

රෝමන් පොලොන්ස්කිගේ 'ද පියානිස්ට්' නැරඹිය යුතුම චිත්‍රපටයක් පමණක් නොව එය තවත් කීපවරක්ම නැරඹිය යුතු චිත්‍රපටයකි.
රෝමන් පොලොනිස්කි ගේ 'මැක්බත්', හා 'චයිනා ටවුන්' වැනි චිත්‍රපට නරඹා ඇති අයට පොලොනිස්කි ගේ සිනමා භාෂාව ගැන අමුතුවෙන් කිව යුතු නොවෙි. එහෙත් 'ද පියානිස්ට්' තරම් හදවතට කාවද්දන්නට 'මැක්බත්' හා 'චයිනා ටවුන්' චිත්‍රපටවලට හැකි වුනිදැයි නම් සැක සහිතය.
පෝලන්තයේ ඉපදුණු රෝමන් පොලොන්ස්කි පසුව ප්‍රංශයට සංක්‍රමණය විය. ඉන්පසු ඔහු හැඳින් වූයේ ප්‍රංශ සිනමා අධ්‍යක්ෂකවරයකු ලෙසටය. එහෙත් මගේ අදහස නම්, ඔහු පෝලිෂ්වරයකු වූ හේතුවෙන් ප්‍රසස්ත සිනමා කරුවෙක් වූ බවය. ඔහුගේ හැම චිත්‍රපටයකම ඒ පෝලන්ත දැක්ම තිබුණි. එහෙයින් ඔහු ප්‍රංශ සිනමාකරුවකු ලෙස හැඳින්වීම ගැන මගේ විරුද්ධත්වය මුලින්ම පැවසිය යුතුය.
රෝමන් පොලොන්ස්කි, ලෝක පූජිත අධ්‍යක්ෂකවරයකු වුවද, ඔහුගේ අතීතය නම් එතරම් පිරිසුදු නොවීය. ඔහුට වයස 43 ක් ව සිටියදී ඔහු අවුරුදු 13 ක ගැහැනු ළමයකු දූෂණය කර, අත්අඩංගුවට පත් වූවෙකි. එමෙන්ම කලක් මත්ද්‍රව්‍යවලට ද ඔහු ඇබ්බැහි වී සිටියේය. 13 හැවිරදි ගැහැනු ළමයා දූෂණය කළද, ඔහුට Unlawful Sex යටතේ ලැබුණේ ලිහිල් දඬුවමකි.
කෙසේ හෝ ඔහු සිනමාකරණයට පැමිණියේය. ඒ නළුවකු, තිර රචකයකයකු අධ්‍යක්ෂවරයකු හා නිෂ්පාදකයකු වශයෙනි.
පොලොනිස්කි ගේ සිනමා භාෂාව තුළ තිබුණේ ඔහුටම ආවේණික වූ සංස්කෘතික රටාවකි. ඔහුගේ 'චයිනා ටවුන්' චිත්‍රපටය පුරාවටම ඔහු එම සංස්කෘතික ලක්ෂණ කදිමට වපුරවා තිබුණි. 'නයිෆ් ඇන්ඩ් ද වෝටර්' චිත්‍රපටයෙන් 1962 වසරේදී ඔහු ආරම්භ කළ ඔහුගේ සිනමා අධ්‍යක්ෂණය ' ද පියානිස්ට්' වන තෙක් චිත්‍රපට 15 ක් අධ්‍යක්ෂණය කර තිබුණි. 'සන්ඩෙ බ්ලඩි සන්ඩේ' වැනි චිත්‍රපටයක ඉතාම කුඩා චරිතයක් රඟපෑ 'ජෝන් හස්ටන්' වැනි නළුවෙක් තමාගේම 'මැක්බත්' වැනි චිත්‍රපටයේ මැක්බත් ලෙස ප්‍රධාන චරිතයට තෝරා ගැන්ම තුළ පොලොනිස්කි නළු නිළියන්ගේ සුළු රඟපෑමක් පවා මොන තරම් ගැඹුරු ලෙස අධ්‍යයනය කර ඇත්දැයි පැහැදිලි වේ. එලෙසම ජැක් නික්ලසන් හා ෆේ ඩන්වේ වැනි විශිෂ්ට නළු නිළි දෙපලක් යොදා පොලොනිස්කි විසින් අධ්‍යක්ෂණය කළ 'චයිනා ටවුන්' තුළින් පොලොනිස්කි ගේ සිනමා සංස්කෘතිය තුළ, ජැක් හා ඩන්වේගේ රංගන රටාව බද්ධ වූ ආකාරයනම්, ඇත්තෙන්ම විස්මිතය.
