IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමගි ජන බලවේගය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කර ආණ්ඩුවක් පිහිටුවහොත් ආර්ථිකය ගොඩ නගන්නේ කෙසේද? යන්න ගැන ආර්ථිකයේ මතුව ඇති ව්‍යුහාත්මක ප්‍රශ්න රැසක් විමසුමට ලක් කරමින් එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමග කළ සාකච්ඡාවක් මෙසේය.

රට වැටිලා තියෙන මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න සමගි ජන බලවේගයට වැඩපිළිවෙළක් තියෙනවාද?

අපේ වැඩපිළිවෙළ පදනම් වෙන්නෙ සමාජ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක් මත. මේකෙ පැති දෙකක් තියෙනවා. එක පැත්තක් තමයි අපි වෙළෙඳපොළ විශ්වාස කරනවා. ඒ අනුව ආර්ථිකයේ තරගකාරී ව්‍යුහයක් හැදෙන්න ඕනැ. ඒක මේ ව්‍යාපාරිකයන් කීප දෙනෙක් පාලනය කරන ගජමිතුරැ ධනවාදයක් නෙවෙයි. ඒක කරන්න නම් රජය දේවල් දෙකක් කළ යුතුයි. එකක් තමයි සාර්ව ආර්ථිකය ස්ථාවරව පවත්වාගැනීම. ඒ සඳහා ස්ථාවර පොලී අනුපාතයක් තිබිය යුතුයි. දෙක තමයි ස්ථාවර උද්ධමන වේගයක් තිබිය යුතුයි. නව මහ බැංකු පනත අනුවත් උද්ධමනය සියයට 5 හෝ ඊට අඩු අගයක තබා ගත යුතුයි. තුන්වැනුව රැපියලේ අගය ශක්තිමත්ව ස්ථාවර අගයක තියා ගන්නත් ඕනැ. මේවා තමයි සාර්ව ආර්ථිකයක් වෙනුවෙන් ආණ්ඩුව කළ යුතු පළමු දේ.

දෙවැනි එක තමයි ශක්තිමත් ආයතනික ව්‍යුහයක් පවත්වා ගෙන යෑම. හොරකම, දූෂණය වළක්වන ශක්තිමත් නීති හා ආයතන තිබිය යුතුයි. මේ දේවල් රාජ්‍ය මැදිහත්වීම මත කළ හැකි නම් ඒ මත තරගකාරී වෙළෙඳපොළක් නිර්මාණය වෙනවා. එයින් උත්පාදනය කරන ධනයෙන් කොටසක් සමාජයේ ඉලක්කගත පුද්ගලයන්ට ලබා දීමේ වැඩපිළිවෙළක් ද අවශ්‍යයි.

ලංකාවේ ආණ්ඩුවක් බලයට පත්වුණාට පස්සෙ ව්‍යාපාරිකයො කීප දෙනෙක් ඒ ආණ්ඩුව අල්ල ගන්නවා. ගජමිතුරැ ධනවාදයට සජබ ආණ්ඩුවක් යටතේ ඉඩක් නෑ කියලා ඔබ කිව්වත් ඒ කතාව මිනිස්සුන්ට විශ්වාස කරන්න පුළුවන්ද?

මෙහෙමනෙ. ඇතැම් දේශපාලනඥයන් කියනවා ඔවුන් බලයට පත් වුණාට පසු හොරු අල්ලනවා කියලා. එහෙම කිසි දවසක හොරු අල්ලන්න බෑ. ඒක මිථ්‍යාවක්. උදාහරණයක් විදිහට සීනි බදු වංචාව කරපු කෙනාව ඇල්ලුවද? සීනි බදු වංචාවක් වුණා කියලා ඉස්සෙල්ලාම හෙළි කළෙත් මම. හොරා කවුද කියලා හඳුන ගන්න පුළුවන් වුණාට වැඩක් නෑ හොරව අල්ල ගන්න පුළුවන් වෙන විදිහෙ නීති පද්ධතියකුත් තිබිය යුතුයි. ඒ නිසා අපේ ප්‍රතිපත්තිය තමයි ස්වාධීන නඩු පැවරීමේ කාර්යාංශයක් පිහිටුවන එක.

හර්ෂ ද සිල්වා සීනි බදු වංචාව ගැන විතරක් ඇයි කතා කරන්නෙ? මහ බැංකු බැඳුම්කර වංචාව ගැන හොයන්න ඕඇ නැද්ද?

ඒ හැම වංචාවක් ගැනම අපි කතා කරනවා.

ඒ කියන්නෙ ඒ ගනුදෙනු ගැනත් හොයලා තීන්දු තීරණ ගන්නවාද?

මම කියන්නෙ මේක තියෙන්න ඕනැ දේශපාලනඥයාගේ අතේ නෙවෙයි. ඒක තිබිය යුත්තෙ නීතිපතිවරයා අතේ. වැරදිකාරයො අල්ල ගන්න නීතිපතිට ශක්තියක් තියෙන්න ඕනැ.

ඒත් අපි ලංකාවෙ නිතර දකින දෙයක් තමයි, නීතිපතිවරයා මැදිහත් වෙලා නඩු පවරලා වැරදිකාරයො හිර කරන්න යද්දි දේශපාලන අධිකාරිය මැදිහත් වෙලා ඒ අයව බේරා ගන්න එක. ඔබලා පිහිටුවන ආණ්ඩුවක් යටතේ එහෙම නෙවෙයි කියලා අපි කොහොම විශ්වාස කරන්නෙ?

ඒ වෙනුවෙන් තමයි අපි සෘජු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නෙ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව සම්බන්ධයෙන් සකස් කරපු ආණ්ඩුකරණ වාර්තාවේ මේ කාරණය සම්බන්ධයෙන් පරිච්ඡේදයක්ම තියෙනවා. අලුතින් පත් කරපු අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව මගින්, වංචාවලට අදාළ පුද්ගලයන් හසුකරගන්න බැරි නම් දේශපාලන අධිකාරියෙන් එළියට ගත් ස්වාධීන නීති පැවරීමේ කාර්යාංශයක් හරහා ඒ කටයුතු පවත්වාගෙන යා යුතු බව ඒ වාර්තාවේ සඳහන් වෙනවා. අපේ ආණ්ඩුව බලයට ආවොත් ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් ඇති කරනවා. ඒක පිහිටුවන්නෙ සාමාන්‍ය නඩු කටයුතු පවත්වා ගෙන යන්න නෙවෙයි. දේශපාලන අධිකාරිය සම්බන්ධ වෙලා කරන දූෂිත ගනුදෙනුවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නයි ඒක පත් කරන්නෙ. බැඳුම්කර හොරාද, සීනි හොරාද මේ හැම හොරෙක්ම අල්ලන්න දේශපාලනඥයා සම්බන්ධ වෙන්නෙ නෑ.

විපක්ෂනායකවරයා නිතරම කියනවා සජබ ආණ්ඩුවක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම නැවත සමාලෝචනය කරනවා කියලා. ඔබලා ඒ හරහා මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නෙ?

අපි එක දෙයක් තේරැම් ගන්න ඕනැ. සමහරැ කියනවා අයි.එම්.එෆ්. එක වැඩක් නෑ, අපි ළඟ වෙන විලක්ප තියෙනවා, වගේ කතා. ඒවා හොඳයි කිසිම දවසක ආර්ථිකයක් තියා ආයතනයක්වත් පාලනය නොකරපු අයට කියන්න. මම කතා කරන්නෙ ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් තියෙන විද්‍යාඥයෙක් හැටියට. ඒ වගේම මම කතා කරන්නෙ රුකියා සිය ගාණක් නිර්මාණය කරපු සාර්ථක ව්‍යවසායකයෙක් විදිහට. මම කතා කරන්නෙ ලෝක බැංකුවේ හා ආසියානු සංවර්ධන බැංකුවේ උපදේශකයෙක් විදිහට. සමහරැ කියනවා ණය ගත්ත අයගෙන් විතරක් ඒ ණය අය කරනගන්න ඕනැ, ණය ගත්ත අයට ඡන්දය දෙන්න එපා වගේ කතා. ජාත්‍යන්තර වෙළෙඳපොළ එහෙම වැඩ කරන්නෙ නෑ. හොරැ අල්ලන්න ඕනැ තමයි. ඒකට තමයි නීති ගෙන්න ඕනැ. ඒකට තමයි ස්වාධීන නඩු පැවරීමේ කාර්යාංශයක් පිහිටුවිය යුත්තෙ. ඒවා කරන්න යම් කාලයක් යනවා. ඒ නිසා අපි ජාත්‍යන්තරයත් සමග එකට කටයුතු කරන්න ඕනැ. කවුරැහරි කියනවා නම් ‘අපිට ජනවරමක් දෙන්න, අපි කොණක ඉඳන් හොරැ අල්ලනවා’ කියලා ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.

අපි කරන්නෙ මොනවද කියලා ‘බ්ලූ ප්‍රින්ට් 1 සහ 2 ’වශයෙන් පාර්ලිමේන්තුවේ සභාගත කරපු ප්‍රකාශනවල සඳහන් වෙනවා. වෙන කිසිම දේශපාලන පක්ෂයක් ඒ විදිහෙ ප්‍රකාශනයක් ඉදිරිපත් කරලා නෑ. අපි ඒ ප්‍රකාශන දෙක යාවත්කාලීන කරලා ඒකෙ 3 වැනි ප්‍රකාශනයත් ළඟදීම එළිදක්වනවා. කළ යුතු වෙනස්කම් ගැන අපි අයි.එම්.එෆ්. එකේ පීටර් බෲවර්ට කෙළින්ම කිව්වා. පළමුවැනි එක තමයි බදු ව්‍යුහය වෙනස් කිරීම. රාජ්‍ය ආදායම් ඉපැයිය හැකි විකල්ප බදු ක්‍රම තියෙනවා. වෙන කිසිම දේශපාලන පක්ෂයක් එවැනි විකල්ප බදු ක්‍රමයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නෑ. අපි විතරයි ඉදිරිපත් කළේ. අපි පෙන්වලා දීලා තියෙනවා, උපයන විට ගෙවීමේ බද්ද සියයට 36 දක්වා වැඩි නොකර සියයට 24 මට්ටමේ තිබ්බම ප්‍රමාණවත් කියලා. ඒ බද්ද වැඩි කිරීමෙන් රජය අපේක්ෂා කළ ආදායම, සියයට 24 මට්ටමේ තබාගෙන ලබා ගන්න පුළුවන්.

ඔබලගෙ ඒ යෝජනාවලට ලැබුණු ප්‍රතිචාර මොනවාද?

අපි ලියුමක් ලියලා මුදල් අමාත්‍යවරයාට ඒක ඉදිරිපත් කළා. නමුත් අපිට ප්‍රතිචාරයක් ලැබුණෙ නෑ. හැබැයි අපි ඒ යෝජනා අයි.එම්.එෆ්. එකට දුන්නා. සමහර දේශපාලන පක්ෂ කියනවා උපයන විට ගෙවීමේ බද්ද අවශ්‍ය නෑ කියලා. ඒත් අපි එහෙම කියන්නෙ නෑ. ආදායම් වැඩි වෙන ප්‍රමාණය මත මේ බද්ද අය කළාට කමක් නෑ.

වක්‍ර බදු වැඩි කරලා පුද්ගල ආදායම් බදු සියයට 36 දක්වා වැඩි කරලා එකතු කරන බදු ආදායම් විනිවිදභාවයෙන් යුතුව වියදම් කරනවාද කියන එක ප්‍රශ්නයක්. සජබ ආණ්ඩුවක් යටතේ බදු ආදායම් විනිවිදභාවයෙන් යුතුව වියදම් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන්නෙ කොහොමද?

පාර්ලිමේන්තුවේ 225 න් 12 දෙනෙක් විතරක් තමන්ගෙ වත්කම් බැරකම් ප්‍රකාශ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැශනල් ආයතනයට භාර දීලා තියෙනවා. මමත් එයින් කෙනෙක්. අපිට හංගන්න දේවල් නෑ. මම කියන්නෙ අපි විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන මිනිස්සු. ජනතාව අපිට බලය දුන්නොත් බදු මුදල් වියදම් කරන විදිහ සම්බන්ධයෙනුත් විනිවිදභාවයක් ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

කීප දෙනෙක් පිරිසිදු වුණු පලියට ඔබලා හදන ආණ්ඩුව පිරිසිදු එකක් වෙයි කියලා මිනිස්සුන්ට හිතන්න බෑ නේද?

මෙහෙමනෙ. හැමතැනම දූෂිතයො ඉන්නවා. දූෂිතයො නැති තැනක් නෑ. අපේ කණ්ඩායමේ දූෂිතයො නෑ කියලා කවුරුහරි කියනවා නම් ඒක විශ්වාස කරන්න බෑ. විනිවිදභාවය වෙනුවෙන් ශක්තිමත් ආයතනික ව්‍යුහයක් පිහිටුවන්න ඕනැ. ආණ්ඩුවේ කටයුතුවල විනිවිදභාවය ගැන මාධ්‍යවේදීන්ට ප්‍රශ්න කළ හැකි විය යුතුයි. තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඒ සම්බන්ධයෙන් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න අදාළ ආයතන බැඳිලා ඉන්නවා. අපි මුදල් කාරක සභාව මාධ්‍යයට විවෘත කරලා තියෙනවා. ඒක මීට කලින් සිදු නොවුණු දෙයක්. විනිවිදභාවය අවශ්‍යයි. එවැනි සංස්කෘතියක් අපිට අවශ්‍යයි. එහෙම නැතුව තනි පුද්ගලයෙකුට මේක කරන්න බෑ.

දැනට කරගෙන යන ණය ප්‍රතිව්‍යුහගතකරණය මේ ආණ්ඩුවෙන් නතර නොවුණොත් මීට වෙනස් විදිහකට ඒ කටයුතු කරගෙන යන්න ඔබලට සැලසුමක් තියෙනවද?

මේක වැදගත් ප්‍රශ්නයක්. ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟ වුණායින් පසු ඒ අනුව ණය ගෙවන්න පටන් ගන්න ඕනැ. ගොඩක් අය මම ජනාධිපතිවරයට කියපු කතාව තේරැම් අරගෙන නෑ. ජනාධිපතිතුමා හරහා අයි.එම්.එෆ්. එකත් එක්ක මම සාකච්ඡාවක් ඉල්ලුවා කියලා ඒ අය කියනවා. මට එහෙම සාකච්ඡාවක් ඕනැ නෑ. මම කියන්නෙ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ අවසන් ගිවිසුමට අස්සන් කරන්න කලින් මේක කරන්න පුළුවන් ද බැරිද කියන එක ගැන දේශපාලන පක්ෂවල මතය කියන්න කියලා. බැරි නම් කෙළින්ම කියන්න, අපි බලයට ආවොත් මේක කරන්නෙ නෑ කියලා.

ඒ ගැන සජබය මොකක්ද කියන්නෙ?

ඒක තමයි මම කියන්නෙ, අවසාන ගිවිසුම අස්සන් කරන්න කලින් අපිට සාකච්ඡාවක් ඕනැ කියලා. ඒ ගිවිසුම අස්සන් කරන්න කලින් පැරිස් ක්ලබ් එකේ ප්‍රධාන රටවල් සමග සහ ජාත්‍යන්තර ණය හිමියන් නියෝජනය කරන ඇඩ්හොක් කණ්ඩායම සමග නිල සාකච්ඡාවක් අපිට අවශ්‍යයි. මේක කරන්න බැරිද පුළුවන්ද කියන තැනට සජබෙට එන්න ඕනැ. එහෙම නොකර මේක අස්සන් කරලා අපි ආණ්ඩු බලයට ආවට පස්සෙ අපිට මේක කරගන්න බැරි වුණොත් ශ්‍රී ලංකාව දෙවැනි පාරටත් ණය පැහැර හැරි රටක් බවට පත් වෙනවා.

විදේශ විනිමය උපයන විකල්ප ක්‍රියාමාර්ග ඔබලා සතුව තියෙනවද?

මම හැමදාම කියන කතාවක්නෙ, ලංකාව වටේ තියෙන තාප්ප කඩලා ලෝකෙට පාලම් බැඳිය යුතුයි කියන එක. මම විශ්වාස කරන්නෙ ගෝලීය වෙළෙඳපොළක්. මම විශ්වාස කරන්නෙ ගෝලීය නිෂ්පාදන ජාල හරහා දේශීය කර්මාන්ත හා කෘෂිකර්මාන්තය දියුණු කරන වැඩපිළිවෙළක්. ඒ වගේම අපනයන අභිමුඛ ආර්ථිකයක්. ඒ නිසා මගේ දැක්ම වෙන්නෙ ජාත්‍යන්තර වෙළෙඳපොළ සමග ශක්තිමත්ව බැඳුණු ආර්ථිකයක්. මීළඟ අවුරැදු දහය පහළොව ඇතුළත ශීඝ්‍රයෙන් දියුණු වෙන්නෙ තමිල්නාඩු, ආන්ද්‍රා, කේරළ, කර්ණාටක සහ තෙළෙන්ඟනා කියන දකුණු ඉන්දියානු ප්‍රාන්ත පහ. ඒ හරහා අපේ ආර්ථිකයත් වර්ධනය කරගන්න හැකියාව ලැබෙනවා. ලංකාව කියන්නෙ ජාත්‍යන්තරයත් සමග සම්බන්ධ වෙච්ච රටක්.

එට්කා ගිවිසුම මේ ආණ්ඩුව යටතේ අස්සන් කළොත් සජබ ආණ්ඩුවක් යටතේ ඒක සමාලෝචනය කරනවද?

මේ ගිවිසුම වැදගත්. මේ ගිවිසුම අපි තවම හරියට දැකලා නෑ. මේ ගිවිසුම අස්සන් කළොත් ඉන්දියානු වෘත්තීයවේදීන් ලංකාවට ඇවිත් ව්‍යාපාර පටන් ගන්නා බවට මතයක් නිර්මාණය කරලා තියෙනවා. නමුත් එහෙම කිරීමේ හැකියාවක් නෑ. ඒත් ඇතැම් දේවල් ඉන්දියාවත් එක්ක එකතු වෙලා අපිට කරන්න පුළුවන්. අපේ වෙළෙඳපොළ මීට වඩා විවෘත වෙන්න ඕනැ. ඉන්දියාවේ වෙළෙඳපොළ තරණය කරන්න නම් අපිට ඉන්දියාව සමග ශක්තිමත් ගිවිසුමක් තිබිය යුතුයි.

සාකච්ඡා කළේ උපුල් වික්‍රමසිංහ

 



අදහස් (15)

කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා

sam Monday, 18 March 2024 04:50 AM

කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බැරි බව රටේ පුරවැසියන් දන්නා අතර ඔවුන් නොදන්නා කරණයක් ඇත. එනම් සියල්ලට බෙහෙත / විසදුම ආර්ථිකය සක්තිමත් කිරීම බව දැන සිටියේනම් රටේ ආර්ථිකය පිලිබදව දැක්මක් සැලසුමක් අනුව විනිවිද බවකින් කටයුතු කිරීමට "හැකියාවක්" හෝ සජබ පා.ම හර්ෂ ද සි්ල්වා ඇතුළු ආර්ථික කණඩායම ඇතුළු සමගි ජනබලවේගය සතුව ත්බ්බෙනම් ගොටබය ජනදිපතිවරයා පා.ම පා.ම හර්ෂ ද සි්ල්වාගේ නායක සජිත්ට පැමිණ අගමැතිකම බාරගැනීමට අවස්ථව ලබාදුන් මොහොතේ ප්‍රධාන විපක්ෂය වසයෙන් එම වගකීම සහ වගවීම රටේ පුරවැසියන් වෙනුවෙන් මැදිහත් නොවීමට සහ බාර නොගැනීමට හේතුව කුමක්ද යන්න රටේ පුරවසියනටද ගැටලුවකි ?

:       3       154

janahithaTuesday, 19 March 2024 02:52 PM

සොරුන් 138 සාමාන්‍ය 3 අනේ මන්දා.

:       47       2

janahitha Monday, 18 March 2024 08:27 AM

නමුත් හොරු බලයෙන් පහ කරන්න අපිට පුලුවන් .අපි එය කරනවා. මුන් ඔක්කොම යාළුවො මල්ලි

:       98       47

janahitha Monday, 18 March 2024 08:28 AM

නාමල් ගජ මිතුරා නිසා හිතෙන දේවල් නෙදකින්

:       96       36

Rajun de Silva Monday, 18 March 2024 08:33 AM

හරිම ඇත්ත. දේශපාලකයෝ ඉන්නෙ ඒ ඒ අදාල අංශ වලට තමන්ගෙ රාජකාරිය බාදාවකින් යුතුව නීත්‍යානුකූලව කරගෙන යාමට අවශ්‍ය පහසුකම් සහ ඔවුන්ට අවශ්‍ය ආවරණය සහ ආරක්ෂාව ලබා දීමටත්ය.

:       19       86

kamal Monday, 18 March 2024 02:35 PM

ඇත්ත. දේශපාලනඥයා හොරෙක් වෙනතාක් කල්, තව හොරෙක් අල්ලන්නේ නැහැ.

:       68       107

චන්දිම ෆොන්සේකා Monday, 18 March 2024 06:31 PM

මේකට කරුණාකරලා උත්තර දෙන්න මහත්මයෝ. සජබේ දැනට මුල් පෙලේ නායකයෙකු වන සුජීව සේනසිංහ මහතා මහා බැංකු බැඳුම්කර සිද්ධිය හොර කමක් වංචාවක් නොවේ කියා යහපාලන කාලේ ගිය ගිය තැන වාද කළා ප්‍රකාශ කළා... කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කළා විතරක් නෙවෙයි. ඒක හොර කමක් නෙවි කියලා පොතකුත් ලියවලා පල කෙරෙව්වා. ඔවුන් බොහෝදෙනෙක් අර්ජුන් ඇලෝසියස් ගෙන් සන්තෝසම් ලබාගෙන තිබුණා නේද? එහෙම තියෙද්දී දැන් ඔබ හෝ ඔවුන් හෝ කොහොමද කියන්නේ මහා බැංකුවේ සිදු වුනු වංචාව හොයනවා කියලා? මතක තියාගන්න ඉදිරියේදී ඔය වංචාවල් හොයනවා කියලා හැමදාම දේශපාලකයෝ කරපු විදියට අපිව රවට්ටලා මෙදා සරේ නම් වාසි ගන්න බැරි වෙන බව...

:       47       10

Jude Monday, 18 March 2024 09:46 PM

ප්‍රතිපත්තියක් නැති කකුල් දෙක දෙපැත්තේ තියා ගෙන මූ වගේ උන් පොල්පිති වලින් කපා ගන්න පුළුවන් ,යහපාලන කාලේ කොහොමද කිව්වේ

:       4       10

Vithana Tuesday, 19 March 2024 01:43 PM

හොරු අල්ලනවා කියන එක බොහෝම ආකර්ශණීය චන්ද පොරොන්දුවක් උනාට ප්‍රායෝගිකව ඒක කරන්න බැහැ. යහපාලන ආණ්ඩුව කාලේ දූෂණ විරෝධී කමිටුවක් පිහිටුවලා ඒකේ සියළු බලතල ඔය අද හොරු අල්ලනවා යැයි උඩ පනින අයටම දීලා, ඒ වෙනුවෙන් පොලීසියේ විශේෂ අංශයක් පිහිටුවලා, අධිකරණ තුනක් පිහිටුවලා නීත්‍යානුකූලව යන්න පුළුවන් උපරිම දුර ගියත් ඒක හිතන තරම් කියන තරම් ලේසි වැඩක් නොවන බව ඔප්පු උනා. චෝදනා කරන අය සාක්කිත් ඉදිරිපත් කරන්න ඕනේ. හොරකම් කරන කිසිවෙක් අහු වෙන්න හොරකම් කරන්නේ නෑ වගේම අද තියෙන දියුණු තාක්ෂණය සහ ක්‍රිප්ටෝ කරන්සි නිසා ඒ හොරකම් කරපු සල්ලි නම් කිසිම විදියකින් හොයන්න බෑ. ඒ බව ඔය චෝදනාව කරන, හොරු අල්ලනවා කියන අයත් හොඳට ම දන්නවා.

:       7       84

Anura Wednesday, 20 March 2024 08:24 AM

තවත් හොරෙක් වගේ දැනෙනවා. මහ හොරු පොඩි හොරු අල්ලලා ප්‍රශ්න කරාම ඔක්කොම එලිවෙනවා.

:       25       5

Praneeth Prasanga Wednesday, 20 March 2024 11:28 AM

එසේ කිරීමට බැරි දෙශපාලකයාට දේශය පාලනය පිළිබද දැනීමක් හා බුදිධියක් නැත.

:       25       5

Mo77 Thursday, 21 March 2024 01:04 PM

මෙයාගේ භාර්යාව ඇතුළු පවුලේ උදවිය ඇමරිකානු පුරවැසියා. මේ බොරු ෂෝ විතරයි.

:       4       5

Anura Friday, 22 March 2024 08:35 AM

අසමගි ජන බලේ අය එකපෙලට ඩිස්ලයික් දමනවා .සජබේ අය දේශපාලන වාසි කැරට් අල බලාගෙන එකතු වී සිටිනවා

:       1       6

B Amarasinghe Sunday, 24 March 2024 05:28 AM

කෝප් කමිටුවල ෆුට් නෝට් තියපු කෙනෙක්. මේ ගොල්ලෝ ඉන්නවා නම් හොරු සතුටින්....!

:       2       3

Lelwala Saturday, 06 April 2024 09:54 AM

ජෙප්පන් ෆයිල් ගොන්නක් තියාගෙන මහජනයා මුලා කරනවා.

:       2       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 209 5

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1190 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 983 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2325 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2170 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3694 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 350 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1573 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site