍රජාවගේ විකාශනය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට ද මෙම කෘතිය දුහුනන්ට අත්පොතකි.


මඩොල් දූව (1947): 

ලංකේය ළමා සාහිත්‍යයේ අසමසම නිර්මාණයකි.මඩොල් දූව වනාහි උපාලි සහ ජින්නා නම් වූ දඩබ්බර එහෙත් නිර්භීත කොල්ලන් දෙදෙනෙකුගේ වික්‍රමාන්විත කතාවයි. ගතානුගතික අධ්‍යාපනයෙන් සහ වැඩිහිටි පීඩනයෙන් මිදී ස්වාධීනව ජීවත් වීමට වෙර දරන ඔවුන්, පාළු දූපතක් ජනාවාසයක් කරමින් කරන අරගලය ඉතා ආශ්වාදජනක ලෙස රචනා වී ඇත. මෙය ලෝකයේ භාෂා රැසකට පරිවර්තනය වී ඇති අතර, ඕනෑම වයසක පාඨකයකුට කියවිය හැකි සදාකාලික රසයක් සහිත කෘතියකි. ප්‍රායෝගික ජීවිතය ජය ගැනීම සහ පරිසරය සමඟ එකඟව ජීවත් වීම පිළිබඳව මෙය අපූරු පාඩමක්  ද කියා දෙයි.

 

 උපන් දා සිට (1961): 

මෙය වික්‍රමසිංහයන්ගේ ස්වයං ලිඛිත අපදානයයි. ඔහුගේ උපතේ සිට සාහිත්‍යධරයකු ලෙස පරිනණත වන තෙක් වූ ජීවන ගමන් මග මෙහි විස්තර වේ. හුදෙක් පෞද්ගලික තොරතුරුවලට සීමා නොවී, එකල පැවති දේශපාලන, සාමාජික සහ සාහිත්‍යමය වටපිටාව පිළිබඳව පුළුල් විග්‍රහයක් ද මෙයට ඇතුළත්ය. පොත පත කියැවීමෙන් මිනිසකුට තම චින්තනය කෙතරම් දුරට දියුණු කරගත හැකිද යන්නට මාර්ටින් වික්‍රමසිංහයන් හොඳම නිදසුනකි.

 

වික්‍රමසිංහලා වෘෂභ කතා කිව්වෙි නෑ

-ගුණදාස අමරසේකර 

මාර්ටින් වික්‍රමසිංහ හෙළයේ මහ ගත්කරුවා නමින් විරුදාවලිය ලබන්නේ නිකම්ම නෙවෙයි.එම යුගයට සාපේක්ෂව ඔහු සිංහල සාහිත්‍ය කලාව වෙනුවෙන් අනගි මෙහෙවරක් ඉටුකළ පුරෝගාමී ලේඛකයෙක්.ඔහු ඉදිරිපත් කළ ඇතැම්  මතවාද අදටත් වලංගුයි.සරත්චන්ද්‍ර හෝ මාර්ටින් වික්‍රමසිංහ කිසියම් මතවාදයක් සමාජයට ඉදිරිපත් කළේ ඒ පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් ද කරමින්. ඔවුන් අද ඉන්න ලේඛකයන්,විචාරකයන් වගේ කවදාවත් වෘෂභ කතා කිව්වේ  නැහැ. වික්‍රමසිංහට සමාජ දේශපාලනය විඥානයයක් තිබුණා.මේ නිසාම ඔහුට සාහිත්‍ය නිර්මාණයට මෙන්ම නවකතා විචාරයට ද හොඳ පදනමක් තිබුණු බව පෙනෙනවා.නවකතාකරුවා කියන්නේ  සමාජය විග්‍රහ කිරීමට අවශ්‍ය ප්‍රඥාව තිබිය යුතු දාර්ශනිකයෙක්. නවකතාවකින් සමාජ විග්‍රහයක් කරන්න හැකි වන්නේ දේශපාලනය, සංස්කෘතිය ආර්ථිකය පිළිබඳ දැක්මක් ඇති දර්ශනයක් ඇති නිර්මාණකරුවකුට විතරයි. මාර්ටින් වික්‍රමසිංහ කියන්නේ එබඳු නිර්මාණශීලී නවකතාකරුවෙක්. ඔහුගේ ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය  වැනි නවකතා මෙරට දේශපාලන විඥානය හඳුනාගෙන සාහිත්‍ය කෙත අස්වැද්දූ දැවැන්ත නිර්මාණ.වික්‍රමසිංහ පේරාදෙණි ගුරුකුලයේ සාහිත්‍යකරුවන් වගේ මතුපිට පෙනෙන දේවල් අල්ලගෙන ඒවායින් මනෝ ලෝක මවාගෙන නවකතා ලිව්වේ නැහැ. අද සමහරු පශ්චාත්  නූතනවාදය  යන නම්වලින් ලේබල් ගහගෙන බොරු වළක වැටී ඉන්නවා.
උසස් සාහිත්‍යයක් බිහිවෙන්නේ යම් සමාජයක් තුළ දේශපාලන සංවාදයක් තිබුණොත් පමණයි. සමාජ දේශපාලනයෙන් වියුක්ත  වූ සාහිත්‍යයක් අපට බිහිකරන්න බැහැ.නමුත් වික්‍රමසිංහ හැමදාම සමාජ දේශපාලන සංවාදය සමඟ උත්තරීතර නිර්මාණ බිහි කිරීමට උත්සාහ කළා.මිනිසා දේශපාලන සත්වයෙක් කියලා ඇරිස්ටෝටල් පවා කිව්වා. ප්‍රබල දේශපාලන පසුබිමක් සහිත සමාජයක සාහිත්‍යකරුවන් එයින් ආභාසය ලබමින් උසස් සාහිත්‍ය කෘති බිහි කරනවා. නමුත් මේ තත්වය මාර්ටින් වික්‍රමසිංහලාගෙන් පසු අපේ රටේ දකින්නට නැහැ. සාහිත්‍යකරුවා සාහිත්‍ය කෘති නිර්මාණයේදී කළ යුත්තේ මිනිසා සමාජය දේශපාලන සත්වයෙක් විදිහට නිර්මාණය කිරීමයි. සාහිත්‍යයෙන් යම්කිසි සමාජයකට ප්‍රගතියක් අත්වන්නේ එවිටයි. එහෙත් මේ දේ අද අපේ රටේවත් බටහිරවත් සිදු නොවීම කනගාටුවට කරුණක්.අද බටහිර රටවල ලියවෙන සාහිත්‍ය කෘතිවලින් වුණත් ඒ සමාජයට කිසිම වැඩක් වෙන්නේ නැහැ. අද බටහිර රටවල තිබෙන්නේ ඒ සමාජයෙන් වියෝ වූණු සාහිත්‍යයක්. අද තිබෙන්නේ  සමාජයෙන් වියෝ වූ පුද්ගලයන් තමාගේ ප්‍රතිබිම්බ දිහා බලලා ලියන සාහිත්‍යයක්.මාර්ටින් වික්‍රමසිංහ හෙළයේ මහා ගත්කරු වන්නේ මෙන්න මේ පසුබිම තුළයි.