'ද පියානිස්ට්' ට පසු ඔහු බෙන් කිංග්ස්ලි යොදා අධ්‍යක්ෂණය කළ 'ඔලිවර් ටුවිස්ට්' ආදායම් අතින් අසාර්ථක වුවද සිනමාත්මක අතින් උසස් විය. නමුත් ඔහුගේ 'ද පියානිස්ට්' තරම් මානුෂික හැඟීම් තිව්‍රව දැනෙන චිත්‍රපටයක් මා දැක නැත.
දරුණුතම නාසි යුද්ධය අතරේ සංගීතය මොන තරම් දැනවීමක් කරනවාද යන්න තේමා කර ගත් 'ද පියානිස්ට්' ලෝකයේ ඕනෑම දරුණු මිනිසුන් වුවද,සංගීතය විසින් එක් නිමේෂකයකදී මානුෂිකත්වයට හැරවිය හැකි බව ප්‍රත්‍යක්ෂ කරන නිර්මාණයක් විය.
රෝමන් පොලොනිස්කි තමාට ආවේණික වූ සිනමා සංස්කෘති භාෂාව උපරිම ලෙස යොදා ගත් චිත්‍රපටයකි ' ද පියානිස්ට්'.
ඔහුගේ 'ටෙස්', 'ෆ්‍රැන්ටික්' 'පයිරෙට්ස්' වැනි චිත්‍රපටවලට වඩා එහා ගිය සිනමා භාෂාවක්ය 'ද පියානිස්ට්' චිත්‍රපටය පුරාවටම තිබුණේ. බොහෝ විට රොනල්ඩ් හාර්වුඩ් ගේ තිර රචනය එයට බලපාන්නට ඇත. පොලොනිස්කි ත් හොඳ තිර රචකයෙක් වුවද 'ද ඩ්‍රසර්', 'ද ඩයිවින් බෙල් ඇන්ඩ් ද බටර්ෆලයි' වැනි සම්මානනීය චිත්‍රපටවල තිර රචනය ලියූ රොනල්ඩ් හාර්වුඩ්ට 'ද පියානිස්ට්' තිර රචනය භාර දුන්නේ තම සිනමා සංස්කෘතිය තුළ විශිෂ්ට නිර්මාණයක් ඉදිරිපත් කිරීම ඔහුගේ අභිලාෂය නිසා විය යුතුය.
'ද පියානිස්ට්' සත්‍ය කතාවකි. එය ගෙති යන්නේ පෝලන්තයේ සිටි විශිෂ්ට පියානෝ වාදකයකු වූ ව්ලැඩිස්ලෝ ස්පිල්මන් නමැත්තා වටාය. 1911 වසරේ පෝලන්තයේ' ඉපදී අව්රුදු 88 ක් ආයු වළදා 2000 වසරේදි මිය ගිය විලැඩිස්ලෝ, පෝලන්ත ගුවන් විදුලියේ හා ප්‍රසිද්ධ වේදිකාවල පියානෝ වාදකයකු ලෙස රඟදක්වා තිබුණි. ජර්මානු නාසි යුද්ධයෙදි ඔහු සහ ඔහුගේ පවුලේ උදවිය ජර්මානු වන්ගෙන් අනේක වධ හිංසා වලට මැදිහත් වෙමින් ජීවිතයත්, මරණයත් අතර දැඩි සටනක් ගෙන යන අතර, තම පවුලේ උදවියද, ජර්මානුවන් අතින් ඝාතනයට ලක්වනු දකිමින්, එලෙසම තම පවුලේ උදවිය එකිනෙකාගෙන් වෙන් කර වෙන වෙන කඳවුරුවලට දැමීමත්, පසුව ඔවුනට සිදුවනදේ ගැනවත් දැන ගැන්මට නොලැබීමත් අතර ඇතිවන උග්‍ර මානසික ගැටුමත් ඒ අතරෙදී විලැඩිස්ලෝ තම සබඳතා තුළින් කඳවුරෙන් පැන ගොස් සැඟවී සිටින ජීවිතයත්, අවසානයෙදී ඔහුගේ පියානෝ වාදනය නිසාම, ජර්මන් නාසි උසස් නිලධාරියකු එම වාදනයන්ට වශි වී, ඔහුට රහසින් යුද්ධය නිම වන තෙක් රැකවරණය ලබා දීම, වැනි සත්‍ය සිදුවීම් සමුදාය මත ය, රෝමන් පොලොනිස්කි ගේ 'ද පියානිස්ට්' නම් වූ විශිෂ්ට චිත්‍රපටය නිර්මාණය වූයේ.
විශාල බ්‍රැන්ඩ් නම් නොමැති, එහෙත් අතී දක්ෂ නළු නිළි කැලක් සමඟ 'ද පියානිස්ට්' නිර්මාණය කර ඇත. විලැඩිස්ලෝ ස්පීල්මන් නම් වූ මේ භාරදූර චරිතයට පොලොනිස්කි තෝරා ගත්තේ ඒඩ්‍රියන් බ්‍රෝඩි යන ඇමෙරිකානු නළුවා ය. ඔහු 'කිං ඔෆ් ද හිල්', ''කැඩිලැක් රෙකෝඩ්ස්' 'ප්‍රිඩේටර්ස්', 'මිඩ්නයිට් ඉන් පැරිස්', 'ද ෆ්‍රෙන්ච් ඩිස්පැච්' වැනි චිත්‍රපටවල රඟපා විශිෂ්ටත්වයට පත් වූ නළුවෙකි.
චරිතය තුළදී එහී , සිනමා තාක්ෂණීක රංගනය අභිබවා ගොස්, ස්වභාවික මානුෂික බව හා ඒ තුළ ඇති රිද්මය ඒ ඒ දර්ශන මත සමතුලිනය කර ගැන්මේදි 'ඒඩ්‍රියන් බ්‍රෝඩ්' යන රංගන ශිල්පියා.'විලැඩිස්ලෝ' ගේ ජීවමාන වූ චරිතයට කෙරෙනුයේ අපිරිමිත සාධාරණයකි. රඟපෑම යනු මොන තරම් අපහසු කාර්යයක්ද යනු ,එලෙසම එය කෙළවරක් නොමැති දුරකට අධ්‍යයනය කළ යුත්තක් බවත්, විශේෂයෙන්ම ජීවත්ව සිටින චරිතයකට, හා ඔහුගේ අත්දැකීම්වලට නිසි ලෙස අනුගත වීම දිගු අධ්‍යයනයකින් තොරව කළ නොහැකි බව ඒඩ්‍රියන් බ්‍රෝඩි යන නළුවා මෙම රංගනය තුළින් අපට පසක් කර දෙයි.
දෙවන මහා ලෝක යුද්ධය තුළදී ජර්මානු නාසි හමුදාව ජෙවිස් ජාතිකයන් මිලියන 6 ක් පමණ මරා දැමීය. ඇතැම් අය වෙඩි තබා මරා දැමවද, කණ්ඩායම් වශයෙන් සමුහ ඝාතනය කළේ නොයෙකුත් වධ හිංසා පමුණුවාය. ඇතැම් අවස්ථාවල කණ්ඩායම් වශයෙන් විශාල ශාලාවකට රැස් කර, මුළු ශාලාවම වසා දමා, විස ගෑස්, එම ශාලාව තුළට යවා සියල්ලටම වධ වේදනා විඳ මරණයට පත් කළේය. නාසින් ජෙවිස් ජාතික යන් අතර කෙතරම් කුඩා ළමයින් සිටියද, ඔවුන්ද කිසිදු තෙත් ගතියක් නොපෙන්වා මරා දැමීය.
'ද පියානිස්ට්' චිත්‍රපටය තුළ හිට්ලර්, ජෙවිස් ජාතිකයන්ට කෙතරම් වෛර කළාද යනුවෙන්
පෙන්වූයේ, ඉතාමත් සාමකාමිව ජීවත්ව සිටි ජෙවිස් ජාතිකයන්, යුද්ධයේ විරුද්ධවාදී කොටස් කරුවන් වශයෙන් සලකා ඔවුන්ට දුන් වධ හිංසා දුටු විටය .
