චමෝදි සෙව්වන්දි/ වර්ෂා සමරසිංහ

සමස්ත රාජ්‍ය සේවයටම රුපියල් 25,000ක දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් සඳුදා (30 දා) පැවැත්වෙන සංකේත වැඩවර්ජනය සඳහා වෘත්තීය සංගම් නවයක් සහභාගී වන බව පළාත් කළමනාකරණ සහකාර සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රසන්න දියුණුගේ ඉරිදා ලංකාදීපය කළ විමසුමක දී පැවසීය.

මෙවර අයවැය යෝජනා මගින් තමන්ට සිදුව ඇති බව කියන අසාධාරණකම් සහ පොරොන්දු වූ වැටුප් හා දීමනා ලබා නොදීමට එරෙහිව අධ්‍යාපන, සෞඛ්‍ය සහ පරිපාලන ක්ෂේත්‍රයන්හි ප්‍රධාන වෘත්තීය සමිති රැසක් මෙසේ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී සිටින බව ද ඔහු කීවේ ය. 

නොවැම්බර් 23 වැනිදා ගත් ක්‍රියාමාර්ගයට සහ නොවැම්බර් 26 දින ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයට පසුව හෙට පැවැත්වීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කර ඇති බව හෙතෙම සඳහන් කළේය. අයවැයට පෙර රාජ්‍ය සේවකයන් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා නොසිටි බවද සමස්ත පුරවැසියන්ට ජීවත් විය හැකි වන පරිදි බඩු මිල අඩු කරන ලෙස පමණක් ඉල්ලූ බව ද ඔහු කීවේ ය. 

එසේ තිබිය දී භාණ්ඩාගාරයේ ඇති සම්පත් මත රාජ්‍ය සේවකයන්ට ද යමක් ලබාදෙන බවට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරුන් අවස්ථා ගණනාවක දී බලාපොරොත්තු දුන්න ද අයවැය කතාවේදී තෝරාගත් සේවාවන් කිහිපයකට පමණක් දීමනා වැඩි කිරීම හේතුවෙන් සමස්ත රාජ්‍ය සේවයේ ම ගැටලුවක් ඇති වී තිබෙන බවත් ඊට සාධනීය පිළිතුරක් නොලැබුණහොත් පෙර සැලසුම් කළ පරිදි හෙට දින දිවයින පුරා වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය. 

අගමැතිනිය සමඟ පැවති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් හෙට දින  අසනීප නිවාඩු වාර්තා කරමින් වර්ජනය ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කළේය.

විවිධ ආයතන මට්ටමින් එල්ල වන තර්ජන සහ බලපෑම් හමුවේ වුවද හෙට කිසිදු ගුරුවරයකු හෝ විදුහල්පතිවරයකු සේවයට වාර්තා නොකරන බවත් තම ඉල්ලීම් දිනාගැනීම සඳහා මෙම වර්ජන ක්‍රියාමාර්ගය ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බව ලේකම්වරයා ප්‍රකාශ කළේය.

1997 වසරේ සිට පවතින ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය විසඳීම සඳහා පත් කළ සුබෝධනී කමිටු යෝජනාවේ ඉතිරි තුනෙන් එකක වැටුප් කොටස ලබා දීම, විදුහල්පති සේවය මාණ්ඩලික සේවාවක් වුවද ඔවුන්ට මෙතෙක් නොලැබෙන ගමන් වියදම් සහ දුරකථන දීමනා ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව  ඔහු පැවසීය.

මීට අමතරව මෙවර අයවැයෙන් පාසල් දරුවන්ගේ පෝෂණ ව්‍යාපෘතිය සඳහා වෙන් කළ මුදල රුපියල් බිලියන තුනකින් කප්පාදු කිරීමටත් අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6ක් වෙන් කරන බවට පොරොන්දු වී බලයට පත්වූ වත්මන් රජය එම ප්‍රතිපාදන පසුගිය වසරේ සියයට 2.3 සිට මේ වසරේ සියයට 1.91 දක්වා අඩු කිරීමටත් එරෙහිව මෙම අරගලය දියත් කරන බව ද ලේකම්වරයා කීවේ ය.

හෙතෙම තවදුරටත් සඳහන් කළේ තැපැල් ඡන්දයෙන් රාජ්‍ය සේවකයන් බහුතරයක් වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට කටයුතු කළද මේ වන විට ආණ්ඩුවේ සියලු පාර්ශව තම ඉල්ලීම් සෘජුවම ප්‍රතික්ෂේප කරමින් සිටින බවද 25 වැනි දින අග්‍රාමාත්‍යවරිය සමඟ පැවති සාකච්ඡාවේදීද කරුණු ඉදිරිපත් කළ නමුත් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවය.

එසේම සෙසු මාණ්ඩලික නිලධාරීන්ට හිමිවන දීමනා විදුහල්පතිවරුන්ට පමණක් අහිමි කිරීම බලවත් අසාධාරණයක් බව ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම් මොහාන් පරාක්‍රම වීරසිංහ පැවසීය.
විදුහල්පති සේවය මාණ්ඩලික සේවාවක් වුවද දිවයිනේ සෙසු සියලුම මාණ්ඩලික නිලධාරීන්ට හිමිවන දුරකථන සහ ප්‍රවාහන දීමනා විදුහල්පතිවරුන්ට පමණක් අහිමි කර ඇති බව ද මීට අමතරව ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පැමිණීමේ දී ඔවුන් උපයාගත් වැටුපෙන් මාසිකව රුපියල් 2,000 සිට 8,000 දක්වා මුදලක් අඩුවීමේ ගැටලුව ද මෙතෙක් නිවැරදි කර නොමැති බව ද හේ කීවේ ය. 