 


තුන්කල් දුටු ප්‍රාඥයෙක්

-කරුණාරත්න අමරසිංහ 

මට ඔහු මුලින්ම හඳුනා ගන්නට වාසනාව ලැබුණේ මා විශ්වවිද්‍යාලයේ අවසන් වසර ගත කරන සමයේදීයි. එනම් විශ්ව විද්‍යාලයේ දර්ශන අංශ සඟරාවේ  සංස්කාරක වූ මා ඊට ලිපියක් සපයන ලෙසට ආරාධනා කිරීමට මගේ විශ්වවිද්‍යාල සගයකු වූ සෝමරත්න දිසානායකයන් (පසුව නීතිඥ සෝමරත්න දිසානායක )සමග ඔහුගේ නාවල නිවෙසට ගිය දිනයයි. ඒ ලිපිය හා බැඳුණ මන බඳින සිද්ධියකුත් තිබෙනවා. ආරාධනයෙන් සතියකට පමණ පසු එක්තරා හැන්දෑවක සෝමෙත් මමත් අර ලිපිය ගෙන ඒමට නාවල ගෙදරට ගියා. අප දැක හඬ නඟා සිනාසුණ වික්‍රමසිංහ සූරීන් අපූරු පුවතක් හෙළි කළා.

"මං අර ලිපිය ලියාගෙන ගියා. දන්නෙම නැතුව ඒක පොතකට දික් වුණානෙ! ඒ වෙනුවට මං වෙන ලිපියක් දෙන්නං"

පසුව ඔහු විසින් පළ කරන ලද "භව කර්ම විකාශය " එම ලිපියෙන් විකසිත පොතයි.

ඒ අයුරින් සිදුවුණු හමුවීම නොසිතූ විරූ දැඩි කුලුපග ඇසුරක් ලෙසට වැඩී ගියේ ඔහු මගේ විවාහයේ සාක්කිකරුවකු බවටද පත් කරමින්.අනෙක් සාක්කිකරුවා වුණේ ගුණදාස අමරසේකර සූරීන්.

පසු කලෙක වික්‍රමසිංහ සූරීන් දුන් අවසරයෙන් ඔහුගේ 'ම⁣⁣ඩොල් දූව' නවකතාව මවිසින් ගුවන්විදුලි ළමා නාට්‍යයක් ලෙස සකසා සතිපතා කොටස් වශයෙන් ප්‍රචාරය කරන ලද්දේ ලෙස්ටර් ජේම්ස් පීරිසුන්ගේ චිත්‍රපටය නිෂ්පාදනය වීමටත් පෙරමයි. 

