රටපුරා නැවතත් උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වී තිබේ. ගෙවී ගිය සතියේ සෑම දිනකම  පාහේ කොළඹ නගරයේ ද රටපුරා ප්‍රධාන නගර කීපයකම ද උද්ඝෝෂණ පැවැත්විණ. ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විසමතා ඉවත්කිරීම, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත අහෝසි කිරීම යන මූලික ඉල්ලීම් දෙක මූලික කර ගනිමින් මේ විරෝධතා උද්ඝෝෂණ පැවැත්විණ. ඒ අස්සේ තවත් නොයෙක් ප්‍රශ්න සඳහා ද විසඳුම් පතා එම පිරිස් විරෝධතා පවත්වන්නට වූහ. උද්ඝෝෂණවල නිරත වූහ.

‘‘ආණ්‍ඩුවට මේ වන විට ප්‍රශ්න රැසකට මුහුණ පාන්න වෙලා. එක් පිරිසක් වැටුප් ඉල්ලනවා. තවත් පිරිසක් පොහොර ඉල්ලනවා. ශිෂ්‍යයෝ කොතලාවල පනත එපා කියනවා. අද වන විට රටම බරපතළ තත්ත්වයකට පත් වෙලා. ආණ්ඩුවට විරෝධතා මැද කොරෝනා වසංගතයටත් මුහුණ දෙන්න වෙනවා. රටේ ආර්ථිකයත් එන්න එන්නම කඩා වැටෙමින් තිබෙනවා. මේ ගැන ජනතාවත් බලන්න ඕනේ. හැමදේම ආණ්‍ඩුවට පමණක් කරන්න බැහැ.’’ යැයි ආණ්‍ඩුවේ ඇමැතිවරයෙක් සිය අදහස් ප්‍රකාශ කළේය.

ජනතාවගේ උද්ඝෝෂණ සහ විරෝධතා මැද ආණ්ඩුව පියවර දෙකක් ඉකුත් දා ආපස්සට ගත්තේය. රටේ පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව තරමක් ලිහිල් තීරණයක් ගත් අතර සීමා හා කොන්දේසි යටතේ රසායනික පොහොර ආනයනය කිරීමට රජය ඉකුත් අඟහරුවාදා තීන්දුවක් ගත්තේය. මීට අමතරව රට පුරා දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයකට තුඩු දී තිබෙන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පිළිබඳ විවාදය ද කල් දැමීමට පාර්ලිමේන්තුව බදාදා තීරණයක් ගත්තේය. ඒ අනුව ආණ්ඩුව ජනතාවගේ හඬට යම් ආකාරයක කන්දීමක් කර ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.

‘‘කොතලාවල පනත පිළිබඳ විවාදය කල් දැමීම එක්තරා ආකාරයක ආණ්‍ඩුවේ උපක්‍රමයක් වෙන්නත් පුළුවන්’ ජනතා විරෝධය අඩුවුණාම ආණ්‍ඩුව කොතලාවල පනත විවාද කරලා සම්මත කර ගන්න හදනවා වෙන්නත් පුළුවන්’ යැයි තවත් පිරිසක් මත පළ කරති.

ගුරුවරුන්ගේ විරෝධතා කුමනාකාරයෙන් පැවැතිය ද රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් වැටුප් වැඩිකිරීමට නොහැකි යැයි ආණ්‍ඩුව ප්‍රකාශ කරයි. ඉතුත් සතියේදී සහ ඊට පෙර සතියේදීත් කැබිනට් මණ්‍ඩල රැස්වීමේ දී ගුරු වැටුප් ප්‍රශ්නය සාකච්ඡාවට ගත් නමුත් ජනාධිපතිවරයාගේ සහ කැබිනට් ඇමැතිවරුන් වැඩිපිරිසකගේ තීන්දුව වී තිබුණේ ගුරු වැටුප් වැඩිකිරීම ලබන අය වැය දක්වා කල් දැමීමටය. ආණ්‍ඩුවේ තීන්දුව ගුරු සංගම් ප්‍රතික්ෂේප කරන අතර ගුරු සංගම් නියෝජිතයන් සඳහන් කරන්නේ ඉදිරියේ දී සටන තව තවත් දැඩිකරන බවය.