පාසලක මූල්‍ය, භෞතික සම්පත්, මානව සම්පත් සහ අධ්‍යාපන කළමනාකරණය යන අංශ හතරම විදුහල්පතිවරයා විසින් සිදු කරනු ලබන අතර සමස්ත අධ්‍යාපන පද්ධතියම සම්බන්ධීකරණය වන්නේ විදුහල්පතිවරයාගේ පෞද්ගලික ජංගම දුරකථනය මගින් බවත් එවැනි පසුබිමක දිවයිනේ විදුහල්පතිවරුන් 16 000ක් පමණ කිසිදු දීමනාවකින් තොරව සේවයේ යෙදෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේ ය. 

වැඩකට නැති ඉල්ලීම් සලකා නොබලන බවට ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහු පැවසුවේ ජනාධිපතිවරයා, අගමැතිවරයා, මැති ඇමතිවරුන් සහ සෙසු සියලුම නිලධාරීන් තමන්ට හිමි ප්‍රවාහන සහ දුරකථන දීමනා අත්හැර සේවය කිරීමට සූදානම් නම් විදුහල්පතිවරුන්ද රට වෙනුවෙන් කිසිදු දීමනාවකින් තොරව වැඩ කිරීමට සූදානම් බව ය. 

අදාළ ඉල්ලීම්වලට නිසි විසඳුම් ලැබෙන තෙක් ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය විසින් වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ද ඔහු පැවසීය.

සෞඛ්‍ය පද්ධතියේ පවතින සංවේදීතාව සැලකිල්ලට ගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ග හෝ වර්ජනවලට එළඹීම කිසි විටෙකත් පළමු තේරීම නොවන බවද මූලික ඉල්ලීම් පහක් ඔස්සේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කිරීමට තීරණය කරන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ ප්‍රකාශ කළේය.  

ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා ජනාධිපතිවරයාට, සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ අග්‍රාමාත්‍යවරියට ද ලිඛිතව දැනුම් දී ඇති බවද සාකච්ඡා සඳහා සූදානම් බව ප්‍රකාශ කළද ඊට නිසි ප්‍රතිචාරයක් හෝ සාධනීය පරිසරයක් මෙතෙක් දක්නට නොලැබී ඇති බවද හෙතෙම අවධාරණය කළේය.

අයවැය යෝජනා සම්බන්ධයෙන් පවතින අසාධාරණකම් පෙන්වා දෙමින් වෛද්‍යවරුන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ප්‍රධාන ඉල්ලීම් පහ ලෙස ඉන්ධන මිල සහ පාරිභෝගික මිල දර්ශක සූත්‍ර අනුව ලබාදෙන DAT දීමනාව යාවත්කාලීන කිරීම එනම්, 2018 වර්ෂයේ දී අනුමත කළ ගණනට (රු. 120,000) වඩා වැඩි කර ඇති රු. 25,000ක දීමනාව යාවත්කාලීන කිරීම සහ ඒ සඳහා වන යාවත්කාලීන කිරීම් කල් නොදැමීම එහිදී 2023 අග වන විට එම අගය රු. 270,000ක් පමණ වුවද, වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ 2018 පදනම මත එය ලබාදී, රාජ්‍ය සේවයේ ප්‍රධාන විධායක නිලධාරීන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ අමාත්‍යවරුන්ට ලැබෙන ප්‍රවාහන දීමනා බදු වලින් නිදහස් වුවද, DAT දීමනාවේ ප්‍රවාහන කොටස සඳහා බදු අය කෙරෙන බැවින්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන යටතේ එයට බදු නිදහසක් ලබා දීමද එම ඉල්ලීම් අතර වේ. 

2025 අයවැයෙන් මූලික වැටුප වැඩි කළද, අමතර රාජකාරි දීමනා සහ නිවාඩු දින ගෙවීම් වලින් කප්පාදු කළ තුනෙන් එකක කොටස නැවත ලබා දීම, රාජ්‍ය සේවකයන්ට ප්‍රවාහන පහසුකම් සැලසෙන 1999 අංක 22/69 චක්‍රලේඛයට විශේෂඥ වෛද්‍යවරුන් සහ සුදුසුකම් ලත් වෛද්‍යවරුන් ඇතුළත් කිරීම, අත්හිටුවා ඇති තීරු බදු සහන සහිත වාහන බලපත්‍ර නැවත ලබා දීම සඳහා වන ක්‍රමවේදයක් ප්‍රකාශයට පත් කිරීම යන ඉල්ලීම් දැක්විය හැකිය.

කෙසේ වෙතත් ජාතික ජන බලවේගයේ මහලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ ප්‍රකාශ කළේ හෙට දින ක්‍රියාත්මක වන වෘත්තීය ක්‍රියාමාර්ගය වෙනුවෙන් විශේෂ ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත්  වර්ජනයේ නිරත වන පිරිස වර්ජනය සිදු කළද ඉතිරි කොටස දෛනික රාජකාරි කටයුතු වල නිරත වන බවත් ය.