

සරල ගීයක මෙන් නොව චිත්‍රපට පසුබිම් ගී ගායනයෙහිදී තම අනන්‍යතාව පවත්වා ගැන්ම ඉතා අසීරු කටයුත්තකි. එහෙත් සෙනසුරාද සවස තම හඬ පමණක් මෙලොව ඉතුරු කොට සමුගත් නන්දා මාලිනිය චිත්‍රපට පසුබිම් ගීයෙහි දී තම ගායන අනන්‍යතාව රැක ගත් අල්පයක් වූ ගායිකාවක ලෙස ඉතිහාස ගත වූවාය. ඇය ගේ ගීතයෙහි දේශපාලනය පිළිබඳ පැසසුම්, අවලාද ආදියෙහි එරෙමින් පවතින සමයක ඇය චිත්‍රපට ගීතයට අවතීර්ණය වූ මුල් දශකයේ ගීත අතරින් පමණක් සලකමින් උඩු ගං බලා යෑමේ ඇයගේ ප්‍රයත්නය සැලකීම මෙම සටහනෙහි අරමුණයි.
ඉන්දියානු කලාපයේ චිත්‍රපට පසුබිම් ගායනයේ දී ගායකයා හෝ ගායිකාව හඬ නළුවකුගේ කාර්යය ඉටු කරන්නෙකි. චිත්‍රපට රූප රාමුවෙහි දිගහැරෙන නළුවාගේ හෝ නිළියගේ රංග විලාසයට හා අවස්ථාවට අත්‍යන්තයෙන් ගැළපෙන දෙබස් කැවීමක් හා සමාන කාර්යක පසුබිම් ගායකයා හෝ ගායිකාව යෙදිය යුතුය. ඉතිහාසය ආරම්භයේදී චිත්‍රපට පසුබිම් ගායනයට යොදා ගැනුණේ නළු නිළියන්මය. ඒහෙත් චිත්‍රපට පසුබිම් ගායනය යනු එයට වඩා වෙනත් කර්තව්‍යයක් වූ බැවින් ගායක නළුවකු වුව ද ඒ වෙනුවට පසුබිම් ගායකයකු යොදා ගැනිණ. පාර්සි නාට්‍ය හරහා බිහිවුණු ඉන්දියානු චිත්‍රපට සිය භාව ප්‍රකාශනයේ වැඩි ඉඩක් චිත්‍රපට ගීතයට යොදා ගැනිණ. සංයෝගයේ මෙන්ම වියෝගයේ භාවයන් මුදා හරින ලද්දේ පසුබිම් ගීයෙනි. එබැවින් නළුවාගේ හෝ නිළියගේ හැඟීම් ප්‍රකාශ කිරිමේ හඬ ගායකයා හෝ ගායිකාව සතු විය.
මෙරට චිත්‍රපට පසුබිම් ගී ගායනයට නන්දා මාලනිය සම්මාදම් වනුයේ 1959 වසරේ දී පුරුෂ රත්නය චිත්‍රපටය උදෙසාය. ඒ අත්වැල් ගායනයෙනි. ඇය ගායනයෙන් සම්මාදම් වන ගීයෙහි ප්‍රධාන ගායිකාවන් දෙදෙනාම ඒ වන විට මෙරට චිත්‍රපට පසුබිම් ගී ගායනයෙහි නම් දැරූ ජී.ඒස්.බී.රාණි පෙරේරා හා ඉන්ද්‍රානි විජයබණ්ඩාරයන්ය. දෙවනුව ඇය දායක වනුයේ ළමා ගායිකාවක් හැටියටය. සුධර්මා සිල්වා සහ විජිත කුසුම් ලියනගේ යන දෙදෙනාම ඇය හා සමාන ව එකල ළමා පිටියේ ජනප්‍රිය ගායිකාවන්ය. නන්දා සිනමාවේ සිය මුද්‍රාව තබා ස්ථාවරත්වයට පත්වනුයේ රන්මුතුදූව චිත්‍රපටය උදෙසාය. එම වසරේදී සෙසු ගායිකාවන් අබිබවා නන්දා මාලිනි සරසවිය සම්මානය දිනා ගත්තාය. එමම වසරේ සරසවිය සම්මාන ප්‍රදානයෙහි සංගීත සම්මාන පිරිනැමීම මෙරට චිත්‍රපට සංගීතය පිළිබඳ විශේෂ අවස්ථාවක් වෙයි. චිත්‍රපට ගී පද රචනය ගායකයා හා ගායිකාව යන සම්මාන ත්‍රිත්වයම රන්මුතුදූව උදෙසා පිරි නැමුණ ද හොඳම සංගීතය සඳහා සම්මානය පිරි නැමෙනුයේ රන්මුතුදූවට නොව කිසිදු ගීතයක් නොමැති ගම් පෙරළියටය. අද ද ඇතැම් විනිශ්චය මණ්ඩල චිත්‍රපට පසුබිම් සංගීතයේදී සලකා බලනුයේ ගී තනු විනා චිත්‍රපටය හා බැඳු සංගීතය කෙරෙහි නොවන බව සුප්‍රකට රහසකි. එබැවින් එතරම් දීර්ඝ ඉතිහාසයකදී නන්දා මාලිනිය සම්මාන දිනා ගැන්ම එවර එම සම්මානය ඉතා ඉහළ ප්‍රමිතියක් සම්මානයට අත් කරදීමට ද සමත් වූ කාරණයකි.
ඇයගේ මුල්ම චිත්‍රපට ගායනා උදෙසා සංගීතයෙන් දායක වනුයේ ආර්.මුත්තුසාමි වුව ද ඇයගේ අනන්‍යතාව ගොඩ නැගීමෙහිලා මහෝපකාරි වනුයේ ඩබ්ලිව්. ඩී.අමරදේවයන්ගේ සංගීත නිර්මාණයන්ය.ඒ රන්මුතුදූව චිත්‍රපටයෙනි. එසේ වුව ද අමරදේවයන් සංගීත නිර්මාණය කළ හැම චිත්‍රපටයකටම නන්දා මාලිනියට දායකවන්නට ඉඩ ලැබුණේ නැත.
හැටේ දශකය ආරම්භයේ චිත්‍රපට පසුබිම් ගායනයෙහි තම මුල්ම ගායනයෙන්ම නන්දා මාලනිය සිය ස්ථාවරය වගා කර ගත්ත ද එම දශකයෙහි චිත්‍රපට පසුබිම් ගායනයෙහි වැජඹෙනුයේ ලතා වල්පොල, සුජාතා අත්තනායක හා ඇන්ජලින් ගුණතිලක යන ත්‍රිමූර්තියයි. මෙම විශිෂ්ට ත්‍රිමුර්තිය එකිනෙකා අබිබවමින් මෙරට චිත්‍රපට පසුබිම් ගී ගායනයෙහි තම ස්ථාවරත්වය හා කිරුළ රැක ගන්නට සමත්විය.එයට සමීප වන්නට හෝ කිසිවකුට හැකියාවක් තිබුණේ නැත. මේ වන විට තව දුරටත් ඉන්දියානු ගායක ගායිකාවන්ගේ දායකත්වයක් චිත්‍රපට පසුබිම් ගායනයෙහි සිදුවූයේ නැත. ඉන්දියානු ශබ්දාගාරයන්‌ගේ සිංහල චිත්‍රපට ගී පටි ගත වූයේ ද නැත. එහෙත් ඉන්දියානු ගී තනු අනුව තැනුණු සිංහල චිත්‍රපට ගී ජනප්‍රියත්වයෙන් අඩු වූයේ නැත. ස්වතන්ත්‍ර ගී සහිත චිත්‍රපට තැනුණ ද ඉන්දියානු තනු අනුව තැනුණ ගීයෙහි අඩුවක් වූයේ ද නැත. නන්දා මාලිනිය සිය ජීවිතයේ පළමු විප්ලවය කරනුයේ මෙම පසුබිමෙහිය. නැතහොත් තම අනන්‍යතාව රඳවා ගැනීමය. වෘත්තිය ගායිකාවකට එය කිසිසේත් පහසු නැත. නන්දා මාලනිය එය කළාය.