එකල සතියකට වරක් දෙවරක් නාවල නිවෙසට ගොස් වික්‍රමසිංහ සූරීන් මුණ ගැසී අල්ලාප සල්ලාපයෙහි යෙදීම මා අත් නොහළ පුරුද්දක්. ඔහු සමග පිළිසඳරේ යෙදෙන විනාඩි පහක කාලය අවුරුදු පහක ඥානාලෝක කදම්බයක්. යහපත් කාලගුණය පවත්නා සෑම දිනකම සවස් යාමයේ කරන පා ගමනද වික්‍රමසිංහ සූරීන්ගේ නියත පුරුද්දක් වෙලා තිබුණා.මා නාවල නිවසේ සිටි ඇතැම් සැන්දෑවක තම පාද යාත්‍රාවට මාද සහභාගි කර ගත්තේ නව යොවුන් කෙළි ලොල් ලීලාවෙන්. එසේ ඇවිද යන ඇතැම් විටක ඔහු කතා කරන්නේ සිනාසෙන්නේ හැසිරෙන්නේ කුඩා දරුවකු සතු සැහැල්ලු බවකින්. මා ඉතා සමීපව ඇසුරු කළ සාහිත්‍ය වනස්පතීන් දෙතුන් දෙනා අතුරෙන් මා දැක ඇති නිහතමානයේ පරම මූර්තිය වශයෙන් මාර්ටින් වික්‍රමසිංහයන් හඳුන්වන්න පුළුවන්.

මා සමග එකට නාවල ගෙදරට ගොස් මාර්ටින් වික්‍රමසිංහ සූරීන් හමුවී නිතර නිතර සාහිත්‍ය පිළිසඳරේ යෙදීම පුරුද්දක්  කරගෙන සිටි මගේ කුලුපග මිතුරු සහෘදයන් කිහිපදෙනෙක් එකල සිටියා. ඒ  සුනන්ද මහේන්ද්‍ර , සෝමරත්න දිසානායක ,රංජිත් ධර්මකීර්ති, හේමරත්න ලියනආරච්චි , පාලිත පෙරේරා ,නිමල් හොරණ යන විශිෂ්ටයන්. නාවල ගෙදරට ගිය හැම හවසකම රෑ බෝ වන තුරු පිළිසඳරේ යෙදී සිටින අප ඉන් පිටත්ව එන්නේ මාර්ටින් වික්‍රමසිංහ සූරීන් වතක් මෙන් නොවරදවා නොමසුරුව කරන ප්‍රශස්ත අතිථි සංග්‍රහයේ අනුහසින් මධුර මධු මද මුදිතවයි. අහෝ ඒ සැමරුම් මනරම්ද කෙතරම් නම්!

1972 ජනරජ ව්‍යවස්ථාව අනුව බිහිවුණු ආණ්ඩුව  පළමු ජනාධිපති සම්මාන උළෙල පැවැත්වූවා. එම උළෙලේදී ජනාධිපති සම්මානයෙන් පුද ලද පළමු ලේඛකයා වූයේ මාර්ටින් වික්‍රමසිංහ සූරීන්.  එකල  විශ්වවිද්‍යාල තුනම නූතන සිංහල සාහිත්‍යයට කළ මහා මෙහෙවර සලකා වික්‍රමසිංහ සූරීන්ට සම්මාන ආචාර්ය උපාධි පිරිනැමුවා. එහෙත් ඒ සම්මාන ආචාර්ය නාමය තම නමට මුලින් නොදමන ලෙස ඔහු සියලුම පුවත්පත් කතුවරයන්ට ලියා දැන්වූවා. "ආචාර්ය මාර්ටින් වික්‍රමසිංහ" නාම ධාරී ලේඛක මහේශාඛ්‍යයකු ගැන සිහිනෙනුදු අපට අසන්නට නොලැබුණේ එහෙයින්.

මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ නාට්‍ය නිර්මාණ කාර්යයට ජීවමාන මූලාශ්‍රයක් වූ චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේගේ අවමංගල්‍ය උත්සවය මගේ සිහියට නැගෙනවා. එය පැවැත්වුණේ ගුරුන්නාන්සේ උපන් බලපිටියේ අම්පේ නම් කුඩා ගමේ. එදා එම අවමංගල සභාවේදී ගුරුන්නාන්සේගේ ගුණ කීර්තනය කළේ දෙදෙනකු පමණයි. ඉන් ප්‍රධාන වූයේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්. අවමංගල සභාව මෙහෙයවූ තැනැත්තා පළමු ගුණ කථනය සඳහා ආරාධනය කළේ මෙසේයි.

"ලංකාවේ ඉර හඳ වගේ ප්‍රකට පුද්ගලයෙකුටයි මම පළමුවෙන් ආරාධනා කරන්නෙ. ඒ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහත්මයාටයි"

මාර්ටින් වික්‍රමසිංහයන් අවමංගල්‍ය සභාවකදී පැවැත්වූ එකම කතාව
එයදැයි නොදනිමි. ඔහු එදා එහිදී පැවැත්වූයේ ඉතා කෙටි ගුණ කථනයක්. ඔහු මේ වදන් කීපයෙන් තම කතාව හමාර කළේ කට කොනකට නගාගත් හිනාවක්ද සමගින්.

"චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සෙත් ගැමියෙක්. මමත් ගැමියෙක්. ඔහු කලාකාරයෙක්. මම ලේඛකයෙක්. අපි දෙන්නගෙ වෙනස මේකයි. ගුරුන්නාන්සෙ තමන්ගෙ කලාවෙන් ආස්වාදයක් ලැබුවා. මම රටේ නැති වල්බූත ඔළුවෙ පුරවාගෙන දුක් වින්දා."

කොළඹ හා පේරාදෙණිය ගුරුකුල අතර පැවති නොනවතින සාහිත්‍ය කෝලාහලවලින්  කෝලාහල වුණු හයවැනි දශකය තවමත් මගේ මතකයේ කෝලාහල වෙනවා .ඒ නව නගර ශාලාවේ දවස පුරා පැවැති සාහිත්‍ය සම්මන්ත්‍රණයක්.හවස් වරුව වෙන් වූයේ 'කෙටිකතා' වෙනුවෙන්. මූලාසනයේ මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ට වෙන් කර තිබුණා. දේශකයා කේ.බී සුගතදාස සූරීන්. මූලාසන සමාලෝචනයේදී වික්‍රමසිංහ සූරීන්ගේ මුවින් මෙවදන් පිටවුණා.

"සුගතදාස මහත්තයා කෙටිකතාව ගැන කළේ මහා වල්බූත කතාවක්."

කොළඹ ගුරුකුල දෙබරයට ගල වැදුණා .වියරුව ගිය කොළඹ ගුරුකුල දෙබරුන්ගේ විෂ මිසයිල පහරින් පේරාදෙණිය ගුරුකුලයට කවර ගැලවීමක්ද? මයික්‍රෆෝනය ඉගිල ගියා. පුටු අහසට පියෑඹුවා. ආක්‍රෝශ පරිභව නින්නාද වුණා. කොළඹ ගුරුකුල කඳවුරු සෙන්පති  පී.මලල්ගොඩයන්. මැන්දිස් රෝහණධීරයන් පේරාදෙණි ගුරුකුල කඳවුරු සෙන්පතියන්. නව නගර ශාලා සාහිත්‍ය කෝලාහල සප්ත මහා සාගරය ආලෝලනය කළ යුගල ගුරුකුල ලෝල ජන කෝලහලය මැඬලිය හැකි වූයේ අප්‍රමාණ ආයාසයකින්.
යළි මුලසුන ගත් වික්‍රමසිංහ සූරීන් නැඟිට සිටියා. මයික්‍රෆෝනය වෙතට සෙමින් ළං වූණා. ඉන් පසු ඔහුගේ මුවින් ගිලිහුණු මේ අමර වදන් මගේ මතකයේ සදා රැව් දෙනවා.

"සරස්වතී වාසය කරන්නෙ කලාකාරයකුගේ හදවතේ පමණයි. ද්වේෂය ඇති කලාකාරයකුගේ හදවතේ සරස්වතීට ඉන්න බැහැ. හිටියත් ඇය පිච්චිලා අළුවෙලා යනවා."

සාහිත්‍ය කලාව පමණක් නොව සත්වා සන්තතිය ගැන පවා පොත් ලියූ මෙි මහ ප්‍රාඥයා හෙ⁣ළයේ මහ ගත්කරු නමින් විරුදාවලිය ලැබීම කුමන වරදක් ද?

 

ලාංකික සාහිත්‍යයේ එකම සුපර්ස්ටාර් 

- ජයතිලක කම්මැල්ලවීර 

සාහිත්‍ය සහ ශාස්ත්‍රීය ක්ෂෙත්‍රයේ සිංහයකු සේ විකුම් පෑ මාර්ටින් වික්‍රමසිංහයන්ගෙන් අපට උකහා ගත හැකි දෑ බොහෝමයි. පාසලින්  උසස් අධ්‍යාපනයක් නොලද එතුමා බොහෝ වෙහෙස මහන්සියෙන් ලබාගත් භාෂා දැනුම උපයෝගී කරගනිමින් මහත් කැපවීමකින් කළ හැදෑරීම්වලින් උකහා ගත් දැනුම සමාජයට දායාද කළ නිර්මාණකරුවෙක්. තමා තෝරාගත් මාර්ගයේ කෙළවරටම ගමන් කළ එතුමා සාහිත්‍යකරුවකු මෙන් ම ශාස්ත්‍රඥයකු හැටියටද කරන ලද මැදිහත්වීම් මැදහත් සිතින් විමසන්නකුට එතුමා හෙළයේ මහා ගත්කරු නොව හෙළයේ මහා ප්‍රාඥයා ලෙස හැඳින්වීම අත්‍යත්තයෙන් ම සාධාරණයි.
කෙනෙකුගේ දායකත්වය මැනබැලිය යුත්තේ ඔහු හෝ ඇය ජීවත් වූ යුගයට සාපේක්ෂව යි. නමුත් මාර්ටින් වික්‍රමසිංහයන් යුග ගණනාවක කාලපරාසයක් තුළ ලාංකීය ශාස්ත්‍රීය ක්ෂේත්‍රයේ දිිදුලන තරුව ලෙස හැඳින්වීම සාධාරණ යි. විවිධ විෂයයන් යටතේ එතුමා ලියා ඇති පොතපත, ලිපි ලේඛන කියවන කෙනකු තුළ එතුමා කෙරෙහි උපදින්නේ මහත් ගෞරවයක් මුසු විස්මයක්.

 


ලාංකේය සමාජය සුරකින සංස්කෘතික බල කණුවක්

- කීර්ති වැලිසරගේ 

මාර්ටින් වික්‍රමසිංහ සූරීන් අභාවප්‍රාත්ත වී මෙම ජූලි මස 23 දාට අවුරුදු 50ක් සම්පූර්ණ වෙනවා. දශක අටක් ඉක්ම වූ එතුමන්ගේ යුග මෙහෙවර එම නික්ම යෑමෙන් අනතුරුව වර්තමානය දක්වා මතු නොව, දිගු කල් මතුවටත් අප සාහිත්‍ය වංශයේ දීප්තිමත්ව බබළනු නොඅනුමාන යි.
අද අප , අපගේ සංස්කෘතික ජීවිතයේ වපසරිය පුළුල් කරගැනීම උදෙසා බ⁣හෙවින් බලාපොරොත්තු සහගත වෙද්දී   ශ්‍රී ලාංකික සංස්කෘතික ජීවිතය දරාගත් මහ කුලුනු කිහිපයක් තියෙනවා. ඇත්තටම වික්‍රමසිංහ යනු සංස්කෘතික බල කණුවක්. මෙහිදී  වික්‍රමසිංහයන්ගේ භූමිකාව  සුවිශේෂ බව පෙනී යනවා. ආනන්ද කුමාරස්වාමි, මාර්ටින් වික්‍රමසිංහ , සෙනරත් පරණවිතාන , ලෙස්ටර් ජේමිස් පීරිස්, ජෝර්ජ් කීට්,  චිත්‍රසේන , අමරදේව,සෝමබන්දු, සරච්චන්ද්‍ර , සුනිල් ශාන්ත බඳු දැවැන්ත වූත්, විශිෂ්ට වූත් භූමිකා මඟහැර පොහොසත් සංස්කෘතික ජීවිතයක් පිළිබඳ කතිකාවට ප්‍රවේශ වීම කළ නොහැකියි.
සිංහල සාහිත්‍යයේ නූතන යුගයේ ආරම්භක අවදියේ වික්‍රමසිංහයන්ගේ අවතීර්ණ වීම මෙන් ම, තැබූ ගැඹුරු පිය සටහන් ද , ඒවා අනාගතය වෙත විහිදවූ ආලෝකය ද අවලෝකනය උදෙසා මේ අප පසුකරන්නේ උචිත ම මෙහොත යැයි මා විශ්වාස කරනවා. ගැහැනියක්(1924) කෙටිකතා සංග්‍රහය, ගම්පෙරළිය (1944) හා විරාගය (1956)නවකතා සිංහල ප්‍රබන්ධ සාහිත්‍ය ක්ෂේත්‍රයේ ඇති කළ දැල්වීම  අද ප්‍රබන්ධ සාහිත්‍ය ⁣ක්ෂේත්‍රය හා විචාරාත්මකව විමසන කවර ශාස්ත්‍රඥයකුට වුව ද කිසිසේත් මඟහැර යා නොහැකි බව පෙනී යනවා.
තම ජීවිත කාලය තුළ එක් පූර්වගාමියකුට අත්පත් කොටගත හැකි ඥානගවේෂී විෂය ක්ෂේත්‍ර සංඛ්‍යාව කොපමණද යන්නට වික්‍රමසිංහයන් පරමාදර්ශ සපයනවා.නිර්මාණ සාහිත්‍ය  භූමිකාවට පමණක් සීමා නොවූ වික්‍රමසිංහ සූරීන් යුගයට සාපේක්ෂව නිර්මාණාත්මකව පර්යේෂණකාමීව හා විචාරශීලීවත් අදීනවත් තම ලේඛකත්වය පවත්වාගෙන ගිය අයුරු විස්මය දනවන සුලුයි. සිංහල සාහිත්‍ය විචාරය උදෙසා , සිංහල සාහිත්‍යයේ නැඟීම , බණකතා සාහිත්‍යය, ජාතකකතා විමසුම, නව පද්‍ය සිංහලය ආදී ග්‍රන්ථ සම්භාරය හා ලියූ ශාස්ත්‍රීය ලිපි ද , බුදු සමය හා සමාජ දර්ශනය , සිංහල ලකුණ ආදී ශාස්ත්‍රීය ග්‍රන්ථ මෙන්ම සත්ව සන්තතිය බඳු ජීව පරිණාමය පිළිබඳ එළැඹීම් ද කිසිසේත් සුලුකොට සැලකිය නොහැකි යි.
මාර්ටින් වික්‍රමසිංහයන් සියල්ලේ පරප්‍රාප්ත වූ බවක් හෝ ඒ ඒ ක්ෂේත්‍ර පරිපූර්ණ ගවේෂණයෙන් නිෂ්ටාව දුටු බවක් හෝ මින් අදහස් නොවන බව අමුතුවෙන් කිව යුතු නැහැ. එසේ අධිතක්සේරුවකින් එතුමන්ට අත්වන කිසිවක්ද නැහැ. එපමණක් නොවෙයි එබඳු පරිපූර්ණත්වයක් කිසිවකුට අත්පත් කර ගන්නත් බැහැ.එහෙත් ශතවර්ෂයකට පෙරාතුව එතුමන් ඇරඹූ ඒ ප්‍රයානය මහත් බැව් නොසලකතොත් එය මහත් ම නරුමත්වයක්.
වික්‍රමසිංහයන් හා සරච්චන්ද්‍රයන් අතර පැවති ශාස්ත්‍රීය විවාදයන් මෙන් ම බවතරණය හා තේරි ගී ඇසුරු කොට යක්කඩුවේ නාහිමියන් හා පැවති විවාදයන් ද , භාරතීය අලංකාරවාදය සහ සිංහල කාව්‍ය සම්ප්‍රදාය පිළිබඳ අදහස් ද, නැවත නැවත සම්ප්‍රදාය හා නූතනත්වය විභාග වෙමින් නව මංපෙත් විවර කිරීමේ ශක්‍යතාවයෙන් අනූන යි. එමෙන්ම වික්‍රමසිංහ දැක්ම අදටත් හෙටටත් වඩාත් ශක්තිමත්ව භාවිත අවකාශය විවෘතව පවතින බව පෙනී යනවා.
වික්‍රමසිංහයන් මෙන් ම,  පෙර සඳහන් ඒ අද්විතීය පෞරුෂයන් ද යුගකාරක යි.ඔවුන් ඒ යුගය ජනිත කළ ඉන් ඉදිරි යුග යුග ගණන් පරපුරු උදෙසා මඟ හෙළි කළ අය බව කිව යුතුයි.එහෙයින් ම ඔවුන් හුදු පුද්ගල චරිත ඉක්ම වූ  විවිධ ධාරා නියෝජනය කළ පිරිසක්‌.විචාරශීලීවත්, අදීනවත් , නිර්මාණශීලිවත් ඒ ධාරා නියෝජනය ද, පොෂණය ද වර්තමනයේ වගකීම බව අමතක නොකළ යුතු යි.
එහෙයින් වික්‍රමසිංහ යළි කියවිය යුතු යි. ඒ ඔස්සේ ගිලිහුණු, මඟහැරුණු බොහෝ වටිනාකම් අත්පත් කරගැනීමේ ප්‍රයත්නය ද  ඇරඹිය යුතු යි.

 

නූතනත්වයට පාර කැපු මහා ලේඛකයෙක්

  - සමන් වික්‍රමාරච්චි 

මාර්ටින් වික්‍රමසිංහ මහතා මහ ගත්කරුවකු වන්නේ කෙසේද? එක්තරා ටියුෂන් ගුරුවරයකු ඔහු අරබයා පළ කළ නින්දා සහගත ප්‍රලාපයක් මුහුණු පොතෙහි නිරන්තරව වර නැගුණා.මෙහිදී   බොහෝ දෙනෙකු යට කී ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට උත්සාහ කළා. එහිදී වැඩි දෙනෙකුගේ සොයා ගැනීම වූයේ පොත් විශාල සංඛ්‍යාවක් විවිධ විෂයන් ඔස්සෙ ලියා තිබීමයි. ඔහු නවකතා 13 ක් ද කෙටිකතා ග්‍රන්ථ 9ක් ද විද්‍යාත්මක ග්‍රන්ථ 6ක් ද සාහිත්‍ය විචාර 17ක් ද දාර්ශනික හා සමාජ විග්‍රහ 6ක් ද ආදී වූ විවිධ ශානර ඔස්සේ මේ ලිවීම් සිදු කර  ඇති බව ඔවුන් ගණන් බලා තිබිණා.
   තවත් කෙනකුට ඔහු මහ ගත්කරු වන්නේ සිංහල ලකුණ සොයා ගත් මහා ප්‍රාඥයා ඔහු වන බැවින් විය හැකියි. මහ ගත්කරු යන අභිධානය ලැබීමට  මෙබඳු පොත් විශාල සංඛ්‍යාවක් ඔහු අතින් ලියවී තිබීම හේතු විය හැකි බව බැහැර කළ නොහැකියි.එහෙත් කෙනකු මහා කවියකු මහා නාට්‍යකරුවකු  මහ ගත්කරුවකු ලෙස ගැනෙන ප්‍රධාන හේතුව ඔහු හෝ ඇය ලියා තිබෙන පොත් සංඛ්‍යාවවත් ඒවාහි ඇති බරසාර බවවත් යයි  පිළිගත නොහැකයි. 
    අප ඇසිය යුතු ප්‍රශ්නය නම් ග්‍රීක යුගයේ සිටි හෝමර් මහා කවියකු ලෙස අදත් සැලකෙන්නේ මක්නිසාද යන්නයි. ෂෙක්ස්පියර් අදත් මහා නාට්‍ය කරුවා වන්නේ මක්නිසාද යන්නයි. වෙසෙසින්ම ග්‍රීක සාහිත්‍යය සදාකාලික ආකර්ෂණයක් දරා සිටින්නේ කුමක් නිසාද? මෙම ගැටලුව කාල් මාක්ස්ට පවා තිබුණා. ටෙරී ඊගල්ටන් නම් විචාරකයා Literary Theory නම් වියමන ලියමින් මේ ගැටලුවට අපූර්ව වූ පිළිතුරක් සොයා ගත්තා. ඊගල්ටන්ට අනුව ඔවුන් අදටත් සම්භාවනාවට ලක් වන්නේ අන් හේතුවක් නිසා නොව ඔවුන්ගේ සාහිත්‍යය අපේම සබඳතාවවල (our own concerns )  ආලෝකයෙන් කියවිය හැකි වීමයි. 
    ඊගල්ටන් මෙහි අපේම සබඳතා යනුවෙන් හඳුන්වා දෙන්නේ කුමක්ද? සැබවින්ම ඊගල්ටන් අදහස් කළේ අප ලබා ගන්නා නව දැනුම සහ නූතන අත් දැකීම් වියහැකියි.එනම් හෝමර් යනු මධ්‍ය යුගයේ සිටි හෝමර් ලෙස නොව අපේම හෝමර් කෙනෙකු ලෙස කියවීමට හැකි වීම නිසා ඔහු මහා කවියකු වෙයි. එනයින්ම ෂේක්ස්පියර් යනු ඔහුගේ සමකාලීනයන් දැන සිටි ෂේක්ස්පියර් නොවේ. එබඳු කියවීමක් තුළ වෙනත් ඓතිහාසික යුගවල ගොඩ නැගෙන්නේ එම යුගයේ අරමුණුවලට කැපවුණ වෙනස් වූ හෝමර් කෙනකු සහ ෂේක්ස්පියර් කෙනෙක්. ඒ අනුව අපි ඔවුන්ගේ නිර්මාණ නැවත ලියනවා. විශේෂය නම් ඒ සඳහා වූ විභවය ඔවුන්ගේ නිර්මාණ තුළ පැවතීමයි. 
   යට කී ඊගල්ටියානු විචාර සංදර්භය තුළ වික්‍රමසිංහ අපගේ වික්‍රමසිංහ කෙනෙකු වන්නේ කෙසේද?ඒ වික්‍රමසිංහගේ ගම්පෙරළිය,විරාගය වැනි නවකතා නව විචාර ප්‍රවෙශයක් තුළ නැවත සොයා ගැනීමෙන්. අපි ඔහුගේ ගම්පෙරළිය නවකතාව මෙතනදී ඉදිරියට ගන්නවා.  ගම්පෙරළිය නවකතාව මුල් වරට පළ වන්නේ 1944 දීයි. මේ දක්වා මෙම නවකතාව යථාර්ථවාදී විචාර සම්ප්‍රදාය අතර  හෙම්බත් වුණු ප්‍රබන්ධයක්. ඉන් අදහස් වන්නේ ගම්පෙරළිය දිගින් දිගටම ගමක වෙනස පිළිබඳ කියවෙන නවකතාවකැයි යන ආස්ථානයේ දිගේලිව තිබුණ බවයි.යථාර්ථවාදී විචාර සම්ප්‍රදාය අනුදත් පරිදි ඔවුන් මෙම නවකතාව තුළ හැම විටම සෙව්වේ සමාජය සහ එහි වෙනස්වීම් කවරාකාරයෙන් නියෝජනය වී තිබේද යන්නයි. මෙම කියවීම නිසා නවකතාවේ පාත්‍ර වර්ගයා පිළිබඳ ගැඹුරු කියවීමක් සඳහා වූ අවස්ථාව කියවන්නියට අහිමි වෙයි.වෙනත් ලෙසකින් කිවහොත් නවකතාවේ චරිත හරහා ආත්ම මූලිකත්වය (subjectivity) හඳුනා ගැනීමෙන් යථාර්ථය පුපුරා යන අයුරු කිසිවකුට හසු වන්නේ නැහැ. 
    සම්ප්‍රදායික කලා විචාරය තුළ යථාර්ථය(reality) ලෙස තොරොම්බල් කරන්නේ අපගෙන් බාහිර පවතින සත්‍යයක් පිළිබඳ ඇදහීමයි. එහෙත් යථාර්ථය තුළම පවතින අභ්‍යන්තර පසමිතුරුතාව විසින් එහි පිපිරීමක් සලකුණු කරන ආකාරය ගම්පෙරළිය නැවත කියවීම තුළ අපට පෙනීයනවා. නිදර්ශනයක් ලෙස කිවහොත් නන්දා ජිනදාසගේ අවමඟුල පැවැත්වීමේ අවස්ථාව අපට පෙන්විය හැකියි. ජිනදාස මිය ගිය බව නන්දා දැන ගන්නේ තම සැමියා මිය ගිය බව දන්වා සිටි විදුලි පුවතක් ලැබීමෙන්. මියගොස් තිබුණේ ඇගේ පෙර සැමියා වූ  ජිනදාසයි.පියල්ගේ මවද සමග රත්නපුර රෝහලට යන  නන්දා චාරිත්‍රානුකූල කෙටි අවමගුලක් පවත්වා ජිනදාස භූමදානය කරනවා. මෙම තොරතුරු දැන ගන්නා පියල් එක් වරම පවසන්නේ ජිනදාස භූමදානය කිරීම සඳහා වියදම් කර තිබුණේ තමාගේ මුදල් බවයි. 
     යටකී සිදුවීම කියවීමේදී යථාර්ථයේ සංකේතික ස්වරූපය පිළිබඳ වැටහීමක් අපට තිබිය යුතුයි.සංකේතිකය (symbolic)අපගෙන් බාහිර පවතින්නේ යයි අදහන ඊනියා යථාර්ථය( නැතහොත් සමාජය) පිළිබඳ අපගේ බැඳීමට කියන වෙනත් නමක්.මෙය හැමවිටම භාෂාත්මකයි. සම්ප්‍රදායික ස්ත්‍රිය මෙම සංකේතිකයේ නියමයන්ට මහත් සේ බැඳී හුන්නා. ජිනදාස ආපසු නොඑන බැවින් තමා සමග විවාහ වන ලෙස පියල් දිගින් දිගටම කරන ලද ඇවිටිලි ඇය ප්‍රතික්ෂේප කරන්නේ මෙම සංකේතික බැඳීම නිසායි. ඇය බැඳී සිටියේ ජිනදාස සමග පැවති සංකේතික විවාහයටයි. එහෙත් ජිනදාස මියගොස් බවට කරෝලිස් ගෙනා බොරු ආරංචිය ලැබීමෙන් පසු ඇය පියල් සමග විවාහ වීමට එකඟ වෙනවා. පියල් සමග විවාහ වීමට පැවති එකී සංකේතික බාධාව පිළිබඳ කියවීම සිහි ගන්වන්නේ නිකෝල් කිඩ්මන් රඟ පෑ Eyes Wide Shut නමැති සිනමා පටයයි.සිනමා පටයේ එක්තරා අවස්ථාවක බීමත්ව සිටින කිඩ්මන් ලිංගික සබඳතාවක් සඳහා පොලඹවා ගැනීම්ට කිසියම් පුද්ගලයකු තැත් කරයි. ඇය එම අවස්ථාව මග හරින්නේ තම අතේ වෙදැඟිල්ලේ පැලඳි මුදුව පෙන්වමන්. ඔහුගේ යෝජනාවට එකඟ වීමට ඇයට ඇති බාධව ඉන් සංකේතවත් වන ඇගේ විවාහයයි. කෙසේ වෙතත් ගම්පෙරළිය නවකතාවේ ඉහත සිදුවීම් මගින් යථර්ථය ඇතුළතින් පුපුරා යන සැටි අපට පසක් කරවනවා. 
  යට කී ආකාරයේ කියවීමක් තුළ සම්ප්‍රදායික යථාර්ථවාදී විචාරය තුළ හෙම්බත්ව සිටි මර්ටින් වික්‍රමසිංහ යළි සොයා ගැනීමට අපට හැකිවෙනවා. එහෙත් කිව යුතු දේ නම් එබඳු නූතනවාදී කියවීමකට තරම් වන විභවයක් ලේඛකයා තුළද පැවතිය යුතු වීමමයි.මෙම ලිවීමෙහි ඉඩකඩ අනුව අපට ඔහුගෙ වෙනත් නවකතා පිළිබඳ එබඳු කියවීමකට යාමට නොහැකි වෙතත් මර්ටින් වික්‍රමසිංහ යනු නූතවාදී කියවීමක් තුළ පවා තමා මහා නවකතාකරුවකු බව සනාථ කළ ලේඛකයෙක්.