

ගාමිණි ෆොන්සේකා වරක් මෙසේ කියා තිබුණි.
"මම මාලන් බ්‍රැන්ඩො අනුකරණය කරන්නේ නැහැ. නමුත් හැම නළුවෙක්ම පාහේ ඔහු අනුකරණය කළ යුතුවේ. එහෙයින් මා ද ඉබෙිටම ඔහු අනුකරණය කිරීමට පෙළඹුණෙමි".
ගාමිණි එසේ කියා තිබුණේ ඔහු රඟපෑ, මණික් සන්ද්‍රසාගර අධ්‍යක්ෂණය කළ ඉංග්‍රිසි චිත්‍රපටය වූ 'රැම්පේජ්' චිත්‍රපටය වැල්ලවත්ත සැවොයි සිනමාහලේ මංගල දර්ශනය තිරගත කළ පසු එක් සිනමා පුවත් පත් වාර්තාකරුවකු ' ඔබ මෙම චිත්‍රපටයේ රඟපාන විට ඇතැම් තැන්වලදී මාලන් බ්‍රැන්ඩෝ ව අනුකරණය කරා නේදැයි ඇසු විටය.
'Rampage' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ ගාමිණි ෆොන්සේකා ය.
1950 වසරේ ජුලි 20 වැනි දින ෆ්‍රෙඩ් සිනෙමන් විසින් අධ්‍යක්ෂනය කළ ඇමරිකානු චිත්‍රපටයක් වූ 'ද මෙන්' තිරගත විය. එවකට අවුරුදු 26 ක් වූ 'මාලන් බ්‍රැන්ඩො' නම් වූ තරුණයා ලෝක සිනමාවට අවතීර්ණ වූයේ මෙම 'ද මෙන්' චිත්‍රපටයෙනි. හමුදා ලුතිනන්වරයකු වූ කෙන් විලොක් නම් වූ ප්‍රධානම චරිතයෙනි මාලන් බ්‍රැන්ඩො හොලිවුඩ් සිනමාවට එක්වූයේය.
1951 දී ඔහු රඟපෑ දෙවැනි චිත්‍රපටය තිරගත විය. ඒ එලියා කාර්සන් අධ්‍යක්ෂණය කළ ' අ ස්ට්‍රීට් කාර් නේම් ඩිසායර්' ය. මෙහී විශේෂත්වය වූයේ ඔහු ඔහුගේ දෙවැනි චිත්‍රපටයේ රංගනය තුළින් හොඳම නළුවා ලෙස 24 වැනි ඇමෙරිකානු ඔස්කාර් ඇකඩමි සම්මානයට නිර්දේශ වීමය.
නැවතත් 1952 වසරේ ඔහු රඟපෑ 3 වැනි චිත්‍රපටය වූ එලියා කාර්සන් විසින් අධ්‍යක්ෂණය කළ 'විවා සැපටා' චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් 25 වැනි ඇමෙරිකානු ඇකඩමි සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය ට නිර්දේශ විය.
1953 ,වසරේදී මාලන් බ්‍රැන්ඩො ගේ 4 වැනි චිත්‍රපටයෙන්ම ඔහු ලෝකප්‍රකට නළුවෙකුගේ තත්වයට පත්විය. ඒ ජෝශප් මැන්කෙවික්ස් අධ්‍යක්ෂණය කළ 'ජුලියස් සීසර්' චිත්‍රපටයේ මාක් ඇන්තනී ගේ ප්‍රධාන චරිතය රඟපාමිනි. තවත් ප්‍රකට නළුවෙකු වු ජේම්ස් මෙසන් මෙහී බෘටස් ගේ චරිතය රඟපෑවේය. ජූලියස් සීසර් චිත්‍රපටයේ විශේෂත්වය වූයේ එහී ක්ලියෝපැට්රාගේ චරිතය නොතිබීමය. ඒ කෙසේ වෙතත්, මාලන් බ්‍රැන්ඩෝ රඟපෑ මාක් ඇන්තනීගේ චරිතය ජනප්‍රිය වූ අතර, මාලන් බ්‍රැන්ඩෝ හොලිවුඩ් ඉහළ පෙලේ නළුවන්ගේ තත්වයට පත්විය. එලෙසම එම රඟපැමටද, 26 වැනි ඇමරිකානු ඇකඩමි සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානයට නිර්දේශ විය.