කෙසේ වෙතත්, 'ද පියානිස්ට්' චිත්‍රපටය පුරාවටම විලැඩිස්ලෝ ස්පිල්මන් තම ජීවිතය හා තමන්ගේ පවුලේ අය මේ දරුණු නාසි හමුදාවෙන් බේරා ගැන්මට දරන උත්සාහයත්, එය හැම අවස්ථාවකම ව්‍යර්ථ වන අන්දමත්, පෙන්වන්නෙ ප්‍රේක්ෂකයන් අනුකම්පා සහගත කුතුහලයක් ඇති කරමිනි. අවසානයේ අහඹු ලෙස හමුවෙන නාසි හමුදා ප්‍රධානියා වූ 'විල්ම් හොසෙන්ෆිල්ඩ්' නිසා විලැඩිස්ලෝ ගේ ජීවිතය බේරෙන්නේ ඔහු ' පෝලන්තයේ ප්‍රචලිත පියානෝ වාදකයා ලෙස හඳුනා ගෙනය. පසුව විල්මි හොසෙන්ෆිල්ඩ්' නම් වූ ඒ නාසි හමුදා ප්‍රධානියා විලැඩ්ස්ලෝව තම නිවෙසට රහසින් රැගෙන යන්නේ ඔහු සතු ග්‍රැන්ඩ් පියානෝව විලැඩ්ස්ලෝට කියා වාදනය කිරීමටය. විලැඩ්ස්ලෝද, චොපින්ගේ ' 'Ballade No 1 in G minor' පියානෝ කාණ්ඩය වාදනය කළේය. එතැන් සිට හමුදා ප්‍රධානියා විලැඩ්ස්ලෝව තම නිවසේ සඟවා තබාගෙන ඔහුට කෑම බීම සහ සියලු පහසුකම් සැපයූවේ තමා අයත් හිට්ලර්ගේ නාසි හමුදාවට ම කරන ද්‍රෝහි කමක් බව දැන දැනය. එහෙත් එම අවස්ථාවේදි ඔහු සිතුවේ තමන්ගේ ප්‍රතිවිරුද්ධ ජෙවිස් ජාතිකයකු වුවද විලැඩ්ස්ලෝ වැනි අති දක්ෂ පියානො වාදකයා, ලොවට තව දුරටත් අවශ්‍ය නිසා, ඔහු රැකගැනීමටය.
යුද්ධය නිම වූ පසු ජෙවිස් ජාතිකයන්ට තමන් ගත කළ සාමාන්‍ය ජීවිතයට එළැඹීමට හැකි විය. නාසි හමුදා භටයන් සිර ගත විය. විලැඩ්ස්ලෝට උදව් කළ විල්මි හොසෙන්ෆිල්ඩ් නාසි හමුදා නිලධාරියාද, එම සිර කඳවුරේ රැඳවුම් කරුවකු විය. විලැඩ්ස්ලෝ ඔහු සොයා කඳවුරක් කඳවුරක් පාසා ගියද, විල්මි හමුදා නිලධාරියා සොයා ගත නොහැකි විය. එක් අවස්ථාවක විලැඩ්ස්ලෝ, එම කඳවුර සොයාගෙන එතැනට ගියද, ඊට පෙරදින, ඔවුන් කඳවුර එතැනින් ඉවත් කර ගෙන තිබූ නිසා, ඔවුන් දෙදෙනාට හමුවීමට නොලැබුණි.
'ද පියානිස්ට්' චිත්‍රපටය පුරාවටම මෙවැනි හද සසල කරවන සිදුවීම් රාශියක් තිබුණි. චිත්‍රපටය නරඹන විට ප්‍රේක්ෂකයා පවා එම යුද්ධ පසුබිම තුළ ජීවත් වන බවකි දැනුණේ. එතරම් තාත්විකව, එතරම් යථාර්ථවාදිවය, රෝමන් පොලොනිස්කි මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබුණේ.
75 වැනි ඔස්කාර් ඇකඩමි සම්මාන උළෙලේදී, හොඳම නළුවාට හිමි සම්මානය හිමි වූයේ 'ද පියානිස්ට්' චිත්‍රපටයේ විලැඩිස්ලෝ ස්පිල්මන්ගේ චරිතය රඟපෑ 'ඒඩ්‍රියන් බ්‍රෝඩිට'ය. එය නම් ලැබිය යුතුම සම්මානයක් විය. එලෙසම හොඳම තිරනාටකය ලෙස සම්මානනීය වූයේද, 'ද පියානිස්ට්' චිත්‍රපටයේ තිරනාටකය ලියූ රොනල්ඩ් හාවුඩ්ට ය. එම වසරේ හොඳම අධ්‍යක්ෂක සම්මානයද 'ද පියානිස්ට්' දිනාගත්තේය. ඒ රෝමන් පොලොනිස්කි විසින් ය. 'ද පියානිස්ට්' හොඳම චිත්‍රපටයට නිර්දේශ වී සිටියද, එම වසරේ පෙන්වූ 'චිකාගෝ' චිත්‍රපටය 'ද පියානිස්ට්' අභිබවා ගියේ විනිශ්චය මණ්ඩලයේ එක ලකුණකිනි.
'ද පියානිස්ට්' ලොව හැම සිනමා ප්‍රේක්ෂකයෙකුම නැරඹිය යුතුම චිත්‍රපටයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd