සුජිත් හේවාජුලිගේ

ආන්දෝලනයට තුඩු දුන් කාවන්තිස්ස ඇත් රජුගේ මරණයට හේතුව දීර්ඝකාලීනව පැවති පාචන තත්ත්වයක් හේතුවෙන් ඇති වූ සංකූලතා බව වෛද්‍ය වාර්තා අනුව පෙනී යන්නේ යැයි, පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි “ඉරිදා ලංකාදීප”යට පැවසීය.

වෙඩි තැබීම් ලකුණු කිහිපයක් සොයාගෙන ඇතත්, මරණයට එම වෙඩි ප්‍රහාර සෘජුවම හේතු වී ඇති බවක් ප්‍රකාශවී නැතැයි ද අමාත්‍යවරයා කීවේය.

එසේම කාවන්තිස්ස ඇත් රජුගේ ශරීරයේ වෙනත් තුවාල කිහිපයක් ද සොයාගෙන ඇති බවත්, ඒවා වෙනත් අලින් සමග විවිධ ඇනකොටා ගැනීම්වල දී ඇතිවූ ඒවා බවට සැකකරන බවත් පැවසීය.

මේ අතර රටපුරා දළ ඇතුන් තුන්සීකට ආසන්න ප්‍රමාණයක් සිටින බවට පරිසර වාර්තා අනුව පෙනී යන්නේ යැයිද අමාත්‍යවරයා කීය.

ඉන් අවදානමට ලක්ව සිටින දළ ඇතුන් ලෙස නම්ව සිටින්නේ 17 දෙනකු පමණක් බව ඔහු සඳහන් කළත් ඇතැම් පරිසර සංවිධාන ප්‍රකාශ කරන්නේ දළ ඇතුන් තිහක් පමණ අවදානමට ලක්ව සිටින බවයි.