(අංජුල මහික වීරරත්න)

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන සහ වාද්‍ය ශිල්පී රාජු බණ්ඩාර මහතාගේ ආදාහන කටයුතු   බොරැල්ල සුසාන භූමියේදී හෙට(17) සවස සිදු කිරීමට නියමිතය.

දේහය බොරැල්ල "ජයරත්න" මල් ශාලවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇත.කලක් රෝගීව විසූ රාජු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වන විට 65 වන වියෙහි පසු විය.

මා ආදරෙයි මුළු ලොවටත් වඩා,කවුදෝ මගෙ ලොවේ සැරි සැරුවේ, රන් සීනු නාද දේ, හද වේදනා මෙසේ,රඟදෙන පරණ තාල,ඔය රූ සෝබා,රෝස මල් කුමාරි,කඳුලේ තනිවී,කඳුලැලි දෑසේ නෑ රඳවා,හද ගී පොතේ පිටුවක් ඉරා ආදී ජනප්‍රිය ගීත රැසක් ගායනා කරමින් රසික ජන හද දිනාගත් රාජු බණ්ඩාර මහතා වාදන ශිල්පියකු ලෙසද අපූර්ව දස්කම් පෙන්වීය.

අවස්ථා කිහිපයකදී ටෙලි නාට්‍ය රංගන වේදියකු ලෙසද ප්‍රතිභාවක් දැක්වූ රාජු බණ්ඩාර මහතා රූපවාහිනී රියැලිටි වැඩසටහන්  විනිශ්චයකාරවරයකු ලෙස ද ජනාදරය දිනාගෙන සිටියේය.

කලා පවුලක සාමාජිකයකු වන රාජු බණ්ඩාර මහතා ප්‍රවීණ ගිටාර් වාදන ශිල්පී මහින්ද බණ්ඩාර මහතාගේ සොයුරාය.

80 දශකයේදී කෑගල්ල ප්‍රදේශයෙන් කලා ලොවට පිවිසි ඔහු 90 දශකයේදී ඉතා ජනප්‍රිය තලයේ ගායකයෙක් ලෙස ප්‍රසිද්ධියට පත් විය.