සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක  මනෝ ගනේෂන් 

  • සිංහල ජාතිවාදය, දමිළ ජාතිවාදය ඒ වගේම මුස්ලිම් ජාතිවාදය තියෙනවා. අන්තවාදය, බෙදුම්වාදය වගේම ත්‍රස්තවාදයත් රාජ්‍ය ත්‍රස්තවාදයත් තියෙනවා. ජාත්‍යන්තරය පවා පිළිගෙන තියෙන ජාතික ප්‍රශ්නයට විසඳුම් දෙන්න ඕනෑ.

දෙමළ භාෂාව කතා කරන ජනයා නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයන්ගේ අලුත් එකමුතුවක් නිර්මාණය වෙමින් තිබේ. ඒ කුමක් පිණිසද? සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා සමග මේ කතාබහ ඒ සම්බන්ධවය.   


ප්‍රශ්නය: දෙමළ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ලබන 21 වැනිදාට පොදු එකඟතාවකට එන බව ඔබ මාධ්‍ය හමුවකදී කිව්වා. කා එක්කද මේ එකඟතාවට එන්නේ. 

 
පිළිතුර: මේක දමිළ ජනතාව පමණක් නොවෙයි. දමිළ භාෂාව කතා කරන සියලුම ජනතාව උතුරේත් නැගෙනහිරෙත් දකුණේත් වතුකරයේත් ජීවත් වන ජනතාව ඒ වගේම දමිළ භාෂාව කතා කරන මුස්ලිම් ජනතාවත් නියෝජනය කරන පක්ෂ නායක හමුවක් නොවැම්බර් මාසයේදී යාපනේදී පැවැත්වුවා. දෙවැනි හමුව 12 වැනිදා කොළඹදී පැවැත්වුවා.   


ප්‍රශ්නය:මේ හමුවීම්වලදී මොනවද කතා කළේ?  


පිළිතුර: අපි සාකච්ඡා කළේ එකමුතු නොබෙදුණු ලංකාවක් තුළ සිංහල බෞද්ධ බහුතර ජනතාවත් සමග අපි ජීවත් විය යුතුයි. ඒකට අවශ්‍ය දේශපාලන වාතාවරණය නිර්මාණය කර ගන්නේ කොහොමද කියලයි අපි සාකච්ඡා කළේ. එතැනදී කාටත් පිළිගන්න පුළුවන් දමිළ භාෂාව කතා කරන ජනතාවගේ අභිලාෂයක් ඉෂ්ඨ කරන්න පුළුවන් වැඩපිළිවෙළක් අපි 12 වැනිදා කෙටුම්පත් කළා. අදහස් හුවමාරු කර ගත්තා. 21 වැනිදා රැස්වෙලා එහි අවසන් යෝජනා මාලාවට අපි අත්සන් තියනවා.   


ප්‍රශ්නය:ඔය ඔබ කියපු හමුවලදී කවුද මූලාසනය ගත්තේ?   


පිළිතුර: මේ හමුවේ ප්‍රධාන කැඳවුම්කරුවන් හැටියට ටෙලෝ පක්ෂයේ නායක සෙල්වකඩෙයිකලම් මන්ත්‍රීතුමා හා ප්ලොට් පක්ෂයේ නායක සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා ඉන්නවා. මේ සාකච්ඡාවල ප්‍රධානත්වය දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන් මන්ත්‍රීතුමා දැරුවා. දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායකයා හැටියට මමත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් මහතාත්, තමිල් මක්කල් දේශීය කුට්ටන් පක්ෂ නායක හිටපු උතුරු පළාත් මහ ඇමති වී. විග්නේෂ්වරන් මහතාත්, ඊපීආර්එල්එෆ් නායක සුරේස් ප්‍රේමචන්ද්‍රන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී කාන්ත් මහතා ඇතුළු කණ්ඩායමක් තමයි දැනට හමු වුණේ. 21 වැනිදා වෙනකොට මේ ගාන තවත් වැඩි වෙන්න පුළුවන්.   


ප්‍රශ්නය:ඇයි මේ හදිසියේ මේ වගේ දෙයකට අත තිබ්බේ?   