එක දිගට අවුරුදු 3 ක්ම ඇකඩමි සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානයට නිර්දේශ වූ මාලන් බ්‍රැන්ඩෝ ට, 27 වැනි ඇමෙරිකානු ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය ලැබුණි. එයද එලියා කාර්සන් විසින් අධ්‍යක්ෂනය කෙරූ චිත්‍රපටයකටය. චිත්‍රපටය ' ඔන් ද වෝටර් ෆ්‍රන්ට්' ය. මෙම චිත්‍රපටයේ රොඩ් ස්ටයිගර්, ලී. ජේ. කොබ්, වැනි නළුවන් ද රඟපෑ අතර, මෙය ප්‍රේක්ෂක හා විචාරක ඉහළින් ලද චිත්‍රපටයක් වූ අතර, එය වාණිමය සාර්ථකත්වයක් ලද චිත්‍රපටයක් විය. මෙය මාලන් බ්‍රැන්ඩො රඟපෑ 6 වැනි චිත්‍රපටය විය.
මාලන් බ්‍රැන්ඩො ගේ පියාගේ නමත් මාලන් බ්‍රැන්ඩොමය. එහෙයින් පියා මාලන් බ්‍රැන්ඩො සීනියර් වූ අතර පුතා මාලන් බ්‍රැන්ඩො ජූනියර් විය. බ්‍රැන්ඩො ගේ පියා වෙළෙද නියෝජිතයකු වූ හෙයින් ඔහු රට වටා යන්නට වූ අතර, ඔහු බොහෝ විට නිවසේ සිටියේ නැත. ඔහුගේ මව වේදිකා නිළියක් වූ හෙයින් ඇයද බොහෝ විට නිවසේ සිටියේ නැත . මේ හෙයින් නිවෙස තුළ ඇති වැඩ හා ශුද්ධ පවිත්‍ර කිරීම් කරන්නට සිදුවූයේ මාලන්ටය.
මාලන් මුලින්ම එක්වූයේ වේදිකාවටය. ඔහු රඟපෑමට දැඩිව ප්‍රිය කළේය. ඔහු යමක් නිවැරදිව කළේ නම් ඒ කළේ රඟපෑමය. ඔහු ගේ බොහෝ වැඩවලට අන් අයගෙන් ලැබුණේ අපහසමය. නැත්නම් ඒ පිළිබද වැරදි පෙන්වා දීමය. එසේ වැරදි නොපෙන්වූ එකම දෙය නම් රඟපෑමය. ඔහුගේ සොහොයුරියද කීවේ බ්‍රැන්ඩොට හරි යනවා නම් හරි යන්නේ රඟපෑම ම පමණි කියාය.
බ්‍රැන්ඩො ට බොහෝ විට තිබුණේ ස්වභාවික රංග ශෛලයකි. ඔහු මුල් කාලයේ පවා දෙබස් උච්චාරණය එය ඉදිරිපත් කරන ආකාරය ගැන උනන්දු විය. එලෙසම කැමරා කෝණ හා ඒ අනුව තම රංගනය ඉදිරිපත් කරන ආකාරය ගැන වඩාත් උනන්දු විය. මේ ස්වයං ඉගනුම නිසාම ඔහු වේදිකාවේ දක්ෂ නළුවකු වූයේ ඔහු රංගනය හා නිර්මාණය ගැන පමණක්ම අවධානය යොමු කරන නිසාය. ඔහු දක්ෂ නළුවකු වන තෙක්, නිර්මාණයට හා රඟපෑමට හැරෙන්නට වෙන කිසිම දෙයකට හිත යොමු කළේ නැත. බ්‍රැන්ඩො තම දෙවැනි චිත්‍රපටයෙන්ම ඔස්කාර් ඇකඩමි සම්මානයට නිර්දේශ වීමට හේතු වූයේ මේ කැපවීම නිසාය.
බ්‍රැන්ඩො 1950 සිට 2004 වන තෙක් රගපෑවේය. සංඛ්‍යාත්මකව ඔහු චිත්‍රපට 42 ක පමණ රඟපා තිබුණි. ඒ අතර, 'අ ස්ට්‍රීට් නේම් ඩිසායර්', 'ජූලියස් සීසර්', 'ඔන් ද වෝටර් ෆ්‍රන්ට්', 'සයොනාරා', 'ද චේස්' ' බර්න්' ' රිෆ්ලෙක්ෂන් ඉන් අ ගෝල්ඩන් අයි', 'ඇපොකැලිප්සේ නව්' 'සුපර්මෑන්', 'ඩොන් ජුවාන් ඩි මාකෝ', වැනි චිත්‍රපට ජනප්‍රිය විය.
එහෙත් 1972 වසරේ මාලන් බ්‍රැන්ඩො ප්‍රධාන චරිතය රඟපෑ චිත්‍රපට දෙකක් ලොව පුරා උන්මාදයක් සේ පැතිර ගියේය. ලොව වඩාත්ම කතා බහට ලක්වූ ලිංගීක දර්ශන රැගත් චිත්‍රපටය වූ බර්නාඩෝ බර්ටෝලුසි අධ්‍යක්ෂණය කළ ' ලාස්ට් ටැංගො ඉන් පැරිස්' එසේ උන්මාදයක් ඇති කළ එක් චිත්‍රපටයක් විය. . එය හරි අපූරු කලාත්මක චිත්‍රපටයකි. අනෙක් චිත්‍රපටය වූයේ ලොව අදටත් විශිෂ්ටතම චිත්‍රපටයක් ලෙස සලකන ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපොලා අධ්‍යක්ෂණය කළ 'ද ගෝඩ් ෆාදර්' චිත්‍රපටයයි.
'ලාස්ට් ටැංගො ඉන් පැරිස්' චිත්‍රපටයේ රඟපෑ පෝල් නම් චරිතයට බ්‍රැන්ඩො එම වසරේ ඇමෙරිකානු ඔස්කාර් ඇකඩමි උළෙලේ හොඳම නළුවාට නිර්දේශ විය. එහෙත් එම වසරේම ඔහු එම හොඳම නළුවාට හිමි ඔස්කාර් -ඇකඩමි සම්මානය දිනා ගත්තේය. ඒ, විටෝ කොර්ලියොන් නම් මාෆියා අපරාධ නායකයා ලෙස 'ද ගෝඩ් ෆාදර්' චිත්‍රපටයේ රඟපෑ චරිතය වෙනුවෙනි.
මාලන් බ්‍රැන්ඩො ගේ අවසන් චිත්‍රපටය වූයේ 2001 වසරේ තිරගත කළ ෆ්‍රෑන්ක් ඕස් අධ්‍යක්ෂණය කළ 'ද ස්කෝර්' චිත්‍රපටය ය.
2004 දී ඔහු ඇනිමේෂන් චිත්‍රපටයක් වූ 'බිග් බග් මෑන්' චිත්‍රපටයේ රඟපෑවද, එම චිත්‍රපටය තිරගත වූයේ නැත.
මාලන් බ්‍රැන්ඩො 3 න් වරක් විවාහ විය. ඒ විවාහ තුනෙන්ම ඔහු දික්කසාද විය. 1957 සිට 1959 වනතෙක් ඇනා කාශ්ෆි සමඟද, 1960 සිට 1962 දක්වා මොවිටා කැස්ටනෙඩා සමඟද, 1962 සිට 1972 දක්වා ටරිටා ටෙරිපියා සමඟද විවාහ දිවියන් ගත කර තිබුණි. 1972 සිට 2004 දක්වා ඔහු විවාහ ජීවිතයක් ගත කර ඇති බවක් සඳහන් වී නැත. මාලන් බ්‍රැන්ඩොට ඉහත කී විවාහ තුනෙන්ම දරුවෝ 11 දෙනෙක් සිටියහ.
පසු කලෙක මාලන් බ්‍රැන්ඩෝ ගේ සිරුර අසාමාන්‍ය අන්දමට වැඩිවී තිබූ අතර ඔහුගේ බර කිලෝ 140 ක් පමණ විය. ඔහුගේ අවසන් අවුරුදු කීපය තුළ ඔහු බොහෝ විට ගත කළේ ඇමෙරිකානු සුපිරි ගායක මයිකල් ජැක්සන් ගේ 'නෙවර්ලන්ඩ්' නිවසේය. මයිකල් ජැක්සන් , මාලන් බ්‍රැන්ඩො ගේ හොඳම හිතවතෙක් වී සිටියේය. බ්‍රැන්ඩො ගේ පුත් මිකෝ බ්‍රැන්ඩො , මයිකල් ජැක්සන් ගේ ප්‍රධාන ආරක්ෂකයා වී සිටියේය.
මාලන් බ්‍රැන්ඩො අවසන් කාලයේදී දරුණු ලෙස දියවැඩියා රෝගයෙන් පෙළෙන්නට වූ අතර, ඔහුගේ අක්මාවේ පිළිකාවක්ද හට ගැණුනි. ඔහු මිය යෑමට මෙම රෝගී තත්වය බලපා තිබුණි. මාලන් බ්‍රැන්ඩො 2004 වර්ෂයේ ජුලි 01 වැනි දින වයස අවුරුදු 80 දී මියගියේ ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd