(විනීතා එම්. ගමගේ)
ශ්‍රී ලංකාවේ ජාතික ජල කළමනාකරණයට ඇති ප්‍රබලම බාධකය ජලයට තනි අයිතිකාරයකු නැති වීම යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත්දා (23) ප්‍රකාශ කළේය.
සාමාන්‍ය ජනතාව හා රාජ්‍ය නොවන ආයතන ජලය, කළමනාකරණය, පිරිමැස්ම හා ආරක්ෂාව ගැන අවධානය අඩුකම ජල කළමනාකරණයට ඇති අනෙක් බාධකය යැයි ද ජනාධිපතිවරයා පැවැසීය.
භෞතික ලෙස ගත් විට අපේ රටේ භූමි ප්‍රමාණයට ලැබෙන ජල ප්‍රමාණය නිසි ලෙස කළමනාකරණය කළහොත් අපේ භූමි ප්‍රමාණය මෙන් රටවල් දහයකට ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් පවතින්නේ යැයි ද සිරිසේන මහතා සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ ඉකුත් සිකුරාදා (23) සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති “සුපැන් ප්‍රජා අභිමානී සංසද” සමුළුව අමතමිනි.
නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යංශය සහ ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ මෙම සමුළුවේ අරමුණ වූයේ ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ප්‍රජා මූල සංවිධාන බලගැන්වීම හා නියාමන යාන්ත්‍රණය විධිමත් කීරීම සඳහා එම සංවිධාන දැනුම්වත් කිරීම වේ.
උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා මෙසේද කීවේය. ප්‍රජාමූල සංවිධානවල කටයුතු කරන ඔබ ප්‍රජා ජල කටයුතු සම්බන්ධයෙන් මෙවැනි සමුළුවක් සඳහා එක්වූ පළමු අවස්ථාව බවටයි මගේ මතකයේ තිබෙන්නේ. මෙහි තිබෙන ජාතික වැදගත්කමත් පාරිසරික වැදගත්කමත් සෞඛ්‍ය සංරක්ෂණය පිළිබඳව ඇති වැදගත්කමත් “රටේ ජල සුරක්ෂිතතාව” පිළිබඳ වැදගත්කමත් ඒ සියල්ල ගත්විට ඉතාමත් වැදගත් සමුළුවක් මෙය.
පසුගිය දිනවල රටේ ඇති වූ ගංවතුර තත්ත්වයක් සහ රටේ එක් ප්‍රදේශයක විශාල නියඟයක් තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ කොටසක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොටසක් අනුරාධපුර, පොළොන්නරුව උතුරු නැගෙනහිර පළාත්වල පානීය ජලය පිළිබඳව අද විශාල ගැටලුවක් මතුවී තිබෙනවා.
රටේ එක් කොටසක එවැනි ජල හිඟයක් තිබෙනවා වගේම තවත් කොටසක මහා ගංවතුරත් සමග විශාල ආපදාවක් ඇති වුණා. මේ තත්ත්වය අපිට පමණක් සීමාවූවක් නොවේ. අපේ අසල්වැසි මිත්‍ර රාජ්‍ය වන ඉන්දියාවේ, දකුණු ඉන්දියාවේ කෝටි ගණනකට බීමට වතුර නැහැ. විශාල නියඟ තත්ත්වයක් තිබෙනවා. කලාප වශයෙන් ගත්විට අපේ අසල්වැසි රටවල්වල එක් පැත්තක නියඟයක් පවතින අතර අනෙක් පැත්තේ ගංවතුර තත්ත්වයක් පවතිනවා.
ජාතික ව්‍යසනයකට මුල්වී තිබෙන ඩෙංගු මදුරුවා පිළිබඳ ප්‍රශ්නය ගත්විට, ගෝලීය උෂ්ණත්වයත් සමග ඇතිවන පාරිසරික තත්ත්වයන් සමග ඇතිවන සත්වයෙක්. එය ලෝකයේ රටවල්වලින් තුනෙන් එකක පමණ පාලනය කළ නොහැකි තත්ත්වයකට මුහුණ දී තිබෙනවා. මේ සමුළුවේ වැදගත්කමත් ඔබ අප බලාපොරොත්තුවන දේ ද ඉතා පැහැදිලියි.
ජීවත්වීම සඳහා මිනිසාට සැමවිටම අවශ්‍ය වන්නේ, වඩා යහපත් සමාජයක් සහ යහපත් මිනිසුන් ගොඩනගන්නට මිනිසා තනියෙන් ජීවත්වීමට වඩා මිනිසා සාමූහිකත්වයට ලක්වීමයි. සාමුහිකත්වය පොදු බව කණ්ඩායම් හැඟීම මුළු මහත් මානව පරිනාමය ගත්විට මිනිසාගේ දියුණුව සඳහා ඉතා වැදගත් ලෙස එම වගකීම් ඉටුකරමින් ඉදිරියට පැමිණ තිබෙන්නේ” යැයි ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
එම උත්සවය ඇමතූ නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා අදහස් දක්වමින් මෙසේ කීය.
“අපට විශිෂ්ට වාරි ශිෂ්ටාචාරයක් තිබුණා. ඊට ලොව පුරා ප්‍රශංසාවක් තිබෙනවා. ගමයි පන්සලයි වැවයි දාගැබයි කියන සංකල්පය සමඟ මේ රටේ තිබුණ වාරි කර්මාන්ත ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.
රටේ නළ ජලය ලබන පිරිස ජනගහනයෙන් සියයට 35 යි. ඔවුන්ට ජල සම්පාදන මණ්ඩලය විසින් ජලය සපයද්දී තවත් සියයට 11 කට ජලය සපයන්නේ ප්‍රජා මූල සංවිධාන විසිනුයි. එම සංවිධානවල උවමනාව වෙනුවෙන් අපි මේ අවුරුද්දේ පටන් දිස්ත්‍රික් මට්ටමින් දිසාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මාස 3 කට සැරයක් හමුවී ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් සලසනවා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මට්ටමින් මාස දෙකකට සැරයක් හමුවී ප්‍රශ්න ගැටලු සාකච්ඡා කරනවා.
මේ ක්‍රියාදාමය තුළ මම අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරමින් මේ සඳහා අනුමැතිය ලබා ගත්තා. මේ සංදේශයේ කියවන නොයෙකුක් උවමනාවන් පිළිබඳ අපේ අවධානය යොමුවෙනවා.
ප්‍රජා මූල සංවිධානවල ඉදිරි කටයුතුවලට තියෙන ලොකුම බාධකය තමයි, ණය ලබා ගැනීමට ඇති අසීරුතාව. ජල සම්පාදන මණ්ඩලය විසින් මේ අවුරුද්දට මිලියන තුන් ලක්ෂයක් ණයට අරගෙන විශාල පන්නයේ ජල සම්පාදන ව්‍යාපෘති හඳුන්වා දීමට සූදානම් වෙනවා. මෙවැනි ණය ගැනීමට අපට භාණ්ඩාගාරයේ අනුමැතියත් භාණ්ඩාගාර බිල්පත් තබාගෙන තමයි ණය ලබා දෙන්නේ.
ප්‍රජා මූල සංවිධානවලට ණය ගන්න ක්‍රමයක් නැහැ. එවැනි අනුග්‍රහයක් නැහැ. එබැවින් මම මෑතකදී ලෝක බැංකු සමුළුවකට ගිය වෙලාවේ මේ ගැන සඳහන් කරල ලෝක බැංකුව මේකටම අවේනික වූ සහනදායි ණය ක්‍රමයක් වාණිජ බැංකු හරහා ලබා දෙන්න ඉදිරිපත් වෙයි කියා මම බලාපොරොත්තු වෙනවා.
අපි යෝජනාවක් කරල තියෙනවා. අපි මේ තුළින් බලාපොරොත්තු වෙන්නේ මේ රටේ අස්සක් මුල්ලක් නෑර ජලය ලබා දෙන්න. අපට අසීරු නිසා මෙවැනි සංවාධානවලට කෙළින්ම තමන්ගේ ශක්තිය පෙන්නලා ණය ලබා ගැනීමට ක්‍රමයක් හදා දීමයි. ඒ වගේම ජල මණ්ඩලය අපේ භූ විද්‍යා අංශ අවශ්‍ය උපරිම සහය ලබාදේවි. තවත් ජල පෝෂක ප්‍රදේශ රැක ගැනීමට මේ සංවිධාන එක් වීම ගැනත් උතුරෙන් පවා පැමිණ දකුණේ ගංවතුරේ හිටි ජනතාවට උපකාර කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා” යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අදහස් දක්වමින් මෙසේ කීවාය.
“ජලසම්පාදන ක්‍රම අලුත්වැඩියා කිරීම, නඩත්තු කිරීම මෙන්ම නව ජල සම්පාදන ක්‍රම ඇති කිරීමත් මේ ප්‍රජා මූල සංවිධානවලින් කරනවා. මේ ඉතා වටිනා වැඩක්. මේ වන විට ප්‍රජා මූල සංවිධාන 3500 ක් පමණ මෙසේ ක්‍රියාත්මක කරනවා.
මේ ප්‍රජා මූල සංවිධානවල ඉන්න සාමාජික සාමාජිකාවන් පසුගියදා ඇතිවූ ජල ගැලීම්වලින් ආපදාවට පත් ප්‍රදේශවලට ගිහින් ස්වේච්ඡාවෙන් කටයුතු කිරීම ප්‍රසංශනීයයි. විශේෂයෙන්ම ළිං පිරිසුදු කිරීමත් ක්ලෝරින්කරණය කිරීමත් ඔවුන් විසින් කළා.
මේ ජාල ගතවෙන්නේ මේ වගේ ශක්තිමත් කණ්ඩායමක්. ඔවුන් නියාමනය සවිබල ගැන්වීම තමයි මේ සිදු වෙන්නේ. ප්‍රදේශයේ මරණාධාර සමිති හදල සහන සලසන්න පොදු කටයුතුවලට සම්බන්ධවෙනවා. ඒ නිසයි මේ අය සවිබල ගන්වන්නේ.
කාලගුණ විපර්යාසවල උච්චම තැනට අපේ රට ඇවිත්. මේ නිසා පරිසර ආරක්ෂා කරන සංරක්ෂණය කරන වැඩපිළිවෙළක් අවශ්‍යයි. එය මේ සංවිධාන තුළින් ඉතා ඉහළින්ම සිදුකෙරෙනවා.
ඒ වගේම මෙහිදී කාන්තාවන් ගැන කිව යුතු දෙයක් තිබෙනවා. අපි උපදෙස් ලබා දීල තියෙනවා පාලක මණ්ඩලයෙන් සියයට 35 ක් කාන්තාවන් පත්කර ගන්න කියලා. ඒ වගේම අත්‍යවශ්‍ය කාරණාවක් හැරුණු කොට භාණ්ඩාගාරික ලෙස කාන්තාවක් පත්කර ගන්න කියා ව්‍යවස්ථාවට ඇතුළත් කර ගන්න කියා අපි උපදෙස් දී තිබෙනවා.
කසළ කළමනාකරණයේදී මේ සංවිධාන හරහා කසළ කළමනාකරණය කර ගම සුහුරු ගම්මානයක් බවට පත් කරන්නත් කටයුතු කරනවා. ඒ වගේම නීති විරෝධී මත්පැන්වලට එරෙහිව ගම සංවිධානය කරන්නත් මේ සංවිධාන ඉදිරිපත් වේවි” යැයි ද ඇමතිනිය පැවැසුවාය.
නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් සරත් චන්ද්‍රසිරි විතානගේ මහතා මෙම උත්සවයේ දී පිළිගැනීමේ කථාව කළේය. පුත්තලම ප්‍රජා මූල සංවිධානයේ සභාපතිනි රේණුකා දමයන්ති මහත්මිය ද මෙම උත්තසව සභාව ඇමතුවාය. ස්තුති කතාව පුත්තලම ප්‍රජා මූල සංවිධානයේ ලේකම් ඩබ්ලිව්.එස්. පත්මසීල මහත්මිය විසින් සිදු කරනු ලැබීය.
මෙහි දී ගංවතුර වෙනුවෙන් වූ ආධාර සහිත රුපියල් කෝටියක චෙක් පතක් කොරියානු සමාගමක් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පරිත්‍යාග කරනු ලැබීය. චිත්‍ර තරඟයක ජයග්‍රාහකයන්ට හා ප්‍රජා මූල සංවිධානවලට ත්‍යාග පිරිනැමීම ද මෙම අවස්ථාවේ දී සිදුවිය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සංගීත හා නැටුම් කණ්ඩායම් ද අනුරපුර ප්‍රජා මූල මණ්ඩල කණ්ඩායම ද එහි දී නැටුම් ගැයුම් ඉදිරිපත් කළේය. සුපැන් ප්‍රජා අභිමානී සමරු කළඹ එහි සංස්කාරක එම්.ඒ. ගුණපාල මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.
ප්‍රජා මූල මණ්ඩල සාමාජික සාමාජිකාවෝ 4000 කට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු ජනපතිතුමෙනි, නළ ළිං මාර්ගයෙන් ජලය ලබා ගෙන විකිණීමේ ජාවාරම් නිසා වසර ගණනාවක් නොසිඳී පැවති අපේ ළිං සිඳී ගිහින්. අක්කර ගණනක් මැද නොව පර්චස් විස්සේ ඉඩම් කට්ටි මැදද මේවා ඉදි කරනවා. අප මුහුණ දී සිටින්නේ එවැනි තත්වයකටයි. මේ වෙනුවෙන් ඉතා ඉක්මණින් නීති පැනවිය යුතු කාලය එලඹ ඇත. පොලිසියේ පරිසර ඒකකය නැවත ශක්තිමත් කලයුතු බව අපගේ විස්වාසයයි. මෙවැනි අක්‍රමිකතා නිසා අනාගත පරපුරට කාන්තාරයක් හිමි වේ යි සැකයක් පවතිනවා. අප ග්‍රාමයේ පමණක් නොව මෙම ප්‍රශ්න නිසා අසරණ වූ හැම වෙනුවෙන් කරන ඉල්ලීමකි.
ලෝකවාසී කිසිම ජගතෙකුට උත්තර දෙන්න බැරි ප්‍රශ්නයකි ජලයට තනි අයති කාරයෙක් නොමැති වීම
මේ රූපරාමු දිහා බලන්න. කොච්චර වියදම් කරලා තියෙනවද?. මේ බොරු වියදම් ටික නතර කලොත් වතුර මිලදීගන්න / වියපෘති වලට මුදල් ඉතිරි කර ගන්න පුළුවනි.
ලංකාවේ ජලය හරිහැටි ප්‍රයෝජනයට ගන්න ඊස්‍රායලයේ උපදෙස් ගන්න. 1960 දී එයාලා කල විමර්ශනයෙන් කීවේ මුළු ලංකාවම, වියළි හා ශුෂ්ක කලාප පවා ජල අධිකතාවයකින් පවතින බවයි.
රටේ ජනතාව ජීවත් වෙන්න බැරිව පවුල් පිටින් ගෙල වැල ලා ගන්නවා. මේ අය සුරඟන කතා කියමින් නැටුම්, වැයුම් බලනවා... ඔබතුමාගේ කතාව ඇත්ත... උමා ඔයේ නවත්වගන්නට වතුර බෝතල් කරලා පිටරට යවමු.
හැම තැනටම ගැලපෙන්නම කියනවා. අනේ දන්නවා නම් විසඳුමක් පෙන්නන්නකෝ... ඔබතුමා රටේ නායකයා නේද?
උත්සව වලට යන වියදමයි, නාස්ති කරන කාලයයි. අඩු කරමුද ජනාධිපතිතුමා. ඹබ තුමා කලින් ප්‍රකාශ කල එක දෙයක් කරලා පෙන්නන්න. කමක් නෑ අප රටෙි අවංක නායකයෙක් බිහිකරන්න අවශ්‍ය මාවත ඉක්මනින් විවර කරන්න ඹබතුමා ලොකු දායකත්වයක් දෙනවා.(සිංගප්පූරුවෙි ලී ක්වාන්යූ බිහිවුනා සේ.)
අපේ රට වගේ තවත් රටවල් දහයක් මේ සක්වලේද තියෙන්නේ? නැති නම් පිට සක්වලද?
කතාව වගේම වැඩත් තිබ්බා නම් හොඳයි... වැඩ ටික තාම එතනමයි.