-බාගෙට බාගයක් හිරේ -රට පැන්න අනූ හයකටත් රතු වරෙන්තු

සුජිත් හේවාජුලිගේ

මෙරට පාතාල හෝ සංවිධානාත්මක අපරාධ කල්ලි 58 කට අයත්  දාමරිකයන් 1500ක පමණ පිරිසක් හඳුනාගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. ඔවුන්ගෙන් බහුතරයක් රට අභ්‍යන්තරයේ මෙන්ම බන්ධනාගාරයන්හි පසුවන බව උසස් පොලිස් නිලධාරියෙක් “ඉරිදා ලංකාදීපය”යට පැවසීය.

ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් (පාතාලකරුවන්) විදේශගතව සිටින නිශ්චිත සංඛ්‍යාව පොලිස් මෙහෙයුම් සහ අත්අඩංගුවට ගැනීම් මත නිරන්තරයෙන් වෙනස් වේ.

කෙසේ වෙතත්, මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පොලිසිය මෑතක දී නිකුත් කළ දත්තවලට අනුව, විදේශයන්හි සැඟවී සිටිමින් මෙරට අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවන් 96 කට ජාත්‍යන්තර පොලිසිය මගින් රතු වරෙන්තු (Interpol Red Notices ) නිකුත් කර ඇත.

මේ පිරිස අතරින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා හඳුනාගෙන ඇති ප්‍රධාන පෙළේ පාතාල නායකයන් සහ සැකකරුවන් 30 - 35 ත් අතර පිරිසක් විදේශ රටවල සැඟව සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත.

මීට අමතරව අපරාධකරුවන්ගේ අනුගාමිකයන් හා සහායකයන් 200කට ආසන්න පිරිසක් ද විදේශගතව සිටින බවට පොලිස් බුද්ධි අංශ අනාවරණය කරයි.

මෙම අපරාධකරුවන් වැඩිම පිරිසක් සැඟව සිටින්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (ඩුබායි) සහ ඉන්දියාවේ ය. ඊට අමතරව ඕමානය, රුසියාව, ප්‍රංශය, බ්‍රිතාන්‍යය, කැනඩාව, ඉතාලිය සහ ඉන්දුනීසියාව වැනි රටවල ද කිහිපදෙනකු සැඟවී සිටින බවට  හඳුනාගෙන ඇත.

පසුගිය කාලයේ දී විදේශගතව සිටි පාතාල කල්ලි සාමාජිකයන් 60කට වැඩි පිරිසක් පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය ඒකාබද්ධව කළ විශේෂ මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගෙන නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකිවිය.

රුසියාවේ සැඟවී සිටිය දී අත්අඩංගුවට ගෙන පෙරේදා මෙරටට රැගෙන පැමිණි ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා වන්නේ රොටුඹ අමිල නමැත්තාය. දකුණු පළාතේ සිදුවූ මිනීමැරුම්, කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට මොහු පොලිසියට අවශ්‍යව සිටියේය.

මේ අතර දරුණු ගණයේ අපරාධ කල්ලි නායකයෝ පනහකට ආසන්න පිරිසක් බන්ධනාගාරයන්හි පසු වෙති.