

විමල් කුමාර ද කොස්තා යනු සිනමාවේ මුල් ගුරුවරයෙකි. එසේ වන්නට හේතුව නම් 60 දශකයේ සහ 70 දශකයේ නාට්‍ය ප්‍රේක්ෂකයාට රංගනය පිළිබඳ නැවුම් අත්දැකීමක්ද පාඩමක්ද කියා දෙමින් රංගන ශිල්පියකුගේ භාව ප්රකාශනය වාචික අභිනයෙන් තොරව, සාත්වික සහ ආංගික අභිනයෙන් පමණක් සියුම්ව විඳින්නට හුරු පුරුදු කළ පළමු ගුරුවරයා විමල් කුමාර ද කොස්තා නිසාය.
විමල් ඒ හාස්කම කළේ ස්වඋත්සාහයෙන් ප්‍රගුණ කරගනිමින්, හාපුරා කියා එදා සිංහල වේදිකාවට හඳුන්වාදුන් අභිරූපණ රංගනයෙනි. හාවකු මෙන්, තනිකරම සුදු අත් දිග ටී ෂර්ට් එකකින් සහ ජින්ස් එකකින් සැරසී මුහුණ පුරා සුදු තවරා ලිප්ස්ටික්ස් ගා දෙතොල් පාට කර වේදිකාවේ ආලෝක කවයක් යට සිට ඔහු විවිධ සිදුවීම් සාත්වික සහ ආංගික අභිනයෙන් ප්‍රේක්ෂකයා හමුවේ මැව්වේය.
ඒ අභිනයෙන් ඔහු බයිසිකල් පැද්දේය. සරුංගල් උඩ ඇරියේය. බස් නැවතුම්පොළක සිට බසයක් එනතුරු නොඉවසිල්ලෙන් බලා සිට අනතුරුව එන බසයකට අත දමා ඊට ගොඩ වී සෙනඟ අතර සිර වී මගියා විඳින අපමණ ගැහැට මවා පෑවේය. එහෙත් වේදිකාවේ බයිසිකලයක් නොවීය. සරුංගලයක් ද නොවීය. බස් නැවතුම්පොළක් ද බස් රථයක් ද බස් රථයේ මගීන් ද නොවීය. ඒ සියල්ල විමල් මැව්වේ ස්වකීය ආංගික හා සාත්වික අභිනයෙන් පමණි. එදා අපට ආගන්තුක වූ විමල්ගේ ඒ අලුත් රංගනය ඇතුළත තිබූ සදය උපහාසය විඳින්නට හා තේරුම් ගන්නට හැකි ප්‍රේක්ෂකාගාරයක් තිබුණේය.
"එයා දැන් ලොකු ළමයෙක්"
විමල් මේ අභිරූපණ රංගනය ගෙන ආවේ කොහෙන්ද? එවැන්නකට පුර්වාදර්ශ එතෙක් මේ රටේ නොතිබුණේය. පසුකලෙක ආචාර්ය සාලමන් ෆොන්සේකා, බන්දුල විතානගේ, ජයන්ත රණවක වැනි නාට්‍යකරුවන් ජර්මනිය, එංගලන්තය වැනි රටවලින් අභිරූපණ රංගනය හදාරා තිබුණ ද විමල්ට එදා එබඳු හැදෑරිමකට විදේශයකට යන්ට ඉඩකඩක් හෝ පසුබිමක් තිබුණේ නැත.
විමල්ගේ මේ අපූර්ව රංගනයේ පසුබිම පිළිබඳ සොයා බැලීමේ දී සිනමාවේදී ධර්මසේන පතිරාජ පැවැසුවේ ඇතැම් විට ඔහු චාලි චැප්ලින් වැනි නළුවකුගේ හෝ වෙනත් බටහිර චිත්‍රපටයක ආ චරිත අනුකරණයෙන් එකී රංගනය ස්ව උත්සාහයෙන් නිපදවා ගත්තා මිස ඔහුට ගුරුවරයකු නොසිටි බවයි. පසු කලෙක විමල්ගේ මේ හැකියාව දුටු ඔහුගේ සමීපතමයන් ප්‍රංශයේ අභිරූපණ ශිල්පියකු වූ මාෂලෝ මාෂෝ ලංකාවට ආ විටෙක විමල් ඔහුට මුණ ගැස්සූ බවත් අනතුරුව විමල් ඔහුගේ රංග විලාසිතා ස්වකීය රංගනය සඳහා ආභාසයට ගත් බවත් පතිරාජ පැවසීය. ඉන් අනතුරුව ආචාර්ය ගාමිණී හත්තොටුවේගම සහ බන්දුල විතානගේ විමල්ගේ අභිරූපණ රංගනය දියුණු කරගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකසා දුන් බව ද පතිරාජ පැවැසීය.
ඇත්ත වශයෙන්ම විමල් කුමාර ද කොස්තා රංගන ශිල්පියකු ලෙස හාපුරා කියා ස්වකීය කුසලතා ප්‍රකට කරන්නේ වේදිකාවෙනි. ඒ 60 දශකයේ අග භාගයේ දී පමණ. ඒ. ජේ. සෙල්වදොරේ අධ්‍යක්ෂණය කළ ‘ගොඩෝ එනකං’ නාට්‍යයෙනි. ප්‍රකට අභූත රූපී නාට්‍යකරුවකු වූ සැමුවෙල් බ්‍රෙකට්ගේ ‘Wating for Godot’ නාට්‍යයේ සිංහල පරිවර්තනයක් වූ ‘ගොඩෝ එනකං’ අපේ රටේ වේදිකා ගත වූ මුල්ම අභූත රූපී නාට්‍යය ලෙස සැලකේ.
‘ගොඩෝ එනකං’ නාට්‍යයේ දැක්වෙන්නේ ගොඩෝ නමැත්තකු එන තෙක් බලා සිටින දෙදෙනෙකු ගැනය. කවදා හෝ ගොඩෝ එතැයි ඔවුහු අපේක්ෂාවෙන් සිටිති. ඔහු පැමිණි විට තමන්ට විමුක්ති ලැබෙතැයි ඔවුහු විශ්වාස කරති. මුළු නාට්‍යය පුරාම ඔවුන් හැසිරෙන්නේ ගොඩෝගේ පැමිණීම පිළිබඳ අපේක්ෂා දල්වාගෙනය. එහෙත් ගොඩෝ එන්නේ නැත. ගොඩෝ යනු කවරෙක් දැයි පැහැදිලි නැත. ‘ගොඩෝ’ යනු ‘ගෝඩ්’ යන අර්ථයෙන් සැමුවෙල් බෙකට් අදහස් කළේ දෙවියන් වහන්සේ පිළිබඳ සංකේතයක් විය හැකි යැයි විචාරකයන්ගේ මතය විය.
හදවතට නොව කෙළින් බුද්ධියට අමතන අතිශය සංකීර්ණ මනෝභාව ප්‍රකට කරන ඒ දෙදෙනාගේ භූමිකාවන්ගෙන් එක් භූමිකාවක් හිමි වූයේ විමල්ටය. අනෙක හිමි වූයේ සරච්චන්ද්‍ර සමරක්කොඩිටය. එම සංකීර්ණ රංගනයේ දී ද විමල් තම අභිරූපණයන් විටින් විට යොදා ගත්තේය. ඉන් අනතුරුව ඉයුජින් අයනෙස්කෝගේ Chairs ඇසුරින් ධර්මසේන පතිරාජ නිෂ්පාදනය කළ ‘පුටු’ නාට්‍යයේ ප්‍රධාන චරිතයට ද විමල් එක් විය.
එම නාට්‍යයේ දැක්වෙන්නේ මහලු යුවළක් තම උපන් දින සාදයට ආරාධනා කළ පිරිසක් බලාපොරොත්තුවෙන් සිටින අවස්ථාවකි. මහලු යුවළ සාදයට පැමිණෙන අමුත්තන් දොර ළඟට ගොස් පිළිගනිති. ගෙදරට ඇතුළු වන අමුත්තන්ට වාඩි වෙන්නට පුටු ගෙනවිත් තබති. ඔවුන් සමඟ කෙටි පිළිසඳරක යෙදෙති. එහෙත් ඒ සියල්ල මහලු යුවළගේ මනෝ භ්‍රාන්තින් පමණි. කිසිවකු එන්නේ නැත. අවසානයේ දී සාදයට පැමිණෙන එකම අමුත්තාට ද කතා කරන්නට නොහැකිය. ඔහු කථන ආබාධිතයෙකි. (දයා තෙන්නකෝන්) අමුත්තන් පිළිගැනීම ඔවුන් සමඟ සතුටු සාමීචියේ යෙදීම ඔවුන්ට අතට අතදීම ආදී සියල්ල සිදු කෙරුණේ අභිරූපණයෙනි. ඒ අභිරූපණයෙන් අපූරු රංගනය ඉදිරිපත් කළේ විමල් කුමාර ද කොස්තා සහ මාලනී වීරමුණිය.