ඇය රන්මුතුදූව තිර ගත වුණු 1962 වසරේ සිට 1971 දක්වා මුල් දශකය ඇතුළත ගායනා කරනු ලබනුයේ රන්මුතුදූව, පටාචාරා, සාරවිට, වෙසතුරු සිරිත, මනමාලයෝ, සැඩොල් කඳුළු,රෑන ගිරව්, දහසක් සිතුවිලි,ආදරවන්තයෝ, නාරිලතා, හතර පෙරළිය. මී මැස්සෝ, බිනරමලී, හන්තානේ කතාව, බක්මහ දීගේ, පේනව නේද?, සීයේ නෝට්ටුව සහ සමනල කුමරියෝ යන චිත්‍රපට පහළොවකට පමණකි. එහි ද සංඛ්‍යාත්මකව විසි තුනකි. ඒ අතරින් චිත්‍රපට හතරක්ම හොඳම ගායිකාවට හිමි සරසවිය සම්මානය ඇයට දිනා දුන්නාය. යුගයේ ජනප්‍රිය හැම නිළියක් වෙනුවෙන්ම පාහේ ඇය ගී ගැයුවාය. ජීවරාණිගෙන් ආරම්භ කරන මෙම දශකයේ ඇය ජනප්‍රිය නිළියන් අතරින් සන්ධ්‍යා කුමාරි,සෝබනී අමරසිංහ, විජිත මල්ලිකා, මාලීනි ෆොන්සේකා, අනුලා කරුණාතිලක, ස්වර්ණා මල්ලවආරච්චි, ස්වර්ණා කහවිට, අයිරාංගනී සේරසිංහ, ශ්‍රියාණි අමරසේන, ආදින් සඳහා තම හඬ මුසු කළාය.
. චිත්‍රපට ගී ඉන්දියානු අනුකරණය නොවිම ආරම්භ වනුයේ හැත්තෑව දශකයේ මැද එබඳු ගී ප්‍රචාරය ගුවන් විදුලිය අත්හිටුවීම සමඟය. එමෙන්ම චිත්‍රපට සංස්ථාව ප්‍රදර්ශන ඒකාධිකාරය ආරම්භ කළ පසු ණය පහසුකම් සැපයීමේදී උක්ත කාරණය ගැන ද සැලකීය. එය මෙරට ස්වතන්ත්‍ර චිත්‍රපට ගීතය කෙරෙහි සෘජුව බලපෑවේය. නන්දා මාලිනිය ඒ වන විට ද හින්දි ගී අනුකරණ ගායනයෙහි නොයෙදුණාය. එමෙන්ම ඇය පදමාලාව කෙරෙහි ද උනන්දුවූ බවක් මේ ගී පිරික්සීමේදී පෙනී යයි. මුල් දශකයේ එලෙස ඇය වෙනුවෙන් තැනුණු ගී තනු නිර්මාණකරුවන් අතර අමරදේව, ලයනල් අල්ගම, ෂෙල්ටන් ප්‍රේමරත්න, ජයතිස්ස අලහකොන්, ප්‍රේමසිරි කේමදාස ආදීහු කැපී පෙනෙති.ඔවුන් චිත්‍රපට ගී යේ දී පවා නන්දා මාලිනියගේ හඬ උපයොගි කරගෙන අත්හදා බැලීමක යෙදුන බවක් පෙනී යන්නකි.
මේ අතරින් මනමාලයෝ චිත්‍රපටයේ එන සුළලිත සුළඟේ ගීතය පමණක් වුව සමකාලින චිත්‍රපට ගී හා සැසදිමේදී සෑහීමකට පත්විය හැකි උදාහරණයකි. ඇයට ගී ලියූ රචකයන් අතර ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මර්සලින් ජයකොඩි පියනම, අරිසෙන් අහුබුදු, මඩවල එස්.රත්නායක, මහගම සේකර, ධර්මසිරි ගමගේ, හෙනරි ජයසේන, සුදාස් මාස්කෝරාල,මුදලිනායක සෝමරත්න, සිරිපාල තිලකසේන, සුගතපාල සෙනරත් යාපා, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, කැපී පෙනෙති.
මෙම දශකය ඇතුළත සමකාලින චිත්‍රපට ගීතයෙහි තම අනන්‍යතාව පවත්වා ගෙන යාමෙන් හා ජීවන අරගලයට මුහුණ දෙමින් ඇය දැක්වූ අභියෝගාත්මක කාන්තාව නන්දා මාලිනියගේ ජීවිතය පුරා පවතින ලකුණක් සේ හැඟෙන්නකි. ඇය පිළිබද ලියන්නට ඇති දේ මතුවට ඉතුරු කොට ඇය ගැන ලියන මේ සටහන මෙලෙස අවසන් කළ යුතුය. මෙරට උඩු ගං බලා ගිය ගායිකාවක් වෙි නම් ඒ නන්දා මාලිනිය යි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd