මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දෘශ්‍ය අනන්‍යතාවක් බඳු වූ ඓතිහාසික රන් වියන වසර අටකට පසුව පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කර යළි නිරාවරණය කර තිබේ. 1987 වසරේ දී ඉදිකරන ලද මෙම රන් වියන මීට පෙර 2002 සහ 2018 යන වර්ෂවල දී අවස්ථා දෙකකදී ප්‍රතිසංස්කරණය කර ඇති අතර, මෙවර සිදු කෙරුණේ එහි තෙවැනි ප්‍රතිසංස්කරණයයි.

මල්වතු හා අස්ගිරි උභය මහා විහාරයන්හි අතිගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පරිදි, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමාගේ මඟපෙන්වීමෙන් යුතුව, විශ්ව පාරමී පදනමේ පූර්ණ අනුග්‍රහයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.

මෙම ප්‍රතිසංස්කරණයේදී වර්ග අඩි 2,900කින් යුත් රන් වියනේ සමස්ත පෘෂ්ඨය කැරට් 24 රන් මොසැයික් තාක්ෂණය උපයෝගී කරගනිමින් අලංකාරවත් හා කල්පවත්නා අයුරින් නිමවා තිබේ. ඒ සඳහා ලෝක ප්‍රකට ඉතාලි සමාගමක තාක්ෂණික උපදෙස්, සැලසුම් සහ යෝජනා සැලකිල්ලට ගෙන ඇති අතර ලොව ප්‍රමුඛ පෙළේ ඉංජිනේරු සමාගම් කිහිපයක උපදේශකත්වය මෙන්ම දේශීය සමාගම් ගණනාවක දායකත්වය ද ඊට හිමි විය.

එමෙන්ම රන් වියනේ ලෝහමය සැකිල්ල ඉංජිනේරු පරීක්ෂාවකින් අනතුරුව ප්‍රතිසංස්කරණය කර, එහි ඇති රන් නෙළුම් මල් සහ සියලු‍ අලංකරණයන් ද යළි ප්‍රතිසංස්කරණය කර ඇත. රන් වියනට ඉහළින් ඇති කොත් කැරලි ද්විත්වය සිංගප්පූරුවේ ‘රෝයල් ඉන්සිග්නියා‘ (Royal Insignia)  සමාගම විසින් දඹරනින් නිර්මාණය කර ඇති අතර, රන් වියන ආලෝකවත් කිරීම සඳහා ජපානයේ ඉවාසාකි සමාගමේ ‘High-Beam Eye Light’  ආලෝකකරණ පද්ධතියක් ස්ථාපනය කර තිබේ.

දෙස් විදෙස් බැතිමතුන්ගේ සහ සංචාරකයන්ගේ විශේෂ අවධානයට ලක්වන, වාස්තු විද්‍යාත්මක අතින් සුවිශේෂී නිර්මාණයක් වන මෙම රන් වියන නව ප්‍රතිසංස්කරණයත් සමඟ යළිත් අතිශය අලංකාරවත් ස්වරූපයකින් දිස්වේ.