IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


මාතලේ සිසුවෙක් ඩෙංගු රකුසාට බිලි

මාතලේ, නාඋල ප‍්‍රදේශයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ඩෙංගු මාරයාට බිලිවී එම සිද්ධියේ රශ්මිය පහව යන්නටත් මත්තෙන් මාතලේ නගරයේ පාසලක උසස් පෙළ හදාරණ ශිෂ්‍යයකු ඩෙංගු මාරයාට බිලිවීමේ පුවතක් පාසල් ළමුන් අතර පැතිර ගියේ නගරය සහ තදාසන්න ප‍්‍රදේශ සසල කරමිණි. ඒ තරමටම මාතලේ නගරයේ සහ තදාසන්න ප‍්‍රදේශවල පාසල් ළමුන්ට ඩෙංගු උණ වැළඳී රෝහල්වල ප‍්‍රතිකාර ලබති.  


මාතලේ සිංහල බෞද්ධ විද්‍යාලයේ උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලැබූ රුවන් චාමර විජේසිංහ නමැති 18 හැවිරිදි ශිෂ්‍යයා පදිංචිවී සිටියේ මාතලේ හරස්ගම අගලවත්ත පාරේ නිවසකය. වාහන රියැදුරෙකු වූ එච්.එම්.ගාමිණි විජේසිංහ සහ එල්.ජී.අනුලාවතී දෙපළගේ එකම පිරිමි දරුවා වූ චාමරට බාල නැගණියන් දෙදෙනෙක් වෙති.  


චාමර පසුගිය 19 වැනිදා නකල්ස් හෙවත් දුම්බර කඳුවැටිය නැරඹීමට ගියේ යහළුවන් පිරිසක් සමඟිනි. දුම්බර වන පෙතේ තද සීතල පහස ලබන්නට චාමරට පුළුවන්කමක් නොලැබුණා විය හැක.  


ඇඟට දැනෙන තෙහෙට්ටු ගතිය නිසා ටිකක් හෝ විවේක ගන්න ඕනෑ කියා චාමර යාළුවන්ට කීවේය. යහළුවන් තවදුරටත් වන පෙතේ පහස අතහැර ආපසු සිය නිවෙස් බලා ඒමට පිටත් වූහ.  


චාමරගේ කොන්දේ වේදනාව වැඩිවෙන්න ගත්තේය. යහළුවන් පිරිස විනෝද චාරිකාව හමාර කළේ චාමර මාතලේ දිසා මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවය..  


දින දෙකක කාලයක් රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිට චාමර අනතුරුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට රෝහල් බලධාරීහු කටයුතු කළහ. චාමරගේ පියාට සහ මවට කරකියා ගැනීමට යමක් නොමැතිව අසරණ වූහ. චාමරගේ නැගණියන් දෙදෙනා බලාගත් අත බලා සිටියහ. පාසලේ ගුරුවරුන් හා සියලූ යහළු යෙහෙළියන් චාමරගේ ලෙඩ දුක් බැලීමට වැළ නොකැඩී රෝහලට එන්න ගත්හ.   

දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලැබූ චාමර ඉකුත් 21 වැනිදා ඩෙංගු රෝගයට ගොදුරුව අවසන් ගමන් ගියේ සිය ආදරණීය මව, පියා, නැගණියන් දෙදෙනා ඇතුළු පාසලේ මිතුරු, මිතුරියන් සහ ඥාතීන් හැමෝම හඬවමිණි.   


චාමරගේ නිසල දේහය නිවසට ගෙන එනවිට මව සිහි මුර්ජා වූවාය. පියා සහ නැගණියන් දෙදෙනා විලාප නගන්න ගත්හ. ගුවනට මුසු වූ ඒ විලාපයෙන් මුළු ප‍්‍රදේශයක් සසල කළේය. සුදු වතින් සැරසුණු මාතලේ බෞද්ධ මහා විද්‍යාලය දැඩි වේදනාවෙන් එහි පසු විය. සමහර සිසුන් එකිනෙකා බදාගෙන ඉකි බිඳ බිඳ හඬන්න වූහ.  

 
‘‘අනේ මගේ පුතා නැඟිටින්න. අපිට හිටපු එකම පුතා, පුතා විතරනේ. පුතා බලන්න යාළුවෝ ඇවිත් ඉන්නවා. ඇයි පුතේ අපිට මෙහෙම දුකක් දුන්නේ. පුතාට මෙහෙම දෙයක් වෙයි කියලා අපි හීනයකින්වත් හිතුවේ නෑ’’ යැයි කියමින් චාමරගේ මව විලාප නඟන්න වූවාය. ඇයට සිය වේදනාව දරා ගත නොහැකිව පොළොවේ හැපෙමින් විලාප නැඟුවාය.  

 
චාමරගේ පියාවන එච්.එම්. ගාමිණි විජේසිංහ මහතා කඳුළු සලමින් මෙසේ පැවසුවේය. ‘‘අනේ මහත්තයෝ. මට හිටපු එකම පුතා මෙයා පමණයි. ලොකු පුතා නංගිලා දෙන්නා තනිකර ගියා. මමයි බිරිඳයි ලොකු පුතා ඇහැක් වගේ රැක්කේ, සා.පෙළ දක්වා ඉගෙන ගත්තේ මාතලේ විජය විද්‍යාලයේ, උසස් පෙළ හදාරන්න මාතලේ සිංහල බෞද්ධ විද්‍යාලයට ඇතුළත් වුණා. මෙයා ඉස්කෝලේ වැඩ හොඳට කළා. ඉතාම තැන්පත් ළමයෙන් මෙයා. චාමර පුතා වැඩියෙන්ම හිටියේ අම්මාත් එක්ක’’  


‘‘යාළුවෝ කට්ටියක් එක්ක පුතා නකල්ස් කන්ද බලන්න ගිහිං තිබෙනවා. කන්ද මුදුනේ දී පුතාට කොන්දේ අමාරුව හැඳිලා. පුතාව මාතලේ රෝහලට ඇතුළත් කර තිබෙනවා. දින දෙකකට පස්සේ පුතාට හොඳටම උණ හැඳිලා. දැඩි සත්කාර ඒකකයටත් ඇතුළත් කරලා. පුතාට ඩෙංගු හැඳිලා කියා ආරංචි වුණා. අපේ ගමේ කාටවත් ඩෙංගු උණ හැඳිලා නැහැ.’’

  

මියගිය රුවන් චාමර විජේසිංහ ශිෂ්‍යයා ඉගෙනුම ලබන මාතලේ සිංහල බෞද්ධ විද්‍යාලයේ අධ්‍යක්ෂ කථිකාචාර්ය ගල්කුලමේ උපරතන නාහිමියෝ අප සමඟ මෙසේ පැවසූහ.  


‘‘රුවන් චාමර ශිෂ්‍යයා 2016 වසරේ අපේ පාසලේ 13 වැනි ශ්‍රේණියට ඇතුළත් වුණා. ඔහු කලා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටිමට සිටියේ. චාමර අධ්‍යාපනයටත් ඉතාම දක්ෂයි. විශේෂයෙන් ක‍්‍රීඩා අංශයෙන් කුසලතා දැක් වූ ශිෂයෙක්. පාසල මඟින් කලාප තරගවලට ඉදිරිපත්කොට මොහු කුසලතා දක්වා තිබෙනවා. පාසලේ ළමුන් අතරත් ජනප‍්‍රිය ශිෂ්‍යයෙක්. ගුරුවරුන්ගේ හිත දිනාගෙන අධ්‍යාපන කටයුතුවල නියැළුණු ශිෂ්‍යයෙක්.   


‘‘චාමරට ඩෙංගු උණ වැළඳුණා කියලා දැනගත්තට පස්සේ මම බොහෝම වේදනාවට පත් වුණා. පාසලේ ළමුන් හා ගුරුවරු චාමර බලන්න නිතර රෝහලට ගියා. චාමර මියගිය ආරංචියට ළමුන් බොහෝ දෙනෙක් වැළපෙන්න ගත්තා. අපේ පාසලට චාමරගේ වියෝවීම ලොකු අඩුපාඩුවක්. චාමරගේ අවසන් කටයුතු කිරීමට අපේ පාසලේ ගුරුවරු සහ ළමුන් දැඩි කැපවීමක යෙදුණා. මතුභවයේදී රුවන් චාමරට මෙවැනි අකල් මරණයක් නොවේවායි මම එක හිතින් ප‍්‍රාර්ථනා කරනවා.’’  


මාතලේ දිසා මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩී.එල්. වෛද්‍යරත්න මහතා මෙම අයගේ මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඩෙංගු උණ වැළඳී මෙම අය මියගොස් ඇති බව පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවේ සඳහන් කොට තිබුණි.   

 

 

මාතලේ ඇම්.ඩබ්.සෝමරත්න 

 



අදහස් (0)

මාතලේ සිසුවෙක් ඩෙංගු රකුසාට බිලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 893 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 993 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site