නිර්වචන සැපයිය නොහැකි ‘ගැඹුරු’ මාතෘකාවක් වන කවිය පිළිබඳ ප්‍රාමාණිකයන් තිදෙනෙක් විසින් ඉදිරිපත් කරන ලද නිර්වචන 03ක් පහත පරිදි වේ. 

1.කාව්‍ය වනාහි ඉතා ම දාර්ශනික වූ ලේඛනය යි- ඇරිස්ටෝටල්

2.කාව්‍ය බුද්ධිය නොව සංකල්පනය හා ප්‍රේමය දෙසට මඟ පෙන්වයි- පී.බී.ෂෙලී
.
3.කවිය යනු මිනිස් සන්තානයේ පාරිශුද්ධිය සමඟ එක්ව ගමන් කරන සම්භාවනීය චින්තන විශේෂයකි.- පී.බී.අල්විස් පෙරේරා

අපේ සිංහල කවිය පිළිබඳ සොයා බලද්දී යථෝක්ත නිර්වචන තුන ම අදාළකොට ගෙන රස විඳින්නට කවි තිබේ. යුගයෙන් යුගය කවියේ හැඩ වැඩ මාරු වෙමින් යළි හැඩ වැඩ වෙමින් පැමිණි අයුරු වෙන ම කතා කළ යුත්තකි. නමුත් අතීතයේ පටන් දොළක් සේ පාඩුවේ ගලා ආ සිංහල කවිය 1946 දී ජී.බී.සේනානයක නම් ගල් කුළෙහි වැදී දිශා වෙනස් කරමින් සැඩ ව ක්‍රමයෙන් ගඟක් ව ගලන්නට විය. අපි එහි දිය බොන්නෝ වෙමු. 
ජී.බී. ඇරඹි නිසඳැස වඩාත් ගං දියෙන් පෝෂණය කරන්නට කටයුතු කළේ සිරි ගුනසිංහයන් ය. ඔහු සාහිත්‍යයේ රැඩිකල් මතධාරියෙක් විය. බටහිර සාහිත්‍යයේ ආභාසයෙන් පෝෂණය ලද ඔහු සිංහල සාහිත්‍යයට නව මං විවර කරන්නට උත්සුක වූවෙකි. පේරාදෙණි ගුරුකුලයේ ආරම්භක සහ ප්‍රමුඛයෙක් වශයෙන් ද හැඳින්වේ. 1956 දී පිටවන ‘මස් ලේ නැති ඇට’ පද්‍ය කෘතිය සිංහල කවිය උඩු යටිකුරු කරන්නට සමත් විය. සිරි ගුනසිංහයන් ‘අබිනික්මන සහ රතු කැකුල’ ග්‍රන්ථ රචනා කරන්නේ ඉන් අනතුරුව ය. “සෑම අලුත් ම සංකල්පයක් ම සෑම අලුත් අත්දැකීමක් ම ප්‍රකාශ කිරීම සඳහා අලුත් ම යෙදුමක් අවශ්‍ය බව ගුනසිංහ” තරයේ කී ය.  ඔහු විසින් ලියූ අබිනික්මන කාව්‍ය සංග්‍රහයේ අවසන් පද්‍ය වන්නේ ‘අබිනික්මන’ යි.

අබිනික්මන...
දුර බැහැර ගමනක් ය
දුක් පිරුනු ගමනක් ය
අඳුරකින් අඳුරකට
මාරු වුනු ගමනක් ය
අඳුර සමඟ පෙර බදමින්
විඩිවෙ හඬ නිහඬ කරමින්
සැලෙන මසේ හති පෙරමින්
පැමිනියෙමි විකාරෙන් ගෙවා
ගෙන දුරු කතර
නේරංජාවෙන් ගොඩ වෙන්න
විමසමින් සිහිනයක් ඇත එගොඩ සුදු
සිනාවෙන් පිරුනු
ඉඳ හිට කිසිවෙක්
හිටගෙන කන්දක
පඬි හුලු අත්තෙන් දුන්නත් එලියක්
කලාමැදිරියෙක් මෙන්
අඳුරු අවිද්යා ආකාසේ
මොහොතින් නැවතත් අඳුරෙන් වැසුනා
එලිය සොයන මට පාර පෙන්නුවේ
අන්ධකාරය යි
මේ ගඟ අයිනට
නේරංජාවෙන් 
යා යුතු ය එගොඩ වී
නේරංජාවෙන් 
යා හැකිද එගොඩ වී
මගේ මුලු ජීවය ම හැර දමා මැදියමේ
නේරංජාවෙන්
එගොඩ වී යන්නට යි
මා මෙතෙක් දැඟලුවේ
ජීවිතය ගොරවමින්
කෙල පෙරා නිරුවතින්
වැතිර ගෙන සිරි යහන පල්ලේ
ගුලිව කුනු පනුවන් ගොඩක් සේ
ගී නැටුම් හැම ඉවර කර දා
පැලී විවර ව මරණයෙන්
නිදන අන්ත:පුරය හැර දා
බිරිය හැර දා පුතු ද හැර දා
ආ නමුත් මැදියමේ
ඒ මගේ එක ජීවය යි
නේරංජාවෙන්
එගොඩ ගොඩ ගොඩ ගැහී
සුදු පැහැය බබුලුවා ගෙන
ඇත්තේ ආලෝකය යි කියා උන් කී නිසා
හැර දමා ආමි මම
අඳුරකැ යි කී දිවිය
පරදු කලෙ මේ දිවිය
දිනන්නට ඒ එලිය
පපා දහසක් රැඟුම්
මිහිරි ගී නාදයෙන්
ඇඟේ එල්ලුන නමුත්
ජීවිතය හඬ නඟා
ගසා දා පැත්තකට
මැදියමේ කලුවරේ 
කලෙමි මහබිනික්මන
දෙපා බැඳ තිබු මගේ ජීවිතේ දම්වැලත් බිඳ දමා
නයට ගත් අසු පිටින්
ආමි වේගයෙන්
බුද්ධියේ ඇල් වතුර ඉරක්
ගෙල වටේ ගා
ජීවිතේ හිස රැගෙන
දුනිමි දන්
ලබන්නට එගොඩ ගොඩ ඇති එලිය හදවතේ පුලිඟු ඇස්
ජීවිතේ හැම සැපත
හැම රස ම ජීවිතේ
බුද්ධියේ ජූජකට
ඇඹෙනි කොට
දුනිමි දන්
අලුයමේ කෙල ලෙසින්
ජීවිතය විසි කලෙමි
නේරංජාවෙන් එගොඩ
සදාකල් නොමැරී ඇති
ජීවයක් ලබන්න
මා ඉලිප්පුනු නිසා

සිරි ගුනසිංහ
(අබිනික්මන-1958)

මිනිස් ජීවිතයේ පවතින නිසරු ස්වභාවය පිළිබඳ වටහාගත්තකු ස්වකීය විමුක්තිය සොයා යාම අබිනික්මනෙහි තේමාව බවට පත්කොට ගෙන තිබේ. බෞද්ධ සාහිත්‍ය තුළ විස්තර කෙරෙන ‘අභිනිෂ්ක්‍රමණය’ නමැති සංකල්පය පදනම්කොට ගනිමින් කවියා ‘අබිනික්මන’ අපූරු වියමනක් බවට පත් කරයි. එකී සංකල්පයේ ද අභ්‍යන්තරය වූ කලී යථෝක්ත තේමාව බැව් අපි දනිමු. කතුවරයා ද බෞද්ධ දර්ශනය සිසාරා දත් සංස්කෘත භාෂාව පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකි. කැනඩාවේ කලා ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයෙක් වන්නේ පසුව ය. කතුවරයාගේ එවන් පසුබිමක් පිළිබඳ දැනගෙන තිබීම විචාරය පහසු කරවන්නක් විනා එය විචාරයක දී එතරම් සැලකිල්ලට භාජනය විය යුතු කරුණක් ලෙස මෙහි දී නොසැලකේ. 
අතෘප්තිකර ලෝකයේ මිනිසා අන්ධකාරයෙන් අන්ධකාරයට ම යනු විනා සත්‍ය වශයෙන් ම එළිය වෙත යන්නේ නොවේ. ගෝර්කිගේ නිර්මාණ කෘති ගැඹුරින් කියැවීමේ දී මේ සමාන චින්තාවක් මතු කරගත හැකි ය. ‘ඇවිලෙන හදවත’ කෙටිකතාවේ සිය හදවත ගලවා වනාන්තරයකින් ස්වකීයයන් එතෙර කරවන තරුණයෙකු පිළිබඳ අපි කියවා ඇත්තෙමු. එහි ගැඹුර සමඟ සමපාත කරන්නට හැකි කවියක් ලෙස අබිනික්මන පෙනේ. මේ අබිනික්මන කිසිසේත් ළඟපාතකට යන ගමනක් නොවේ. එහි දුක පිරී පවතී. ඔහු කෙතරම් වෙහෙස වූව ද විඩාවේ හඬ නිහඬ ය. ඔහු කොතෙක් වෙහෙසකර ද යනු අවසන වනවිට ඔහු සිටින්නේ ‘විකාරයෙනි’. කාන්තාරයක් මැදින් යන චිත්‍රපට නළුවකු ජලය නොමැති ව මිරිඟුව දකිමින් නන් දොඩවන දසුනක් අප සිහියට නඟන්නට කවියා සමත් ය. කවියා යනු කිසියම් කාලයකට අයත් කෙනෙකු ලෙස හැඳන්විය නොහැක්කේ ද එහෙයිනි. අපි එදත් ඒ කවිය රසවිඳින්නේ අපට හුරු පුරුදු චිත්ත රූප මවා ගනිමිනි. 

දුර බැහැර ගමනක් ය
දුක් පිරුනු ගමනක් ය
අඳුරකින් අඳුරකට
මාරු වුනු ගමනක් ය

බෞද්ධයාට නේරංජාව හුරු පුරුදු ය. ඒ පිළිබඳ ඔවුන් තුළ තිබෙන්නේ නම් නිවුණු හැඟීමකි. ගෞරවනීය හැඟීමකි. කවියා ද සාමාන්‍ය බෞද්ධයා නොසිතන සැබෑ ගැඹුර නේරංජාව තුළ දකී. සිදුහත් කුමරුට මෙන් ම කථකයාට ද අවැසි නේරංජාවෙන් එගොඩ වීමට ය. සිදුහත් නම් රාජකීය අසු රැගෙන ඉන් එගොඩ වෙයි. මෙහි සිටින්නේ කන්ථක නොවේ. ඒ ණයට ගත් අශ්වයෙකි. ඒ පිම්ම පිළිබඳ කිසියම් අවිනිශ්චිතතාවක් ද රසික සිතට නොනැඟෙන්නේ නොවේ. මිනිස් ජීවිතය තුළ පවතින අවිනිශ්චිතතාව, දුෂ්කර බව, වෙහෙසකර බව, කරදරකාරී බව ආදී සියල්ල කැටි කරන්නට කවියා යොදා ගන්නා භාෂාව ව්‍යංග්‍යාර්ථයන්ගෙන් අනූන වක්‍රෝක්තිය උක්ත කර ගනිමින් පහසුවෙන් හසුරවන අයුරු පෙනේ. කවියා තුළ තිබෙන පීඩනය කොතෙක් දැයි එළිය සොයන මට පාර පෙන්නුවේ අන්ධකාරය යි. යන්නෙන් හැඟේ. ඔහු අන්ධකාරය ම එළියක් බවට පත්කර ගනිමින් පැමිණ තිබේ. 
බෞද්ධ සාහිත්‍යයේ නම් සිදුහත් රාත්‍රියේ අභිනිෂ්ක්‍රමණය සඳහා සූදානම් වනවිට ඔහු අවට තැන තැන වැටී කුණු කෙල පෙරාගෙන, ගොරවමින්, හීනෙන් කෑ කෝ ගසමින්, අපිළිවෙළට සහ අප්‍රසන්න ලෙස සිටි බැව් කියැවේ. එහි ජනිත ජුගුප්සා රස සහෘද හදවතට ද දැනේ. අප කවියා ද ජීවිතයෙහි තිබෙන නිස්සාරත්වය  එසේ ම දනවයි. මේ නිස්සාරත්වය වටහාගෙන බුද්ධිගෝචර ව ජීවත්වීමේ අදහස ද කවියා මතු කරයි.