පිළිතුර: කිසිම හදිසියක් නෑ. මේක කඩිමුඩියේ කරන්නත් බෑ. මේක සෑහෙන කාලයක ඉඳලා කරගෙන ආපු දෙයක්. දැනට අපිට විශේෂ අවශ්‍යතාවක් තියෙනවා. නොබෙදුණු රටක ජීවත්වීමේ වාතාවරණය හදා ගන්න. මේ රට අද මුහුණ දෙන ආර්ථික අර්බුදයක් ඒක හරහා ඇතිවන සමාජ සංස්කෘතික දේශපාලන අර්බුදය මේ ඔක්කෝටම අපිට මුහුණ දෙන්න වෙලා. ඒ වගේම විසඳුමක් තවම ලබාදීලා නැති ජාතික ප්‍රශ්නය. ඒ ප්‍රශ්නය නිසා මේ රටේ අවුරුදු 30ක යුද්ධයක් ඇතිවුණා. පැරැණි අතීතයට ගිහින් කතා කරන්න මම කැමති නෑ. අපේ රටේ ආර්ථිකය කඩ වැටිලා තියෙනවා. ජාතික ප්‍රශ්නය තියෙනවා. දමිළ ජනතාව මේකට මුහුණ දිය යුත්තේ කොහොමද කියලා අපට පෙන්වලා දෙන්න ඕනෑ. මේවායේ හේතු මොනවද කියලා හොයා ගත්තේ නැත්නම් විසඳුම් දෙන්න බෑ. විසඳුම් දුන්නෙ නැත්නම් නැවත නැවත මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙයි. මේ රටේ සියලු ප්‍රශ්නවලට හේතුව ජාතිවාදය.   


ප්‍රශ්නය:ජාතිවාදය කිව්වම?  


පිළිතුර: ඔව් ඔව්. සිංහල ජාතිවාදය, දමිළ ජාතිවාදය ඒ වගේම මුස්ලිම් ජාතිවාදය තියෙනවා. අන්තවාදය, බෙදුම්වාදය වගේම ත්‍රස්තවාදයත් රාජ්‍ය ත්‍රස්තවාදයත් තියෙනවා. ජාත්‍යන්තරය පවා පිළිගෙන තියෙන ජාතික ප්‍රශ්නයට විසඳුම් දෙන්න ඕනෑ.   


ප්‍රශ්නය:ඔබ මේ ප්‍රශ්න ඉන්දියාව සමගත් සාකච්ඡා කළ යුතුයි කියලා ප්‍රකාශ කරලා තිබුණා.   


පිළිතුර: ඉන්දියාව මැදිහත් වෙලා 13 වැනි සංශෝධනය ගෙනාවා. පළාත් සභා ආවා. ඉන්දියාව ඒ හරහා මේ ප්‍රශ්නයට මැදිහත් වුණා. ඒ නිසා අපේ අවසන් ලියවිල්ල ඉන්දියාවට බාර දෙනවා. අපි ජාත්‍යන්තරයටත් යනවා. ජනාධිපතිවරයටත් මේ ලියවිල්ල දෙනවා. ලංකාවේ දේශපාලන පක්ෂ නායකයන්ට අපේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට මේ ලියවිල්ල බාර දෙනවා.   


ප්‍රශ්නය: පසුගිය ජනාධිපතිවරණයේදී තනිකර සිංහල බෞද්ධ ඡන්දවලින් පමණක් ජනාධිපතිවරයෙක් පත්වුණා. ඔබලාගේ මේ හදිසි නැගිටීමට ප්‍රධාන හේතුව ඒක?  


පිළිතුර: නෑ නෑ. ඒක ප්‍රධාන හේතුවක් වෙන්න බෑ. අපි මැතිවරණවලදී වෙන්ව හිටියට එයා පත්වුණාට පස්සේ ඡන්දය දුන්න නුදුන්න හැමෝගෙම මන්ත්‍රී ඇමැති අගමැති හා ජනාධිපති ඒක තමයි වෙන්න ඕනෑ. මේ ජනාධිපතිතුමා රුවන්වැලිසෑය ඉදිරිපිට දිවුරුම් දීමේදී තමන් සිංහල බෞද්ධ ඡන්දවලින් තමයි පත්වුණේ කියලා ප්‍රසිද්ධියේ කිව්වා. ඒකෙ ප්‍රශ්නයක් නෑ. නමුත් තමන් සිංහලයගේ බෞද්ධයකුගේ ජනාධිපති කියලා කියන එක සුදුසු නෑ. මම කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. මට කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ජනතාවට වැඩ කරන්න වෙනවා. මට කියන්න බෑ මම වැඩ කරන්නේ මට ඡන්දය දීපු ජනතාවට විතරයි කියලා. ඒ වගේම ජනාධිපතිතුමා වුණාම ඔහු කාගෙත් ජනාධිපති. ඔව් ඔබ කියනවා වගේම සුළු ජාතික පක්ෂ තියෙනවා. අපි පාර්ලිමේන්තුව පළාත් පාලන ආයතන නියෝජනය කරනවා. නමුත් රට යන්නේ ඒකාධිපතිවාදයට. ඒකට ඉඩ දෙන්න බෑ.   


ප්‍රශ්නය: මේ රටේ ජනාධිපතිවරුන් බිහි කරනකොට ආණ්ඩු පිහිටුවනකොට සුළු ජාතික පක්ෂවල තීරක බලයක් තිබුණා. ඒ ඡන්දගොඩ පෙන්වලා සුළු ජාතික පක්ෂවල නායකයෝ ඇමැතිකම් ගත්තා. නමුත් මෙවර එය වෙනස් වුණා. මේ පරිසරය ඔබලා තුළ යම් තිගැස්මක් ඇති කළා.   


පිළිතුර: නෑ නෑ. ඔය මතය වෙනස් කරන්න ඕනෑ. රටේ පොදු මතයක් තියෙනවා. සුළු ජාතික පක්ෂ කේවල් කරනවා. එහෙම කරලා මැති ඇමතිකම් ගන්නවා කියලා. ඒක සිංහල ජනතාවට කරන අසාධාරණයක් කියලා මතයක් හදලා තියෙනවා. ඒක ඇත්තක්ද. එහෙම එකක් නෑ. ඒ නිකම් බොරු මතයක්. එක්කෙනෙක් දෙන්නෙක් එහෙම කරලා ඇති. අනික් පැත්තෙන් එහෙම ගත්ත අයද වැරැදි. දැන් අල්ලස් ගන්න කෙනා වගේම දුන්න කෙනාත් වැරැදියි. අනිත් එක පාර්ලිමේන්තු ඉතිහාසය බලාගෙන යනකොට මහ පක්ෂවල ඉන්න අය ප්‍රතිපත්ති ගරුක අයමද ඉන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩු පක්ෂයේ අය පාර්ලිමේන්තුවේ වැඩි වුණාට ඉස්සරහා පේලියෙ සියයට 95ක්ම එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා ආපු අය ඉන්නේ. දෙවැනි පේලියත් එහෙමයි. ඊයේ පෙරේදා බජට් එක ඉදිරිපත් කරපු බැසිල් රාජපක්ෂ මහත්තයාත් දේශපාලනය පටන් ගත්තේ එක්සත් ජාතික පක්ෂයෙන්. ඒ නිසා ඔබ කියපු මතය වැරැදියි. ඒක වෙනස් කරන්න.   


ප්‍රශ්නය:ඔබ දෙමළ ජාතිකයකුවීම නිසාම ඔබට මුහුණ දීමට සිදුවූ විශේෂ බාධාවන් තියෙනවද?   


පිළිතුර: ඇයි නැත්තේ තියෙනවා. ඊට කලින් කියන්න දෙයක් තියෙනවා. මම ඉපදුණේ දෙමළ ජාතිකයෙක් හැටියට. අම්මයි තාත්තයි එහෙමයි මට කිව්වේ. දෙමළ වීම නිසාම ප්‍රශ්න තියෙනවා. මුස්ලිම් වීම නිසාම ප්‍රශ්න නෑ.   


ප්‍රශ්නය: සිංහල සමාජයට එහෙම ප්‍රශ්න නෑ.   


පිළිතුර: ඇයි නැත්තේ. සිංහලවීම නිසාම ප්‍රශ්න තියෙනවා. බෞද්ධවීම නිසාම ප්‍රශ්න තියෙනවා. මේවා ඔක්කොම තියෙනවා. ඕවා නැතිකර ගත්තොත් තමයි ශ්‍රී ලාංකික ජාතිය ගොඩනගන්න පුළුවන් වෙන්නේ. දෙමළ ජනතාවගේ විතරක් නෙවෙයි මුස්ලිම් ජනතාවගේ සිංහල ජනතාවගේ ප්‍රශ්නත් මම හදවතට අරගෙන කතා කරනවා. මේ රටේ ව්‍යවස්ථාව ගන්නකෝ. ව්‍යවස්ථාවේ දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් කරලා තියෙනවා. ඒක ඇත්ත. ඕනැම දෙමළ පුරවැසියකුට රටේ ඕනෑම තැනක පිහිටි රජයේ ආයතනයකට ගිහින් ලිඛිතව හෝ වාචිකව තමන්ගේ මවු භාෂාවෙන් වැඩ කර ගැනීමේ අයිතිය තියෙනවා. සිංහල මනුෂ්‍යයකුට උතුරට නැගෙනහිරට ගියත් සිංහල භාෂාවෙන් කතා කරලා තමන්ගේ වැඩක් කර ගන්න පුළුවන් වෙන්න ඕනැ. මම මට වෙච්ච දෙයක් කියන්නම්. යහ පාලන ආණ්ඩුවේ දූෂණ විරෝධී කමිටුව කරපු වැඩ ගැන සාක්කියක් දෙන්න එන්න කියලා මොකද මම ඒ ආණ්ඩුවේ ඇමැතිවරයෙක්නේ. ඒ නිසා මට එන්න කියලා ජනාධිපති කොමිසමෙන් මගේ වසමේ තියෙන පොලිසියෙන් මට සිතාසියක් ආවා. ඒක තනි සිංහලෙන් තියෙන්නේ. මම ඒ ලියුම බාර ගත්තේ නෑ. මම කිව්වා මම දෙමළ ජාතිකයෙක්. මට මේක දෙමළ භාෂාවෙන් ගේන්න කියලා. දෙමළ භාෂාවෙන් සිතාසිය එනකම් මම යන්නෙත් නෑ. මම ලියුමක් යවනවා ජනාධිපති කොමිසමට. මට දැනුම් දීමක් කරනවා නම් ඒක දෙමළ භාෂාවෙන් එවන්න. එහෙම නැත්නම් මම අධිකරණයට යනවා ඔබලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා කියලා. දැන් ඔබට තේරෙනවා ඇති දෙමළවීම නිසාම සිද්ධ වෙන අසාධාරණය. සිංහල කතා කරන අය සම්බන්ධයෙන් බහුතර බෞද්ධ ජනතාව සංඛ්‍යාවෙන් බහුතර සියයට 75ක් කියමු. ඔය කියන 75 තුළ මමත් ඉන්නවා. මම මේ සිංහලෙන්නේ කතා කරන්නේ. මම දන්න සිංහල අය ඉන්නවා. සිංහල කතා කරන්න දන්නේ නැති. ඉංග්‍රීසියෙන් තමයි කතා කරන්නේ. ඒක මට ප්‍රශ්නයක් නොවෙයි. ඒක ඒගොල්ලන්ගේ චොයිස් එක.   


ප්‍රශ්නය:ඔබ පදිංචි මේ නිවෙසට ආසන්නයෙන්ම පන්සලක් තියෙනවා. ඔබේ නිවස පිහිටි පාර නම් කරලා තියෙන්නෙත් පන්සලේ නමින්. ඔබට එහි අමුත්තක් දැනෙනවද?   


පිළිතුර: සත්තකින්ම නෑ. මට උදේ පහට විතර ඇහෙන්නේ පිරිත්. මගේ ගෙදරට බණ ඇහෙනවා. කිසිම ප්‍රශ්නයක් නෑ. අපි සහෝදරත්වයෙන් ඉන්න ඕනෑ. අපි ශ්‍රී ලාංකිකයන් හැටියට හිතන්න ඕනැ. ඒ විදියට ජීවත් වෙන්න ඕනෑ.   


ප්‍රශ්නය:ඔබේ ජාතිකවාදී මතය බොහොම පහසුවෙන් ජාතිවාදයට පරිවර්තනය කර ගන්න පුළුවන් නේද? අන්තවාදයට පාවාඩ එළීමක් නොවෙයිද?   


පිළිතුර: මම ඒ ගැන හැමදාම අවධානයෙන් ඉන්නවා. සිංහල ජාතිවාදය තුළත් ජාතිවාදය යනවනේ. පේන්න තියෙනවනේ. ඒක දෙපැත්තෙම තියෙනවා. ඒක දෙමළ ජනතාවට පමණක් මුස්ලිම් ජනතාවට පමණක් සීමා කරන්න එපා. මේ ගැන අවධානයෙන් මම ඉන්නවා. ඒකටනේ නායකත්වය කියන්නේ. එහෙම පැත්තකට යයි කියලා බය වෙලා ඇත්ත ප්‍රශ්න ගැන සත්‍ය කතා නොකර ඉන්න කියලාද ඔබ කියන්නේ. “අපි ගැන වැරැදියට හිතයි කියලා” ලජ්ජාවෙන් මේවා කතා නොකර ඉන්න ඕනැද? නෑ නෑ භයවෙලා ඉඳලා බෑ. කතා කරනව නම් කෙළින් කතා කරන්න ඕනෑ.   


