IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


‘ත්‍රස්තවාදයට හවුල් චෝදනා තිබෙන කිසිම මැති ඇමැති කෙනෙක් රකින්නේ නෑ’

(අංජුල මහික වීරරත්න, ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර, පිටිගල ඩී.ජේ. විජේසිරි සහ බටපොල දීපාල් සිල්වා)

ත්‍රස්තවාදයට සම්බන්ධ චෝදනා තිබේ නම් ඇමැතිවරුන් හෝ මන්ත්‍රීවරුන් කිසිවකුත් ආරක්ෂා කරන්නේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇල්පිටියේදී පැවැසීය.

පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරීම හොඳම ක්‍රියාවලිය බව කී අග්‍රාමාත්‍යවරයා, සියලු චෝදනා සහ කරුණු පාර්ලිමේන්තු කමිටුවට ලබාදුන් පසු අවශ්‍ය පියවර ගැනීමට හැකියාවක් පවතින බව ද සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ ඇල්පිටිය ප්‍රදේශයේ ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයේදීය.

ඇල්පිටිය පිටුවල පාර චෙරිකිඞ්ස් උත්සව ශාලාවේදී මෙම උත්සවය පැවැත්විණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

"ඇල්පිටියට පැමිණ ඔප්පු බෙදා දීමේ වැඩසටහනට සහභාගි වන්නට ලැබීම ගැන සන්තෝෂ වෙනවා. ගයන්ත කරුණාතිලක ඇමැතිතුමා මේ වැඩකටයුතු සංවිධානය කළා. මෙරට ඉඩම් භුක්ති විඳින ලක්ෂ දහයකට, විස්සකට පමණ ඉඩමේ අයිතිය තහවුරු කිරීම සඳහා ලියවිල්ලක් නැහැ. නමුත් පරම්පරා දෙක තුනක් ඉඩමේ පදිංචි වී තිබෙනවා. අප ඒ තත්ත්වය නැති කළ යුතුයි. 

යුද්ධය නිසා අවතැන් වී නැවත පදිංචි කළ උතුරේ ජනතාව සඳහාත් අප ඔප්පු ලබා දෙනවා. ඉඩමට සින්නක්කර අයිතිය දීම සඳහාත් අප නීති සම්පාදනය කරනවා. සැමට ඉඩමේ අයිතිය තිබිය යුතුයි.

ගාලු දිස්ත්‍රික්කය මෙරට ප්‍රධාන සංචාරක කලාපයක් බවට පත් කිරීම අපගේ අරමුණ වී තිබෙනවා. කටුනායක සහ මත්තල මැද තිබෙන දිස්ත්‍රික්ය වන්නේ ගාල්ලයි. ප්‍රධානම සංචාරක මධ්‍යස්ථානය වන්නේ බෙන්තර ඇල්පිටිය දේද්දුවයි. දේද්දුව දියුණු කිරීම සඳහා ඉඩම් හිමියන්ට මේ වන විට වන්දි ගෙවා තිබෙනවා. පාස්කු ඉරිදා දින මමත් ඒ ප්‍රදේශයට ගොස් විමර්ශනය කරන්නට නියමිතව සිටියා. ඊට පෙර බෝම්බ පිපිරීම ගැන ආරංචිය පැමිණියා. මේ තත්ත්වය නිසා ආයෝජකයන් කැඳවීම මදක් කල් දැමීමට සිදුවෙනවා. මේ හරි වෙලාව නොවෙයි.

දැනට සංචාරකයන් ලංකාවෙන් පිටවී ගොස් තිබෙනවා. පළමුවෙන්ම සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට රැගෙන ආ යුතුයි. ඉන් පසුව දෙවන පියවර ගැනීමට තිබෙනවා. ඒ ආයෝජකයන් ඉල්ලා නිවේදන නිකුත් කිරීමයි.

සංචාරක ව්‍යාපාරය ගොඩනැගීම සම්බන්ධව අපි කඩිනම් පියවර ගත යුතුව තිබෙනවා. ජූනි මාසයේ සිට අප සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා ප්‍රසිද්ධිය ලබා දිය යුතුයි.

