IMG-LOGO

කුමාර හෙට්ටිආරච්චි කියන්නේ ඇගයුම් නොලද විශිෂ්ට කවියෙක් - උපුල් ශාන්ත සන්නස්ගල

පුස්තක මස්තක

 

ආචාර්ය කුමාර හෙට්ටිආරච්චි කවියාගේ කවියේ ගුණ රුව පිළිබඳව උපුල් ශාන්ත සන්නස්ගල මහතා 2025 - ජනවාරි  31 වැනි සිකුරාදා පස්වරුවේ ගාල්ල හසාරා හෝටල් ශලාවේ දී පැවැත්වූ විශේෂ දේශනය ඇසුරිනි.   

"...කුමාරගේ කවි දීර්ඝයි. හැමදාම කවියක් ලියනවා.අපට මහ පුදුමාකාර වධයක් වෙලා තියෙන්නේ. ඉතින් මේ කවි කියවන්න එපැයි.ඒවා කියෙව්වාම හිත රිදෙනවා.දුක හිතෙනවා.ඊර්ෂ්‍යාව හිතෙනවා.ආදරේ හිතෙනවා. මේ කුමාර ගේ කවි සමහර දවසට මාව අඬවලා තියෙනවා. මම ඒ කවි නැවත නැවත කියවනවා.
මට මේ අවස්ථාවට ආරාධනය කිරීම පිළිබඳව සංවිධායක මණ්ඩලයට ස්තූතියි. කවියා කියන්නේ කොහොම එකෙක්ද ? කවියා එක අතකින් මහ පරයෙක්.මහ යක්ෂයෙක්.එක පැත්තකින් පට්ට නරක මිනිහෙක්. කවියේ එක අංගයක් උත්ප්‍රාසය. ඒ කියන්නේ උපහාසය හෝ අපහාසය නොවේ.එහෙම එකකට නඩු ගිය හැකි වුවත් උත්ප්‍රාසයට නඩු දැමිය නොහැක. වරෙක මහගම සේකර වෛශ්‍යවක් නැතිනම් ගණිකාවක් ගැන මෙහෙම ලියනවා "උඩින් උඩින් දෙපා තබා මඩෙන් මිදී සුරංගනාවියෝ මුඩුක්කුවෙන් බසී.." දැන් මේ පදවලට වෛශ්‍යවට තමන්ට සුරංගනාවී කියා කිව්වයි  නඩු දාන්න බැහැ. ඒක තමයි උත්ප්‍රාසය.   
                                                                        
උත්ප්‍රාසය ලස්සනට යොදාගත්ත තැනක් තමයි පාර්ලිමේන්තුව.හෑබැයි මං කියන්නේ දැන් නෙවෙයි ඉස්සර පාර්ලිමේන්තුව. තුත්තිරි ගස්  තියෙන පාර්ලිමේන්තුවක් එහෙම ලස්සන වෙන්නේ නෑ. ඒ වගේම තුත්තිරි ගස් පුරවැසියන් ඉන්න රටක් මේක.ඒකයි මේ රට වුණත් ලස්සන නැත්තේ.මට මතකයි ඒ කාලේ අනුරාධපුර පැත්තේ ඇමති කෙනෙක් හිටියා මහින්දසෝම කියලා. මහින්දසෝම කියන්නේ ජනප්‍රිය කැලෑ කපන්නෙක් ලෙසයි ප්‍රකට.එහෙම වුණත් පාර්ලිමේන්තුව මේ වග සෘජුවම ප්‍රකාශ කළ නොහැකියි.නමුත් වාසුදේව දිනක් පාර්ලිමේන්තුවේදී  පවසනවා තමා අනුරාධපුරයේ සිට කොළඹ එනකොට දැවැන්ත ගස්වල ගසා තියෙනවාලු "මං  මහින්දසෝම ට " කියලා.ඊට කුඩා ගස්වලද "මං  මහින්දසෝම ට " කියලා සඳහන්ව තිබුණා...ඊළඟට පොඩිම පොඩි පැළවල "මාත් කවදාහරි  මහින්දසෝමට " කියා ගසා තිබූණලු. අන්න ඒකට උත්ප්‍රාසය කියන්නේ.
                                                                                          
කවියක උපමා, රූපක ආදි ගොඩක් දේවල්  අඩංගුව තිබෙනවා. මේවා පිළිබඳව දීර්ඝව කථා කරන්න වෙලාව නෑ.මොකද මගේ වෙලාවෙන් ගොඩක් හරිය නිවේදකයා ගත්තා. එයත් රූපවාහිනී නිවේදකයෝ වගේ.පුරුදු වෙලා  රූපවාහිනී වැඩසටහනකට ගියාම අමුත්තට වැඩිය කථා කරන්නේ නිවේදකයා.අපි ඉතින් බලන් ඉන්නවා.මගේ ඒ ප්‍රකාශය මොකක්ද නිවේදකයා පිළිබඳව දරුණු උත්ප්‍රාසයක් ඇති  කිරිම.ඊට නඩු දාන්න බෑ.උත්ප්‍රාසය කියන්නේ කවිවල නිතර යොදාගන්නා දෙයක්.ඒ වගෙම  තවත් උත්ප්‍රාසය යොදාගත් කෙනෙක් තමයි ඩලස් අලහප්පෙරුම ඔහු වරක්,රනිල් වික්‍රමසිංහගේ නිර්දේශයට පාර්ලිමේන්තුවට පත් කෙරූ එක්තරා මාධ්‍යවේදියෙක් පිළිබඳව,ප්‍රකාශයක් කරමින් "මන්ත්‍රීවරුනි අප එන්න එන්න ගල්යුගයට යනවා" යැයි පැවසුවා.එම ප්‍රකාශයේ ගල්යුගය කියන්නේ  ශිෂ්ටාචාරය ගැන නොවේ.එතන ඇත්තේ උත්ප්‍රාසයයි.
ඒ වගේම දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිශ්චන්ද්‍ර මහතාගෙන් අද දින උපහාර ලද කුමාර හෙට්ටිආරච්චි කවියා එතුමා උත්ප්‍රාසයට නැගූ බවයි මට හැගීගියේ.ආණ්ඩුකාරවරයාගෙන් සම්මානය අරගෙන  ඔහු බදාගත්තා.ඉන් කුමාර හෙට්ටිආරච්චි ලද රාජ්‍ය සම්මානයට තවත් වටිනාකමක් ලැබුණා.ඊට පසුව සභාව ඇමතූ කුමාර හෙට්ටිආරච්චි පවසනවා මං සමහර කවි පොත් ලිව්වේ  දින දෙකකදී බව. එතැනද උත්ප්‍රාසය තියෙනවා.

  අපි කොළඹ විශ්වවිද්‍යාලයේ, කුමාර පේරාදෙණියේ. එදා අප ඔහු හැඳින්වූයේ වෑල්ඩින් කවියා ලෙසයි.ලංකවේ සිටින ප්‍රශස්ත මට්ටමේ ගේය පද රචකයන් මෙන්ම සමිභාවනාවට පත්වෙච්ච විචාරකයෝ සහ කවියෝ කුමාර හෙට්ටිආරච්චි ගණන් ගත්තේ නැහැ. ඔහු කවි ලියන වේගය තමා ඊට හේතුව. දැන් මේ මාර්කට් වී ඇත්තේ ඒ වෑල්ඩින් වැඩයි.උදාහරණ  ලෙස දක්වූවොත් කුමාර ගේ කවිවල කිඹුල්ලු වැඩිවියට පත්වෙනවා.

අල්විස් පෙරේරා කවි කිව්වොත් නැවතී
කිඹුලන් පවා කොටහළු වන බව කියතී
කිතුලට නඟින උදවිය ගහ මුල නැවතී
කවියෙන් කවිය බී ගහ මුල චූ කරතී

     (කොළඹ කවියෝ සොඳුරු සාදෙක........ "රොක් හිපොප් රැප්" - කාව්‍ය සංග්‍රහය -2024)

ඒ වගේ යෙදූම් තමයි ඔහුගේ භාවිතය. ඒ වාගේම  මේ සමාජ මාධ්‍ය නැත්තං..කුමාරගේ කවිද නැහැ.එහෙම නම් කුමාර තාමත් වෑල්ඩිං කවියෙක්. 

ඇළ දොළ දියට පැන හෙලුවැල්ලෙන් පීනූ
බොල පොඩි කුමාරේ උඹෙ කවි මල් රේණූ
සියොළඟ කිතිය අවුලනකොට බෑ වානූ
ගැබ්බර නොවේවි ද කවි කියවන ගෑනූ

    
  (කොළඹ කවියෝ සොඳුරු සාදෙක "රොක් හිපොප් රැප්" - කාව්‍ය සංග්‍රහය -2024)            

කුමාරගේ කවි අසන ගෑනු ගැබ්බර වෙලා. මේවා හරිම අපුරු යෙදුම්.ඒකයි මම මුලින්ම කිව්වේ කවියෝ කියන්නෙම මහ වලත්ත ජාතියක් බව.
            කුමාර මුලින්ම ලිව්වෙ කෙටි කවි.ඒ කවි අතරේ මරු කවිය තමා මේක. රටේ ආණ්ඩු බලය ගන්න එක එක ස්ලෝගන් ඔසවාගෙන එනවා."එක රටක් එක නීතියක්" ඒ වගේ හැත්තෑහතේ ආව ස්ලෝගන් එක තමා "ධර්මිෂ්ඨ සමාජය".ඒ ධර්මිෂ්ඨ සමාජය ගැන එදා විශිෂ්ටම කවිය ලිව්වේ මේ කුමාර හෙට්ටිආරච්චි. ඒ කවිය තමා

 "ටාං....
  ටාං.........
  ටාං..... 
  ඩෝං............ 
  ඩෝං............ 
  ඩෝං......."

 
  (ධර්මද්වීපය........ "රුවන් සක්මන" - කාව්‍ය සංග්‍රහය -1989)

 ඝණ්ඨාර ගැහැව්ව හපුතලේ පන්සලේ  තමයි විජමුලා සොත්ති උපාලි නතර කරන් උන්නේ....කාටත් තෙරුවන් සරණයි කියන දේශපාලකයා තමා ඔවුන් ඉදිරියට ගෙන ආවේ.ඒ වගේම හරිම අපූරු මිනිස්සු මට මේ දිනවල හමුවනවා. ජවිපෙ පන්ති පහට විතරක් ගිය පන්ති සාමාර්ථයක් නැති සගයෝ එනම් කිසිම චින්තනයක් නැති සගයෝ බෝක්කුව උඩ ඉඳන් කියනවා අඩෝ මේක අපි පත්කරපු ආණ්ඩුව, ආණ්ඩුව වැඩ කරන්න ඕන අපට ඕන විදියට.ඒ අය රට ප්‍රශ්න කරන යුගයක් දැන් ඇවිත්.    

එදා හපුතලේ  විජමු ගේ ඉදිරිපිට තමයි සොත්ති උපාලිගේ ගේ තිබුණේ.ඒසොත්ති උපාලි කරලියට ගෙනාවේ විජමුගේ අයියා.විජමු ගමපුරා පිරිත්පොත් , පිරිත් නූල් බෙදුවා. ඒ වගේම අසූ අටේ  තංගමලේ පැත්තේ එක දවසේ දහසයක් මරා දමා තිබුණා.මුළු රටේම හැට දහසකට වඩා මියගියා.ඒ වාගේම උතුරේදීද විශාල ප්‍රමාණයක් මියගියා.මේවට තමයි එදා කුමාර ලිව්වේ

"ටාං....ටාං.........ටාං..... ඩෝං............ ඩෝං............ ඩෝං......."  කියලා
                       
 ඒ වගේම මේ සේරම ගැන හිතලා තමයි මම කිව්වෙ ඉතුරුවෙලා ඉන්න අපි, තුත්තිරි ගස් කියලා.
සරත්චන්ද්‍ර වගේ ප්‍රේමකීර්ති ද අල්විස් වගේ මහා ගස් උන්නා නං...අද මේ දේශනය කරන්නේ ඔවුන්.අපි තුත්තිරි ගස් මේ කාන්තාරේ.මගේ වයසේ කවිරුන් හෝ මෙතැන ඉන්නවා නමි ඒ අයට මතක ඇති කුප්පි ලාම්පුවෙන් පාඩමි කරපු හැටි.සිරිමාගේ ආණ්ඩුව කාලේ කෙහෙල් බඩ කාපු අය,ගුල්ලො පාන් කාපු අය,සමුපකාර පෝලිමේ හිටපු අය,බඩගින්නයි,හාමතයි කියන්නෙ එකක් නෙවෙයි දෙකක්.තව ටික  වෙලාවකින් අපට එන්නේ බඩගින්න. ඒත් උදේ දවල් දෙකම කන්නත් නෑ රෑට කන්නත් විදියක් නෑ වගේ නං හෙට උදේ කෑම අවිනිශ්චිත නං හැන්දෑව වෙනකොට එන්නෙ හාමතක්.අපි හාමතේ තමයි ඉස්කෝලෙ ගියේ. ඒවගේම  කුප්පි ලාම්පුවෙන් පාඩම් කරාම උදේට ඇස් දනවා.නහය ඇතුළේ කෑලි කෑලි එනවා.මට අද තිබෙන පෝලිං දැක්කාම භයහිතෙනව පොඩි කාලේ ගුල්ලො කාපු පාන් මතක වෙනවා.භූමිතෙල් ගඳ ගහන රෙදි මතක් වෙනවා.අඟහරුවදාට බත් තහනම් වූ බව මතක් වෙනවා.කුමාර මේ ගැන කවියක් ලියා ඇත.ඒක තමයි රහ..

   "..තුන් දිනක් තුළ බත් හුලක්
      කහට උගුරක් හෝ නොලත්
      කුඩා දරුවෙක්,
      සිත් තොසින් ගෙන සිතියමක්
      කඩා කෑවා 
      ආසියාවෙන් භාගයක්..."

           
  (තුන්වන ලෝකයේ පුත්‍රයා........ "සක්මන් මළුව" - කාව්‍ය සංග්‍රහය -1985)  

 කුමාරගේ මේ හැම කවියකම පොඩි යට කෑල්ලක් ඇත.ඒක අහුනූන කෙනෙකුට  ඒ කවියේ රහ දැනෙන්නේ නැහැ. දැන් මෙතනදී වෛද්‍ය පුෂ්පිකා මහත්මිය ගායනා කල"අබිනික්මන මඟ ඇරුණෙ ම ගෑනුන්ට........." කවියද එසේමය.

කන්ථක අස්පයාගේ නෝනා වන වෙළඹගේ
අහිංසක වැලපුම නොහොත් 
යසෝදරා සමඟ තවත් ගෑනු සතෙක්.........

සාරා සංඛ්‍ය කප් ලක්සය පෙරුම් පුරා
සූවිසි සංඛ්‍ය හැඟුමන් හදවතින් පෙරා
ආවා රිදෙන කුර හතර ම ගෙවෙන තුරා 
තාමත් ආවෙ නෑ සුන්දර සුපෙම්බරා

හිමයේ ගොසින් සිව් පා කුර ගෙවුණාද
තිබහට වතුර ගෙන ඇළ දොළ ගැලුවාද
සිදුහත් කුමරුගෙන් ලැබ ආදර හාද
හිටියත් නුඹට මං අමතක නෑ නේද 

නේරංජනා ඉස්නානේ මනලොල්ලේ
බෝසත් හැඟුම් උතුරා ගඟ වැලපිල්ලේ
නේරංජනා ගඟ බඩ නිල් තණ ගොල්ලේ
හීනෙන් දකිමි කුර සටහන් සුදු වැල්ලේ

රන් යහනේ සැතපෙන කල බිසොවුන්ට
රන් මාලා වැහි වැහැලා යහන පිට
ඉස්තාලේ මං තනියම ලගින කොට
වස්සානේ වැටුණෙ ම උණු කඳුළු කැට

ඇතෙක් බරට ලැබුණත් නෙක අඩුවැඩිය
පුතෙක් වැදූ මවකගෙ කිරි බර වැඩිය
යසෝදරා දන්නව මවකගෙ දිරිය
සතෙක් වුණත් මගෙ මව්කිරි රන් කිරිය

රිදී යහන රන්වන් රන් වියන යට
මැණික් කරඬු පිරුණත් මව් කිරි බරට
ඇසේ රහල් බිලිඳුගෙ කටහඬ ද මට
නිමා නොමැති දුක උරුමය ගෑනුන්ට 

නොහිම් පෙමින් බැඳෙමින් බව කතර පුරා
යොදුන් ගණන් ආවෙමු දිවි මඬල සරා
හදින් දරාගෙන ඉමු අපි කඳුළු පෙරා
ඉතින් අපිත් ගෑනු ම නේ යසෝදරා 

ආව ගමන සංසාරේ පෙරුම් පුරා 
තාම දැනෙන උණුහුම හදවතින් දරා 
වානු බැරි ම තැන හැඬුවෙමු කඳුළු පෙරා
ගෑනු අපට දුක උරුම යි යසෝදරා 

  (අබිනික්මන මඟ ඇරුණෙ ම ගෑනුන්ට......... "කස්තුරි මුවෙකුගේ භූගෝල විද්‍යාව පොත" - කාව්‍ය සංග්‍රහය -2024) 

ඒකේ තියෙන්නේ සිද්ධාර්ථ කුමාරයා අභිනිෂ්ක්‍රමණය කරන්නේ, රාහුල කුමාරයා මෙලොවට බිහිකළ දවසෙමයි.ඒ අභිනිෂ්ක්‍රමණය සිදුවන්නේ කන්ථක අශ්වයා සමගයි. ඒ කන්ථක නේරංජනා ගං තෙරදී ළය පැළී මියයද්දී  කන්ථක ගේ බිරිඳ ගැබ්බර වෙලා.ඒ ගැන තමා කවිය.

ඉස්සර කුමාර ලිව්වේ කෙටිකවි.දැන් එහෙම නෑ.දැන්  කුමාරගේ කවි දීර්ඝයි. හැමදාම කවියක් ලියනවා.අපට මහ පුදුමාකාර වධයක් වෙලා තියෙන්නේ. ඉතින් මේ කවි කියවන්න එපැයි.ඒවා කියෙව්වාම හිත රිදෙනවා.දුක හිතෙනවා.ඊර්ෂ්‍යාව හිතෙනවා.ආදරේ හිතෙනවා. මේ කුමාර ගේ කවි සමහර දවසට මාව අඬවලා තියෙනවා. මම ඒ කවි නැවත නැවත කියවනවා. උසස් පෙළ සිංහලවලට නව කවිසරණිය නමින් පොතක් තියෙනවා. මං ඒපොතට විකල්ප  පොතක් ලිව්වා තවත් කවි සරණියක් උසස් පෙළ සිසුන්ට  උගන්වීම සදහා සෑම වසරකම අළුත් කවි පොතක් ගැහැව්වා.ඒකෙ කුමාරගේ කවියක් හැමදාම තිබුණා.

                                                        මේ කවියා සහෘදයාට වදයක්( සහෘදයා යනු සමාන  හදවත් ඇති) වේදනාවක්. තවත් කවියක් ගතහොත්"... පඹයා සහ මල්ලිකා.." මේ කවිය ලංකාවේ එකෙක් ඇමරිකාවට රස්සාවට ගියාම ඔහුට  සිද්ධවෙනවා තිරිඟු යායක් බලාගන්න ..බලන්න මේ කවියේ නිමිත්ත, වස්තු විෂය, ප්‍රස්තුතය,ඒ වගේම මේ කවිය හරි අපූරුයි. 

"...ඇමරිකාවේ තිරිඟු යායක හිට ගතිමි පඹයෙක් වෙලා
    කබායක් හැඳ හිනාවෙමි මම මුට්ටියක් ඔළුවේ නමා

    කොලම්බස්ගේ ඇමරිකාවට පායනා ඉර බල බලා
    එකත්පස් වී හිට ගතිමි මම ඇමරිකන් පඹයෙක් වෙලා
    

(පඹයා සහ මල්ලිකා................ "රොක් හිපොප් රැප්" - කාව්‍ය සංග්‍රහය -2024)              

මේක තමා ඔහුගේ රැකියාව. මේ කවිය තේරුම් ගැනීමට ලංකාවේ දේශපාලනයද තේරුම්ගත යුතුයි. ඇමෙරිකාවේ ඉන්න පඹයෝ චීනයේ අරින සරුංගල් ඒ වගේම ඇමරිකාවට විරෝධය පා අලවන දේශපාලකයන්ගේ පෝස්ටර් අලවන්නේ ඇමෙරිකන් තිරිඟු පිටිවලින්...

"..ඈත පැසිපික් සාගරෙන් එන සුළං රැල්ලක කිමිදිලා
   ඇමරිකාවේ උතුම් ජාතික ගීය ගයනෙමි හිස නමා

   මාල ගිරවුන් පාත් වෙනකොට පාන්දර මන්මත් වෙලා
   උන්ට හංකිති කවා නටවමි ජෝතිපාලගෙ ගී ගයා

   යෝධ නෞකා පාව යනකොට තිරිඟු පිටි තොග පටවලා
   මගේ දෑසට කඳුළු ඉනුවා මල්ලිකා සිහිපත් වෙලා

   පොලුත් ගාගෙන ඇමරිකන් පිටි අනා රොටියක් පුච්චලා
   යෝදියේ උඹ මඟ බලන් ඇති ලෝක සිතියම අත ගගා

    අපේ හත්මුතු පරපුරේ අය පාන් කනවැති නැඟිටලා
    මටත් ආඩම්බරයි මං ගැන ඇමෙරිකන් පඹයෙක් වෙලා

     මෙක්සිකෝවෙන් ගලන දුමකින් මගේ පෙණහලු පිම්බිලා
     සුද්දියෝ මට විහිළු කෙරුවා ලැජ්ජ බය දෙක මිරිකලා 

     සාරවත් දුම්කොළ වගාවක පුරුක් පණුවෙක් ඉපදිලා
    ඌත් ඇහුවලු සුද්දියන්ගෙන් මල්ලිකා කෝ කිය කියා 

    ඉන්දියන් සාගරේ දිලිහුණ අමුතු ඇටයක් සොය සොයා
     සබ්මැරීනෙක කොලම්බස්ගේ මුනුබුරෙක් පාවී ගියා

    කවද හරි මුට්ටියත් එක්ක ම ගමේ එන්නත් හිතෙනවා
   මල්ලිකා දුක් නොවී ඉඳපන් තිරිඟු ඕසෙට වැවෙනවා

   ඇමරිකන් පිටි අමුඩයක් ඇඳ මාත් කුඹුරක් කොටනවා
    ඕ බලහං උඹත් දවසක තිරිඟු අස්වනු නෙළනවා

    (පඹයා සහ මල්ලිකා................ "රොක් හිපොප්රැප්" - කාව්‍ය සංග්‍රහය -2024)    

 මේ කවි කියවන කොට හිනා යනවා තමයි.ඒත් ඒ හිනා අස්සෙන් අපට ඇඬෙනව නේද..? පොලුත් ගාගෙන අනාගෙන රොටියක් පුච්චලා....යෝධියේ උඹ මග බලං ඇති ලෝක සිතියම අතගගා.මංදන්නවා සමහර දරුවෝ ලෝක සිතියම බලං අම්මට තාත්තට වදින ගාථා කියන දරුවෝ ඉන්නවා.
 පඹයන්ට එහෙම එව්වා තමයි හිතෙන්නෙ.දේශපාලකයන්ගේ හීන මේ පඹයන්ගේ හීන වගේ තමයි. අපි ඉතිහාසයේ හැමදාම දේශපාලන පඹයන්ගේ හීනවලට රැවටුණා. තවත් එක කවියක් ගැන මම කතා කරනවා.
මම මේ කවියට අශාව නිසාම  රත්මලාන පැත්තේ කැස්බෑවුන් ඇති කරන තැනකට ගියා බලන්න. කැස්බෑව බිත්තර දමන්න මේ රටේ ගොඩබිමට එන්නේ උන් මෙහෙම ගොඩ බිම නිවැරදිව  සොයාගෙන යන්නේ කොහොමද මට මේ කවිය තුළින්  අම්මෙකුගේ විලාපයක්   ඇහෙනවා.
 
"...කැස්බෑ අම්මාගේ කවිය
     
සංවේගදායක පුවත :හබරාදුව වෙරළට ආ කැස්බෑ මවක් පණ පිටින්  සිටියදී ඇගේ කකුලක්  කපාගෙන කති.

  බුදුසරණින් මං ආවේ ලොවින් උතුම්රට
  තම්බපන්නියේ උණුහුම  පරපුරකට
  සාදු සාදු මට අවසර මේ වෙරළේ
  පිංවතුනේ පිහිය අරන් ඇයි ආවේ මං

    හිචිචි පුතේ පිහිය ගනිං මේං කකුල
    හීන් කොලුවො පිහිය ගනිං මේං කකුලත්
    කළුමල්ලියෙ පිහිය ගනිං තුන්වැන්නත්
    සුදු මල්ලියෙ පිහිය ගනිං සිව්වැන්නත්

    සඳකඩ පහණක උලලා මුවත්  තිව්ව
    නටබුන් පිළිමෙක උලලා මුවත් තිව්ව 
    ඝණ්ඨා කුලුනක උලලා මුවත් තිව්ව .
    පූජාසනයක උලලා මුවත් තිව්ව 

    හෝඩි පොතේ පිටු කඩලා එක් කකුලක්
    සුභාෂිතේ පිටුකඩලා තව කකුලක්
    ලෝ වැඩ සඟරාව කඩා තුන්වැන්නත්
    ඉතිහාසේ පිටු ඉරලා සිව්වැන්නත්

    සංස්කෘතිය කබල් ගෑව හට්ටියටම මස්
    මිරිස් තුනපහේ එක්කම අනන්‍යතාවය
    අම්මා දුන් කිරට වැඳලා පොල් ගෙඩියක කිරි
    හතර වරම් දෙවිපිහිටයි කට ගැස්මේ රහ

    අත්ත මුත්ත කිරි කිත්තන් සොහොනින් නැගිටින්න 
    අම්මා අප්පා අඹු දරුවන් කිසිවෙකු දැන ගන්ට
    යක්ෂ භූත පිශාචයන් කිසිවෙකු දැන ගන්නට 
    මෙතේ බුදුන් හමුවනදා දෙකකුල් පැටලෙන්න ..."
    

   ("කැස්බෑ අම්මාගේ කවිය.." "පාරජම්බූල කාව්‍ය සංග්‍රහය- 2010)

  කුමාර මිත්‍රයා ඔයාගේ කවි කියවලා අපි විඳවන විඳවිල්ල ගැන ඔබට කිසි හැගීමක් නෑ. අපි අඬනවා අපි හිනාවෙනවා....අපි කැස්බෑවන්ගේ ජීවන තොරතුරු සොයාගෙන යනවා. මහ වධකාර කවියෙක්.

කැස්බෑවෝ තමං ඉපදී දියට වැටෙන බිම එම ස්ථානයටම නැවත ඔවුන් බිත්තර දැමීමට පැමිණෙන බව සොයාගෙන ඇත. හබාරාදුවෙන් ගිය කැස්බෑවා ආයෙමත් බිත්තර දාන්න එන්නෙ හබාරාදුවටමයි. මේ කැස්බෑ අම්මා බිත්තරත් සමග හබරාදුව වෙරළට තමා ආවේ.තෙවරක්ම බුදුන් වැඩි රටට.
කුමාර හෙට්ටිආරච්චි කියන්නේ අගය කිරීමට ලක් නොවූ කවියෙක්.ඒ වුණාට කුමාර ඔබ ඉතාමත්ම දක්ෂ කවියෙක්.  වටිනා මිනිහෙක්.දිගටම කවි ලියන්න. ඔබට මහා පාඨක පිරිසක් ඉන්නවා.ඔබට දීර්ඝායුෂ. ස්තුතියි...."

සටහන 
වජිර පූජිත ගුණවර්ධන



අදහස් (0)

කුමාර හෙට්ටිආරච්චි කියන්නේ ඇගයුම් නොලද විශිෂ්ට කවියෙක් - උපුල් ශාන්ත සන්නස්ගල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1441 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 531 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 600 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site