බස්නාහිර පළාතේ සහ තවත් පළාත් කීපයක කොරෝනා වයිරසය තදින් පැතිරයාම පිළිබඳව වෛද්‍ය සංගම් කීපයක්ම මේ වන විට රජයට දැඩි අනතුරු අඟවා ඇත. රජයේ සේවකයන් සාමාන්‍ය පරිදි නැවත රැකියා ස්ථානවලට කැඳවීම හා පළාත් අතර සංචරණ සීමා ලිහිල් කිරීම ඉතා භයානක තත්ත්වයකැයි වෛද්‍යවරුන්ගේ සංගම් ගණනාවක්ම එම අනතුරු ඇඟවීම කළ නමුත් ආණ්‍ඩුව ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙළ ගැන සතුට පළ කර තිබේ. ඔහු සිය ට්විටර් ගිණුමෙහි පණිවුඩයක් තබමින් ප්‍රකාශ කර තිබුණේ ලංකාවේ කඩිනම් එන්නත්කරණ වැඩ සටහන පිළිබඳව සතුට පළ කරන බවය. සැප්තැම්බර් මාසය අවසන් වන විට ලංකාවේ ජනගහනයෙන් සියයට දහයක පමණ පිරිසකට මාත්‍රා දෙකම ලබාදී අවසන් කරනු ඇතැයිද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා විශ්වාස ය පළ කර ඇත.

සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා මුලදී ප්‍රකාශ කළේ රටේ සියලුම පුරවැසියන් කොවිඩ් මර්දන එන්නත් ලබාගන්නා තෙක් තමන් එන්නත ලබානොගන්නා බවය. විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටතදීත් එම ප්‍රකාශ කළේය. එහෙත් පසුව විපක්ෂනායකවරයාට ද කොරෝනා ආසාදනය වු අතර ඔහු සහ බිරිඳ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව සුවය ලැබූහ.

එහෙත් ඉකුත්දා විපක්ෂනායක සජිත් කොරෝනා මර්දන එන්නත ලබා ගත්තේය. ඔහු ලබාගෙන තිබුණේ ෆයිසර් එන්නතය. එන්නත් ලබාගැනීම පිළිබඳව සජිත් ප්‍රේමදාස ට්විටර් ගිණුමෙහි පණීවිඩයක් තබා තිබුණේය. ඉන් කියැවුණේ වෛද්‍ය උපදෙස් මත තමා කොරෝනා මර්දන එන්නත ලබාගත් බවය.  කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයෙක් සජිත් එන්නත් ගැනීම ගැන අදහසක් ප්‍රකාශ කළේය. ගාල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සම්පත් අතුකෝරළ කීවේ සජිත් ප්‍රේමදාස ෆයිසර් එන්නත ලබාගත්තේ කෙසේද? යන්නය. බස්නාහිර පළාතේ පුද්ගලයන්ට සයිනොෆාම් එන්නත ලබාදෙන අතර විපක්ෂනායකවරයා පමණක් ෆයිසර් එන්නත ලබාගත්තේ කෙසේදැයි සම්පත් අතුකෝරළ ප්‍රශ්න කරන විට කතානායකවරයා කීවේ ඒ ගැන ඔබතුමා විපක්ෂනායක-වරයාගෙන්ම අසා දැනගත යුතු බවය.

දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය ඉකුත්දා නිවේදනයක් නිකුත් කර තිබුණේ විරෝධතා කරුවන්ට චෝදනා කරමිනි. වගකීම් විරහිත විපක්ෂය සහ ඊනියා වෘත්තීය සමිති කොරෝනා වසංගත ව්‍යාප්තියට රුකුල් දෙමින් හා ජනජීවිතය අඩාලකරමින් උද්ඝෝෂණ රැල්ලක් පවත්වාගෙන යන බවය. රටේ පවතින සෞඛ්‍ය වාතාවරණය සැලකිල්ලට ගෙන උද්ඝෝෂණ නතර කරන්නැයි ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටින බවද දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ නායක සුගත් හේවාපතිරණගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් වේ.

කොතලාවල විශ්වවිද්‍යාල පනත සහ රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ නියෝජිතයෝ පිරිසක් ඉකුත් සඳුදා එජාප නායක රනිල් වික්‍රමසිංහ හමුවූහ. එම හමුව සිරිකොත එජාප මූලස්ථානයේ දී පැවැත්විණි. එම සාකච්ඡාවට විවිධ විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ආචාර්යවරුන් පැමිණ සිටි අතර ඔවුහු එජාප නායකයා සමග බොහෝ කරුණු සාකච්ඡා කළහ. කොතලාවල විශ්වවිද්‍යාල පනත සම්බන්ධව ආචාර්යවරුන් සිය අදහස් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය ක්‍රියාවට නැංවීමට අපේක්ෂිත වැඩපිළිවෙළ මෙන්ම අනාගත එජාප රජයක් යටතේ අධ්‍යාපනය වෙනුවෙන් ගන්නා වැඩපිළිවෙළ ගැන නායක රනිල් වික්‍රමසිංහ අදහස් පළ කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එජාප සභාපති වජිර අබේවර්ධන අතර හමුවක් අඟරුවාදා රාත්‍රියේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී සිදුවිණි. වජිර එදින ෂැංග්‍රිලා හෝටලයට ගොස් සිටියේ එම්.බී.එම්. අබුබ්කර්ගේ පුත්‍රයාගේ සහ අබ්දුල්කාදර් මහරුෆ්ගේ දියණියගේ විවාහ මංගල උත්සවයට සහභාගිවීමටය. කබීර් හෂීම් කිංස්නෙල්සන් මෛත්‍රීපාල ඇතුළු පිරිස ළඟ ළඟ අසුන්වල සිටියහ. මංගල උත්සවය අතර වජිර සහ මෛත්‍රී පුද්ගලික සාකච්ඡාවක ටික වේලාවක් නිරත වූහ.
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට කාන්තා සංවිධාන පහක් යෝජනා ඉදිරිපත් කර තිබේ.

මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යූහයේ හා නීතිරීතිවල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති සභානායක විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බද‌ාද‌ා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ඇතුළු කාන්තා සංවිධාන පහක් මැතිවරණ ක්‍රමයේ විය යුතු වෙනස්කම් පිළිබඳ සිය යෝජනා ඉදිරිපත් කළ බවත් මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ පැවසුවාය.

කාන්තා දේශපාලන පීඨය විල් ක්ලබ් කාන්තා සංවිධානය, යෙහෙළිය සංවිධානය, ගංගොඩවිල එක්සත් සමාජ සේවා කාන්තා සමිතිය යන සමිතිවල නියෝජිතවරියන් ද විශේෂ කාරක සභාව හමුවේ යෝජනා ඉදිරිපත් කර තිබේ. එම කාරක සභාව ලබන බද‌ාද‌ා යළිත් රැස්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ මෙතෙක් නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයක් පිහිටුවා තිබුණේ නැත. කොළඹ කටයුතු කළේ නවසීලන්ත කොන්සියුලර් කාර්යාලයකිනි. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ද්වීපාර්ශ්වික සබඳතාවලට වසර 70 ක් ගත වී ඇත. එවැනි පසුබිමක් යටතේ මහකොමසාරිස් කාර්යාලයක් කොළඹ ස්ථාපිත කිරීමට නවසීලන්ත රජය තීන්දු කර තිබේ. එම කාර්යාලය ලබන 10 වැනි දින විවෘත කිරීමට නියමිතය.

නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයක් කොළඹදී විවෘත කිරීම ආර්ථික, අධ්‍යාපනික, සංස්කෘතික‌, ක්‍රීඩාමය සහ පුද්ගලාන්තර සබඳතා කෙරෙහි දක්වන දිගුකාලීන කැපවීම පෙන්නුම් කිරීමකැයි ඉකුත්ද‌ා දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමින් නවසීලන්තයේ විදේශ ඇමැතිනිය පැවසුවාය. විදේශ ඇමතිනී නානායියා මහුටා දුරකතනය ඔස්සේ විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන අමතමින් ඒ බව ප්‍රකාශ කර තිබේ.

 නවසීලන්තය 1950 වසරේදී කොළඹ ක්‍රමය වෙනුවෙන් කරන ලද කැපවීම වසර 70 කට අධික කාලයක් තිස්සේ දෙරටේ ජනතාව යහපත් මිතුරන් වී සිටීම ගැන ද එම දුරකතන සංවාදයේදී නවසීලන්ත විදේශ කටයුතු ඇමැතිවරිය මතක් කර තිබේ.
ශ්‍රී ලංකාව ආරක්ෂිත ක්‍රමානුකූල හා විධිමත් සංක්‍රමණ වෙනුවෙන් පෙනී සිටින බව එම දුරකතන සංවාදයේදී විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කර ඇත. නවසීලන්ත ආයෝජකයන් හා සංචාරකයන් ශ්‍රී ලංකාවට පිළිගන්නා බව ද එම සංවාදයේදී විදේශ කටයුතු ඇමැතිවරිය සඳහන් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉකුත් බද‌ාද‌ා පාර්ලිමේන්තුවට පැමිණියේය. පාර්ලිමේන්තු විවාදය අතරතුර රිෂාඩ් බදියුදීන්ට අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමි විය. රිෂාඩ් බදියුදීන් ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන  ගත්තේය. ඔහු ජනපතිවරයාට දුක කීවේය.

‘‘මම අත්අඩංගුවට ගත්තේ අප්‍රේල් මස 24 වැනිද‌ා. දවස් 102 ක් වෙනවා. පැය 24 ම වහල ද‌ාලා තියෙන්නේ. අද වනතුරු කිසිම විමර්ශනයක් නැහැ. මාව අත්අඩංගුවට ගත්තේ මගේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බාලසුබ්‍රමනියම්ට මිනිත්තු එකහමාරක දුරකතන ඇමැතුමක් ලබා දුන් නිසයි.’’ යැයි රිෂාඩ් බදියුදීන් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයට දුක කීවේය.

(*** කස්තුරි)