(යොහාන් භාසුර)

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටයුතු කරන බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවැසීය.

චීනය, ජපානය සහ මැදපෙරදිග රටවල් සමඟ එම කමිටු තුන සාකච්ඡා කර කටයුතු කරන බව කී අමාත්‍යවරයා රටට අවශ්‍ය ආනයන භාණ්ඩ වැනි දේවල් සම්බන්ධයෙන් එම රටවල් සමග ඉතා ඉක්මනින් සාකච්ඡා කර යම්කිසි සහනයක් ලබා ගැනීමේ අරමුණ ඇතිව එම කමිටුව කටයුතු කරන බව ද සඳහන් කළේය.

මානව හිමිකම් කවුන්සිලයේ 49 සැසිවාරයේදී ශ‍්‍රී ලංකාව පිළිබඳව සාකච්ඡාවට සහාභාගී වූ රටවල් 45 න් 31 ක් සෘජුව ශ්‍රී ලංකාවේ ස්ථාවරය අනුමත කරමින් සහයෝගය දීම අපේ රට ලැබූ විශාල ජයග‍්‍රහණයක් බව ද අමාත්‍යවරයා කීය.

ශ්‍රී ලංකාවේ ස්ථාවරය සාධරණ සහ එම ස්ථාවරය ජාත්‍යන්තරය පිළිගත යුතු යැයි පැහැදිලි නිගමනය එම රටවල් ප‍්‍රකාශ කළ බව කී අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එකමුතුව සහ සාමුහික ප‍්‍රයත්නයක් ලෙස කටයුතු කිරීම නිසා මෙම සාර්ථක ප‍්‍රතිඵලය ලබාගැනීමට හැකි වූ බව ද සඳහන් කළේය.

යුක්රේනයේ යුද්ධයට මැදිව සිටි ශ‍්‍රී ලංකා පුරවැසියන් 81 දෙනාගෙන් 15 ශිෂ්‍යයන් බවත් ඉතිරි 66 දෙනාගෙන් 39 ක් මේ වන විටත් යුක්රේනය අතහැර පෝලන්තය, රුමේනියාව, ජර්මනියට යන රටවල්වල ගොස් ඇති අතර මේ වන විට එහි සිටින පුද්ගලයන් 27 දෙනා යුක්රේනය අතහැර යෑමට අවශ්‍ය නොමැති බව දැනුම්දී ඇති බවත් අමාත්‍යවරයා කීය.

බෙත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද පැවැති මාධ්‍ය හමුවේදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය.

”ජිනිවා නගරයේ මානව හිමිකම් කවුන්සිලයේ 49 සැසිවාරයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡාව ඊයේ අවසන් වුණා. අපි ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කළා ශ්‍රී ලංකාවේ ස්ථාවරය. ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේ ඇමතීමට මට අවස්ථා දෙකක් ලැබුණා. ඒ අවස්ථා දෙකේදීම මම යම් යම් කරුණු ඉදිරිපත්කරමින් කියා සිටියේ මේ සියලූම ප‍්‍රශ්න සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව ප‍්‍රායෝගික වශයෙන් ලබාගෙන තිබෙන ප‍්‍රගතිය පිළීබඳව.

අපේ රටට විශාල ජයග‍්‍රහණයක්, අපිට ඉමහත් තෘප්තියක් ශ‍්‍රී ලංකාව පිළිබඳව සාකච්ඡාවට සහාභාගී වූ රටවල් 45 න් 31 ක් සෘජුව අපේ ස්ථාවරය අනුමත කළ සේම ඒ සඳහා සහයෝගය දුන්නා.

මම දේශන දෙකම ඉදිරිපත් කළේ ප‍්‍රධාන මූලික කරුණු පහකින්. පළමුව ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් විමසුවා මෙය සාධාරණ ද කියලා. යුරෝපයේ මහ සංග‍්‍රාමයක් ඇති වෙලා තිබෙනවා. එවිට මේ සියල්ලක් මධ්‍යයේ ශ‍්‍රී ලංකාව පිළිබඳව දක්වන අවධානය තුළනාත්මක ද. ඒ සම්බන්ධයෙන් මිඩංගු කරන කාලය, උත්සහය පිළිබඳව අර්ථයක් තිබෙනවාද? අපේ රට ලූහුබැඳ ගෙන යෑමට ඇති හේතුව කුමක්ද කියලා ඒ සියලූ දෙනාගෙන්ම ඕනෑකමින් ඉල්ලා සිටියා.

දෙවැනි කරුණ ලෙස මිෂෙල් බැචලේ මැතිණියගේ වාර්තාවේ අන්තර්ගත කරුණුවලින් සියයට 80 ක් තිබෙන්නේ මේ රටේ අභ්‍යන්තර ප‍්‍රශ්න පිළිබඳවයි. ජාත්‍යන්තරයට කිසිම විදිහට බලපාන ප‍්‍රශ්න නොවේ. මේ පිළිබඳව මානව හිමිකම් කවුන්සිලයේ විෂය පථයට කිසිසේත් ඇතුලූ වෙනවාද කියලා ප‍්‍රශ්නයක්. තුන්වන කරුණ ලෙස මේ විදිහට අපේ රටේ අභ්‍යන්තර ප‍්‍රශ්න පිළිබඳව විමර්ශන පවත්වනවා නම් වෙන රටවල් සම්බන්ධයෙන් විමර්ශන නොකර විශේෂයෙන් ලංකාව පමණක් ලූහුබැඳ ගෙන යන්නේ ඇයි කියලා මම ප‍්‍රකාශ කළා. ඒ වගේම හතරවෙනි කරුණ තමයි මේ සම්බන්ධයෙන් වියදම් කරන අති විශාල මුදල් ප‍්‍රමාණයන් වියදම් කරන්නේ අද ලෝකයේ තිබෙන අයහපත් තත්වයක් තුළ තමයි. කාටවත් කිසිම හානියක් නොකරන පාඩුවේ ජිවත්වන ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් මහා දැවැන්ත ප‍්‍රහාරාත්මක වැඩපිළිවෙළක් සඳහා වියදම් කරන ඩොලර් මිලියන ගාන කිසිසේත් සාධරණ ද කියන ප‍්‍රශ්නය යොමු කළා. පස්වෙනි කාරණය ලෙස මම ප‍්‍රකාශ කළේ මේ වියදම් කරන මුදල් වලින් කිසිම ප‍්‍රයෝජනයක් වෙනවාද නැතිනම් දැවැන්ත හානියක් ද කියලා. එයින් ජාත්‍යන්තරය දෙකට බෙදෙනවා. මෙයින් කිසිම ප‍්‍රයෝජනයක් කාටවත් වුණේ නෑ. මා මෙම කරුණු පහ ඉදිරිපත් කළ අතර රටවල් 45 න් රටවල් 31 ඒ තර්ක පිළිගත්තා. එය අපේ රටට ලොකු ජයග‍්‍රහණයක්.