ජීවිතය ගොරවමින්
කෙල පෙරා නිරුවතින්
වැතිර ගෙන සිරි යහන පල්ලේ
ගුලිව කුනු පනුවන් ගොඩක් සේ

කවියා අවිද්‍යාවේ අන්ධකාරය පිළිබඳව ද කතා කරයි. අවිද්‍යාව නසන්නෙකු ඉඳ හිට හමුවේ. එය ලොව තුළ තිබෙන අන්ධකාරය දුරු කිරීමෙහි කිසිසේත් සමත් නොවේ. ඒ ආලෝකය හුළු අත්තක තිබෙන එළිය සේ පැතිරෙන්නක් වුව ද ඈත කඳු මුදුනක සිට හුළු අත්තක් වනන්නකු අපට කදෝපැණියෙක් ම විනා කවරෙක් ද? අන්ධකාරය පිරුණු ලෝකයක එය තිතක් ම පමණි. ඉඳහිට කිසිවෙක් දල්වන ‘පඬි හුළ’ ලොවෙහි අන්ධකාරය දුරු කිරීමට කිසිසේත් ප්‍රමාණවත් නොවේ යන සුවිසල් දැක්මෙහි කවියා සිටී. කවියෙහි දී ජීවිතයේ අන්ධකාරය වරෙක කණමැදිරි එළියකින් ආලෝකවත් වුව ද එය සැනෙන් නැවත අඳුරට ම යයි. ඔහු කවිය තුළ පවසන්නේ එළිය දුන්නේ හුළු අත්ත නොව අන්ධකාරය බව යි. මෙය ගැඹුරු අරුත් සම්පාදනය කරයි. කවියෙහි අර්ථය කෙරෙහි කවියා දක්වන විශේෂ උනන්දුව කවිය වඩ වඩාත් රසවත් කරයි. ගැඹුරු කරයි. රසිකයා ගැඹුරු දාර්ශනික සහ ධාර්මික කරුණු කෙරෙහි යොමු කරවයි.
කවියාගේ සංකේත භාවිතය ඉහළින් ඇගැයිය යුත්තකි. ‘ජීවිතයේ අනේක දුක්ඛ දෝමනස්සයන්’ ඔහු සංකේතවත් කරන්නේ අන්ධකාරයට ය. ජීවිතය නමැති ගංඟාවෙන් එගොඩ වන්නට නම් නිර්වාණය කරා යා යුතු ය. එය ගඟේ ‘එගොඩ’ සංකේතවත් කරයි. හුළු අත්ත නිර්වාණය විය යුතු ය. එගොඩ ගොඩේ පෙනෙන සුදු එළිය ද විමුක්තිය හෝ නිර්වාණය ලෙස සංකේතවත් කෙරේ. මේ අතර කවියා යොදා ගන්නා උපමා කිහිපයකි. කලාමැදිරියකු මෙන්, කුණු පණුවන් ගොඩක් සේ, අලුයමේ කෙළ ලෙසින් වැනි උපමා කවියට අලංකාරයක් එකතු කරයි. ඊට කදිමට ම ගැලපෙන අවිද්‍යා ආකාසේ, පුලිඟු ඇස් වැනි රූපක යොදා ගන්නට ද කවියා සූක්ෂම වී තිබේ. මීට අමතර ව කවිය පුරා ම ජීවිතේ දම්වැල, බුද්ධියේ ඇල්වතුර, හදවතේ පුලිඟු ඇස්, බුද්ධියේ ජූජක ආදී අලුත් රූපකවලින් අලංකාර කර ඇත. 
කවියාට අනුව මේ අබිනික්මන සිදුහත්ගේ අභිනිෂ්ක්‍රමණයට කිසිසේත් සමාන නැත. සිදුහත් රාජ කුමරෙකි. ඔහු නිවසින් පැමිණීම, තම දරුවාට සහ බිරිඳට තාත්තෙක් හා සැමියෙක් පමණක් නොමැති වීමෙන් නතර වනු ඇත. අනෙකුත් සියලු සැප සම්පත් ඔවුනට ලැබේ. එහෙත් කථකයා ණයට අශ්වයෙකු රැගෙන පැමිණෙන්නේ ඔහු ආර්ථික, සාමාජයීය වශයෙන් සිදුහත්ට සමාන නොවන බැවිනි. ඒ තුළ මතුවන සමාජ විෂමතාව රසික හදවත් කම්පනයට සමත් වෙයි. ඔහුට තිබෙන මානව සබඳතා නිසා ඔහුට සිදුහත් මෙන් පහසුවෙන් හිත හදාගෙන අබිනික්මන් කළ නොහැකි ය. එනිසා ම කථකයාට සිද්ධාර්ථ එගොඩ වූවා සේ එගොඩ වීමට හැකි වේ දැ යි නිශ්චිත නැත. මේ උභතෝකෝටිකය මැද අලුයම ලූ කෙළ පිඩක් ලෙස ජීවිතය විසි කරන්නට ඔහු සිතින් ශක්තිවන්තයෙකු විය යුතු ය. නොඑසේ නම් ඔහු ජීවිතය හුදෙක් ම විසි කරන පිස්සකු බවට පත් වේ. මෙතැනින් මතුවන්නේ සිදුහත් කළාක් මෙන් නිර්වාණය සොයා ගනු පිණිස වූ නේරංජාව තරණයක් බලාපොරොත්තු නොහැකි බවකි. කෙසේ වෙතත් එය උභතෝකොටියක් ලෙස කවියා වචනයෙන් මතු කරයි. සදාකල් නොමැරී ඇති ජීවයක් වෙනුවෙන් ඔහු ජීවිතය වීසි කරයි.
නේරංජාවෙන් 
යා යුතු ය එගොඩ වී
නේරංජාවෙන්
යා හැකි ද එගොඩ වී

ඔහු සිංහලයේ භාවිත ‘න/ණ, ල/ළ’ පිළිබඳ තැකීමක් දැක්වූවෙකු නොවේ. ඔහු ‘සිරි ගුනසිංහ’ ලෙස ලියා දැක්වීමේ දී ‘ණ’ වෙනුවට ‘න’ භාවිත කරන්නේ ද එබැවිනි. 
සිරි ගුණසිංහයන් ලාංකේය කවිය පැතිරවීමට දැක්වූ දායකත්වය චින්තනයේ නවමු මං මාවත් විවර කළ පරපුරු තනන්නට හේතු වූ බැව් ගෞරවාන්විත ව මෙහිදී සිහිපත් කළ යුතු ය. බෞද්ධයා දන්නා අභිනිෂ්ක්‍රමණය අකුරුවලින් පිටපත් ලිවීමක් හෝ අසා ලිවීමක් ලෙස නොකියා එය කාලය සමඟ ගළපා ඔහු සතු පැතිරුණු දැනුම සහ දර්ශනය සරල ව ඉදිරිපත් කිරීමට උත්සාහ දරයි. ‘සිරි ගුනසිංහ’ සිංහල කවියේ සලකුණක් බැව් ද සිහිපත් කිරීම වටී.