සිනමාවේ දී විමල්ට චරිතාංග නළුවකු ලෙස මතුවන්නට ඉඩ කඩ පෑදෙන්නේ ධර්මසේන පතිරාජගේ ‘අහස් ගව්ව’, ‘බඹරු ඇවිත්’, ‘එයා දැන් ලොකු ළමයෙක්’ ඇතුළු අතළොස්සක් චිත්‍රපට තුළින් පමණි. සිනමා රංගනයේ දී ද විමල් ස්වකීය අභිරූපණය එක් කර ගත් අවස්ථා දැකිය හැකිය. ‘අහස් ගව්ව’ චිත්‍රපටයේ තරුණයන්ගේ විනෝද සවාරියේ එක් අවස්ථාවක දී විමල්ගේ එබඳු අභිරූපණයක් දකින්නට ලැබේ. කැලේ සිට එන මහා රාක්ෂයකු කුස ගින්නට කුමාරිකාවක් ඩැහැගෙන යළි කැලයට ගිය අයුරු විමල් මනහර ලෙස ස්වකීය අභිරූපණයට නැඟුවේය. ‘අහස් ගව්වේ’ ගුණේ නමැති විරැකියාවෙන් අසහනයට පත් රස්තියාදුකාර අතරමං වූ තරුණයන් දෙදෙනා වූ ගුණේ (විමල් කුමාරද කොස්තා) සහ විජේ ලෙස (අමරසිරි කලංසූරිය) ඉදිරිපත් කළ නිදහස් රංගනය තුළ හැත්තෑව දශකයේ තාරුණ්‍යයේ නන්නත්තාර බව මෙන්ම අහිංසක අධ්‍යාත්ම මනාව පිළිබිඹු විය. විරැකියාව නිසා ඇති වූ නන්නත්තාර බව හා අහිංසක බව නිසාම ඔවුහු සමාජ ශාලා ඇසුරින් හොර ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත් වූහ. අවසානයේ ඒ නනන්තාර බවට ජීවිතයෙන් වන්දි ගෙවන්නට ගුණේට සිදු වූ අතර විජේ රිමාන්ඩ් බාරයට පත් විය. එහිදී ගුණේ ගේ චරිතයට ජීව වායුව පිඹින්නට විමල්ට හැකි වූයෙන් එදා තරුණයෝ ඔහුගේ රංගනය ඉදිරියේ ස්වකීය ජීවිතය අත් දුටුහ.
‘බඹරු ඇවිත්’ චිත්‍රපටයේ ‘වීරසේන’ ලෙස විමල් කළ රංගනය තාත්විකත්වය ඉක්මවා ගිය අධි රංගනයකි. බඹරු ඇවිත් චිත්‍රපටයේ දේශපාලන දෘෂ්ටිය හකුළුවා කියන්නට පතිරාජ යොදා ගත්තේ වීරසේනගේ චරිතයයි. ධීවර ගම්මානයක් තුළ සිදු වූ කලබැගෑනිය සුළු ධනේශ්වර දේශපාලනඥයකු දකින ආකාරය චිත්‍රපටය අවසානයේ විමල්ගේ රංගනයෙන් ඉදිරිපත් කිරීමෙන් පතිරාජ මතු කළේ උපහාසයකි. ඒ උපහාසය කදිමට පැහැදිලි වූයේ වීරසේන ලෙස විමල් කළ රංගනයෙනි.
විමල් කුමාර ද කොස්තාගේ විශිෂ්ට ප්‍රතිභාව එළියට දාන්නට හැකි නාට්‍ය කලාවක්, මහාචාර්ය සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන, ධම්ම ජාගොඩ, ගුණසේන ගලප්පත්ති, හෙන්රි ජයසේන ඇතුළු මේ රටේ පුරෝගාමී නාට්‍යකරුවන්ගේ මැදිහත්වීමෙන් 60 – 70 දශක තුළ මේ රටේ ගොඩනැඟුණේය. විමල් ඇතුළු රංගන ශිල්පීන්ගේ කුසලතා ඔසවා තැබූ ඒ නාට්‍ය කලාව 80 දශකයේ අවසාන භාගයෙන් පසු කෙමෙන් ගිලිහීමට ලක්ව මේ වන විට එය තනිකරම විකටයන්ගේ රාජධානියක් බවට පත් වූ බැවින් විමල්ලාට ඉඩක් නැත. එහෙයින් වෘත්තීය නළුවකු වශයෙන් ඔහුට සිදු වන්නේ එදා වේල පිරිමසා ගන්නා ටෙලි නාට්‍ය වැනි විසූක දස්සනවල රඟපාන්නටය. විමල් කුමාර ද කොස්තා නමැති විශිෂ්ට රංගන ශිල්පියා ගිල ගත්තේ ඒ විසූක දස්සන තුළිනි. අවසානයේ දී ඕනෑම දහජරාවක රඟපා සිය ගතමනාව සොයා ගන්නටත් තමන්ට හිමි තැන අහිමි වුණු අකෘතඥ සමාජයක පරාරෝපිතයකු බවට පත් වන්නටත් සිදු වූ මානසික පීඩාව විමල් දිය කර හැරියේ මධ්යසාරවලිනි. පළමුව එය ආධ්‍යාත්මිකව දිවිනසා ගැනීමක්ව දෙවනුව ශරීරකව ස්වකීය ජීවිතයෙන්ම සමුගන්නා තැනට පත් විය. එය මේ රටේ බොහෝ කලාකාරයන්ට අත් වූ ඉරණමකි. විමල් වැනි දක්ෂයන් හැමදාමත් මේ රටට අහිමි වුයේ හැකියාවන්ගෙන් නිසි ඵල නොගෙනය. ඔවුන් මියගියාට පසු හිස් වන තැන ගන්නට කිසිවකු ඉතිරි නොවන්නේ ද එබඳු දක්ෂතා අනාගත කලාව වෙනුවෙන් රැක ගන්නට මේ රටේ නිසි වැඩපිළිවෙළක් නොමැති බැවිනි.
2025 නොවැම්බර් මස 04
178
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2064
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1584
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අපතේ ගිය ප්‍රතිභාව: විමල් කුමාර ද කොස්තා