ප්‍රශ්නය:ඔබලාගේ ප්‍රශ්න විසඳා ගන්න ජනාධිපතිවරයගෙන් නිසි සහයක් ලැබෙයි කියලා ඔබ හිතනවාද?   


පිළිතුර: ඔව්. මම නිතරම සුබවාදීව හිතන කෙනෙක්. හොඳ දේ වෙයි කියලා හිතන කෙනෙක්. “මෙයා එක්ක බෑ”, ඒ විදියට මම හිතන්නේ නෑ. “පුළුවන්”, මම ඒ විදියටයි හිතන්නේ. ජනාධිපතිතුමා එක්ක විතරක් නෙවෙයි. සියලුම දේශපාලන පක්ෂවල නායකයෝ හෝ සංඝරත්නය සිංහල ජාතියේ ජාතික මට්ටමේ නායකයෝ මේ ඔක්කෝමත් එක්ක ලොකු ජාතික සාකච්ඡාවක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. අපි 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කරනවා. බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 16 වැනි සංශෝධනය ගැන කතා කරන්න. ඒකේ තමයි භාෂාව ගැන තියෙන්නේ. සිංහල භාෂාව සහ දෙමළ ජාතික භාෂාවන් කරලා තියෙනවා. ඉංග්‍රීසි භාෂාව සන්ධාන භාෂාවක්. ජන සංයුතිය ගැන කතා කරනවා. උතුරේ සහ නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන තියෙනවා කියලා කියනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, ආරක්ෂක අමාත්‍යාංශය වගේ රාජ්‍ය ආයතන පවතින ජන සංයුතිය වෙනස් කරනවා. මිනිස්සු කොතැන ජීවත් වුණත් ප්‍රශ්නයක් නෑ. නමුත් රජයේ මැදිහත්වීමෙන් පදිංචි කරනවා නම් ඒක වැරැදියි. බෞද්ධ සිද්ධස්ථාන තියෙනවා කියලා සිංහල බෞද්ධයන් පදිංචි කරවනවා.   


ප්‍රශ්නය:දෙමළ බෞද්ධයන් හිටපු බවටත් ඔබ ප්‍රකාශයක් කරලා තිබුණා.   


පිළිතුර: ඔව්. මේ රටේ දමිළ බෞද්ධයන් ඉඳලා තිනෙවා. මීට සියවස් දෙක තුනකට පෙර දමිළ බෞද්ධයන් ඉඳලා තියෙනවා. සිංහල උගත්තු ඒ ගැන පොත් ලියලා තියෙනවා. මම ඕනෑ නම් ඔප්පු කරන්නම්. ඕනෑම ප්‍රසිද්ධ වාදයකට මම ලෑස්තියි. මෙතැන වෙන්නේ සිංහල බෞද්ධකම පාවිච්චි කරලා අප අතර විරසකයක් ඇති කිරීමයි. බෞද්ධකම සිංහලයාට විතරක් සීමා කරන්න එපා. සෑම ජනවර්ගයකටම අනන්‍යතාවක් තියෙනවා. ඒක ආරක්ෂා වෙන්න ඕනෑ. විවිධත්වය තුළ තමයි පවිත්‍රත්වය තියෙන්නේ. බලන්න වතු කම්කරු ජනතාව කොච්චර දුක් විඳිනවද? බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමා කිව්වා මේ වෙලාවේ ලොකුම ආර්ථික පංගුව තේ වලින් කියලා. මම ඒ වෙලාවෙම නැගිටලා මගේ සතුට ප්‍රකාශ කළා. සිරිමා ශාස්ත්‍රී ගිවිසුම හරහා තමයි ඔවුන්ට පුරවැසිකම ලැබුණේ. හැබැයි ඉඩම් අයිතිය හා අධ්‍යාපනය නෑ. ඒ වගේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ තියාගෙන ඉන්න සැකකරුවන් නිදහස් කළ යුතුයි. කරුණා අම්මාන් එළියේ. පිල්ලෙයාන් එළියේ. අර සුනිල් රත්නායක කියන හමුදා නිලධාරියාට ජනාධිපති සමාව දුන්නා. යුද්දෙ ඉවර වෙලා අවුරුදු 12ක් වෙනවා. අපි කතා කරන්නේ යුක්තිය හා සාධාරණත්වය ගැනයි. ඒ වෙනුවෙන් අපි නොබියව පෙනී ඉන්නවා.   

 

 

ප්‍රසන්න සංජීව තෙන්නකෝන්