අප මේ කාලයට මුහුණ දී යහපත් තත්ත්වයක් උදාකර ගනිමු. පාසල් විවෘත කරමු. වෙසක් උත්සවය පවත්වමු. සමහර රටවල් ලංකාවට පැමිණීම ගැන තමන් උපදෙස් දී තිබෙනවා. ලංකාවට පැමිණීම අනතුරුදායක යැයි දන්වා තිබෙනවා. මේ වකවානුවෙන් පසු ඒ රටවල් අමතා තත්ත්වය සාමාන්‍ය අතට පැමිණ තිබෙන බව දැනුම් දිය යුතුයි.

ඇතැම් රටවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මෙහි ඉන්නවා. ඒ නිසා හැකි ඉක්මනින් මේ අනතුරු හැඟවීම ඉක්මනින් ඉවත් කරගත යුතුයි.

නමුත් ඇතැම් සංචාරකයන් තාමත් මෙහි එනවා. නල්ලතන්නියේදී ශ්‍රී පාද වන්දනාවට යන විදේශිකයන් මට හමුවුණා. සංචාරක ව්‍යාපාරයෙන් ජීවත්වන්නේ විශාල හෝටල් පමණක් නොවේ. කුඩා පරිමාණ ව්‍යාපාරවලත් බොහෝ දෙනෙක් ජීවත් වෙනවා. ඒ සියලුම පිරිස් ජීවත් කරවීමේ වගකීම අපට තිබෙනවා. පසුගිය වසරේදී සංචාරක කර්මාන්තය ඉහළ තත්ත්වයකට ගැනීමට අප කල්පනා කළා. නමුත් ඔක්තෝබර් කුමන්ත්‍රණය නිසා නොවැම්බරයේ සංචාරකයන් පැමිණීම අඩු වුණා. මේ වසර වන විට සංචාරකයන් වැඩිපුර පැමිණෙනු ඇතැයි අප බලාපොරොත්තු වුණා. ජූනි මාසයේ සිට අගෝස්තු වන විට සංචාරකයන් ගෙන්වා ගැනීමට අප උත්සාහ කරනවා. අප සාමාන්‍ය ස්ථිර තත්ත්වයක් ඇති කර ගත යුතුයි. වැදගත්ම කාරණය එයයි.

මේ බෝම්බ පිපිරීම සිදු නොවුණා නම් අයි.එස්. ත්‍රස්තවාදය නොතිබුණා නම් සංචාරක ප්‍රමාණය වැඩි වන්නට තිබුණා. කෙසේ නමුත් අප මේ වෑයම අතහරින්නේ නැහැ.

බෝම්බ පිපිරීම නිසා මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ කැළඹීමක් ඇති වුණා. එය අප පිළිගත යුතුයි. ආණ්ඩුව කෙරෙහි තිබෙන විශ්වාසයත් නැති වුණා. දේශපාලනඥයන් කෙරෙහි තිබූ විශ්වාසයත් නැති වුණා. ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයටත් ඒ තත්ත්වය පොදුයි. කලින් මාධ්‍ය හොඳ බව කිව්වා. ඒ තත්ත්වය දැන් ජනතාව කෙරෙන් දුරස් වෙලා.

බෝම්බ ප්‍රහාරයෙන් ක්‍රිස්තියානි ජනතාව විශාල පිරිසකගේ ජීවිත අහිමි වුණා. කාදිනල්තුමන්ගේ ප්‍රකාශයෙන් තත්ත්වයත් පාලනය කර ගැනීමට හැකි වුණා.

නගරයෙන් බැහැරව ගම්මානවල වැඩි වශයෙන් පන්සල් තිබෙනවා. ඒ අනුව මා මහානායක ස්වාමීන් වහන්සේලාටත් කතා කර ඉල්ලීමක් කළා. උන්වහන්සේලාත් කළ ඉල්ලීම් නිසා ගම්මාන ආශ්‍රිතව කිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. මුස්ලිම් උලමාවරුන්ටත් අප කතා කළා. සියලුම ආගම්වල පූජ්‍ය පක්ෂය ගත් පියවර පිළිබඳව ප්‍රශංසා කළ යුතුයි.

අපරාධකරුවන් ඉක්මනින් අල්ලා ගන්නට හැකියාව තිබෙන බව පොලිසිය එදා අපට දැනුම් දුන්නා. මා ජනපති සමගත් සාකච්ඡා කළා. රාත්‍රියේදී ඇදිරිනීතිය පැනවීමට අප තීරණය කළා. සිද්ධියෙන් පැය නවයක් යන්නට පෙර දෙමටගොඩදී පළමු කණ්ඩායම අල්ලා ගත්තා. ඒ ගැන විශේෂ ස්තුතියක් පුද කළ යුතුයි.

පැය නවයක් යන්නට පෙර මෙලෙස අයි.එස්. ත්‍රස්ත කණ්ඩායමක් අල්ලා ගත් වෙන රටක් නැහැ. එහිදී අපගේ නිර්භීත පොලිස් නිලධාරීන් තිදෙනකුගේ ජීවිත අහිමි වුණා.

මරාගෙන මැරෙන බෝම්බයක් අටවාගෙන කාන්තාවක් දිවිනසා ගනු ඇතැයි කිසිවකුත් සිතුවේ නැහැ. එදා ගත් පියවර නිසා මේ වන විට සිද්ධියට සම්බන්ධ ප්‍රධාන අය අත්අඩංගුවට ගෙන තිබෙනවා. නැතිනම් ජීවිත හානි කරගෙන තිබෙනවා. මුස්ලිම් තරුණයන් දෙදෙනෙක් දුන් ඔත්තුව අනුව නැගෙනහිර සිටි කණ්ඩායමක් කොටුකර ගැනීමට හැකියාව ලැබුණා.

මේ කණ්ඩායම අල්ලා ගන්නට හැකියාව ඇති බවට ජනතාව තුළත් විශ්වාසයක් ගොඩනැගුණා. අනාගතයේදී ගතයුතු පියවර පිළිබඳවත් අප දැන් සාකච්ඡා කරනවා. ජනතා විශ්වාසය නැවත ගොඩනගා ගත යුතුව තිබෙනවා.

රටේ තත්ත්වය කුමක්දැයි දැනගැනීමට රටේ නායකයින්ට අයිතියක් තිබෙනවා. අප දින තුනක් පාර්ලිමේන්තුවේ වාද කළා. දෙපැත්තේම සමහර අය දේශපාලන කතා කළා. එයින් විශ්වාසය ගොඩනැගීමට කිසිදු සහයක් ලැබුණේ නැහැ.

අනෙක් පැත්තෙන් දෙපැත්තෙන් සමහරුන් කරුණු සහිතව කතා කළා. එය ඉතා හොඳයි. මේ ගැන සොයා බැලීම සඳහා පාර්ලිමේන්තුවට බලය දිය යුතු යැයි ජයම්පති වික්‍රමරත්න මහතා පැවසුවා. එය ඉතා වැදගත් ප්‍රකාශයක්.

විවිධ චෝදනා තිබෙනවා. අප නම් කිසිවකුත් ආරක්ෂා කරන්නට යන්නේ නැහැ. ඇමැතිවරුන්වත්, මන්ත්‍රීවරුන්වත් කිසිවකුත් ආරක්ෂා කරන්නට යන්නේ නැහැ. නමුත් චෝදනා තිබෙනවා නම් කරුණු තිබෙනවා නම් පාර්ලිමේන්තුව මේ කරුණු විභාග කරන විට චෝදනා ඉදිරිපත් කරන්න. එළියේ කෑ ගැසීමෙන් පලක් වන්නේ නැහැ. චෝදනා තිබේ නම් පොලිසියට ඒ පිළිබඳව විභාග කළ හැකියි.

ඒ අනුව සිද්ධිය විභාග කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කළ හැකියි. එය ඉතා හොඳයි. කරුණු තිබේ නම් ඊට ඉදිරිපත් කරන්නට හැකියාව තිබෙනවා.

ජනපති මේ සඳහා කොමිෂන් සභාවක් පත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ සෑම පක්ෂයකම මන්ත්‍රීවරුන් ඉන්නවා. ඒ නිසා ඕනෑම කාරණයක් ඉදිරිපත් කළ හැකියි. බියවන්නට කාරණයක් නැහැ. ආරක්ෂා කරන්නට කවුරුවත් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙය විවෘතව සොයා බැලිය යුතුයි. තවත් කරුණු තිබේ නම් හෙළිදරව් කළ යුතුයි. කොමිෂන් සභා වාර්තාවක් මේ කමිටුවට යොදා ගත හැකියි. සෑම පක්ෂයකම මන්ත්‍රීවරුන් ඒ යෝජනාවට අත්සන් කර තිබුණා.

ආණ්ඩුවේ පක්ෂ, ද්‍රවිඩ සන්ධානය, පොහොට්ටුව, ජනතා විමුක්ති පෙරමුණ ආදී සෑම පක්ෂයකම අත්සන් කර තිබුණා. එය ඉතා හොඳ තත්ත්වයක්.

පළමුවෙන්ම කළ යුතු වූයේ ස්ථාවර බව ඇති කිරීමයි. එය සාර්ථක වුණා. පැය නවයක් යන්නට පෙර ඒ වැඩකටයුතු සිදු වුණා. දැන් අතීතයේ වූයේ කුමක් දැයි සොයා බලන්නට හැකියාව තිබෙනවා. විපක්ෂ නායක මහින්ද රාපජක්ෂ මහතාගේ පාර්ලිමේන්තුවේදී මේ ගැන සොයා බැලීම අගයමින් අදහස් දක්වා තිබුණා. මේ අනුව මේ කාර්යයේදී පක්ෂ අතර බේදයක් නැහැ.

අනාගතයේදී මෙවැනි ක්‍රියා ඇති නොවන්නට වගබලා ගැනීම සඳහා නව ප්‍රතිත්‍රස්ත රාමුවක් ඇතිකරගන්නේ කෙසේ දැයි සලකා බැලිය යුතුයි. ඊට විශාල වැඩකොටසක් තිබෙනවා.

මේ කොටි ත්‍රස්තවාදීන් නොවේ. මොවුන් ක්‍රියා කරන්නේ විවිධ මානසික තත්ත්වයන් යටතේයි. මේ තත්ත්වය නැති කිරීම සඳහා ගමේ පන්සලට, පල්ලියට, හින්දු කෝවිලට, මුස්ලිම් පල්ලියට විශාල වැඩකොටසක් තිබෙනවා. පූජකතුමන්ලා ගම්මට්ටමෙන් මුණගැසී මේ කටයුතු කිරීම වැදගත් ක්‍රියාවක් බව කිව යුතුයි.

මේ ගැන ක්‍රියා කළ යුතු ආකාරය ගැන හිටපු ජනාධිපතිනියත් හොඳ වාර්තාවක් ඉදිරිපත් කර තිබුණා. කතානායක කරු ජයසූරිය මහතාත් යෝජනා ඉදිරිපත් කර තිබුණා.

අවි ආයුධවලින් පමණක් නොව මානසික වශයෙන්ද ත්‍රස්තවාදී අදහස් නැති කරන්නේ කෙසේදැයි අප විමසා බැලිය යුතුව තිබෙනවා.
මේ ගැන සැකයක් තිබේ නම් ඒ සැකය නැති කර ගැනීමට පාර්ලිමේන්තුව කොමිටියක් පත්කර ඒ ගැන විභාග කිරීම හොඳම දෙයයි.
අපට ආරක්ෂා කරගන්න කිසිවකුත් නැහැ. හංගන්න කව්රුවත් නැහැ. ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා ගෙනයන කිසිම කාර්යයක් අප නතර කරන්නේ නැහැ. එයින් ජනතා විශ්වාසයක් නොඩනැගෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා:-

අද ඉඩම් ඔප්පු දහසකට ආසන්න ප්‍රමාණයක් ලබා දෙනවා. පසුගිය දින කීපයේ රටේ තිගැස්මක් ඇති වුණා. අතීතයේ සිට අප විවිධ අර්බුදවලට මුහුණ දී තිබෙනවා. මෑතකදී අන්තවාදීන්ට මුහුණදීමට අපට සිදු වුණා. සෑම විටම අප අභීතව අභියෝගවලට මුහුණ දී ජය ගත්තා.

මේ වන විට ඒ නොසන්සුන්කාරී තත්ත්වයෙන් මිදී තිබෙනවා. අප ඉතා සංයමයෙන් රටක් ලෙස මේ අර්බුදයට මුහුණ දුන්නා. ඒ තත්ත්වය ගොඩනගන්නට ක්‍රියා කළ ජනතාවටත්, ආරක්ෂක හමුදාවන්ටත් ප්‍රණාමය පුද කළ යුතුයි.

අප ඉලක්ක කරා වේගයෙන් හඹා යමින් සිටිනවා. බොහෝ දෙනකුට සින්නක්කර ඉඩම් ඔප්පුවක් තිබුණේ නැහැ. ඒ තත්ත්වය වෙනස් කිරීම අපගේ අරමුණයි. බොහෝ රාජ්‍ය ආයතනවලටත් ඉඩම් ඔප්පුවක් නැහැ. ඒ සියලු ආයතන සඳහාත් ඉඩම් ඔප්පු දීමට කටයුතු කරනවා. විහාරස්ථාන සඳහා පූජා ඔප්පු දීමටත් අප කටයුතු කරනවා."

මෙම උත්සවයට පළාත් සභා, පළාත් පාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පියසේන ගමගේ, බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, විජේපාල හෙට්ටිආරච්චි මහත්වරු ද සහභාගි වූහ.



අදහස් (8)

‘ත්‍රස්තවාදයට හවුල් චෝදනා තිබෙන කිසිම මැති ඇමැති කෙනෙක් රකින්නේ නෑ’

Raveendra Monday, 13 May 2019 10:05 AM

හෙන වීරයා වගේ කතාව... නමුත් ඕනෑම පාවාදීමක් කර හෝ ගොඩ වැඩිකරගෙන නානතුවාය ඇඳගෙන ලොකු පුටුවේ ඔලුවෙන් හිටගන්න උපරිමයෙන් වැඩ නේද පුංචෝ..? අපි නොදන්නා ඇම්ඩන්..

:       0       222

Keppetipola Monday, 13 May 2019 11:56 AM

අර රිෂාර්ඩ් බදුර්දීන්ව අත්අඩංගුවට ගන්නේ නැතුව රිලා කතා කියනවා...

:       0       211

LebbeTuesday, 14 May 2019 01:04 PM

මුස්ලිම් 15 දෙනා නැතිනම් ආණ්ඩුව ගෙදර. ඉතින් කොහොමද බදියුර්දීන්ව අත්අඩංගුවට ගන්නේ...?

:       0       0

යූ.ඩී Tuesday, 14 May 2019 12:59 PM

රනිල්ගේ දේශපාලන දිවියේ අවසාන මාස කිහිපය.. පව් ඔහේ කියන දෙයක් කියාගෙන යන්න කියන්න...

:       0       0

ඊ නානායක්කාර Tuesday, 14 May 2019 01:38 PM

කියපු දෙයක් මේ වෙනකම් කරලත් නෑ. වෙලත් නෑ.

:       0       0

sarath perth Wednesday, 15 May 2019 01:28 AM

කාවද මේ රවට්ටන්නේ

:       0       0

rasika Wednesday, 15 May 2019 04:12 PM

මහ බැංකුව කොල්ල කෑවම කිව්වෙත් ඔය ටිකම තමයි.

:       0       1

ranjith Thursday, 16 May 2019 05:39 AM

බලය ගැන විතරක් හිතල මේ රටේ ඉදිරි අනාගතය ගෙන නොහිත යම් පාර්ශව වල ඡන්ද ටික ගැන හිතල බලයේ හිටපු සහ බලය ඉන්න පාලකයන්ගේ අනුවන කම් නිසා රටේ සමහර පළාත වලට නීතියක් හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ. දැන් තමයි ඔක්කොම හොයන්නේ ...

:       0       67

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 940 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1189 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7411 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 889 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2054 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3761 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 334 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 85 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1111 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site