මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම එම ධුරයෙන් ඉවත් කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි ජාතික ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ පැවසීය.

ඔහු එම ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය අභ්‍යන්තරයේ කිසිදු සාකච්ඡාවක් සිදු කර නැති බව ද මන්ත්‍රීවරයා කීවේ ය.

මහ භාණ්ඩාගාරය විසින් ඔස්ට්‍රේලියාවට ගෙවන ලද ඩොලර් මිලියන 2.5 ක මුදලක් පරිගණක හැකරුන් කණ්ඩායමක් විසින් අත්පත් කරගනු ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා ධුරයෙන් ඉවත් කළ යුතු බවට විපක්ෂ හා වෙනත් කණ්ඩායම්වලින් ඉදිරිපත් වෙන ඉල්ලීම සම්බන්ධ රජයේ ස්ථාවරය විමසා සිටි අවස්ථාවේ හෙතෙම මේ බව සඳහන් කළේය.

ලේකම්වරයා ධුරයෙන් ඉවත් කළ යුතු බවට ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව ඉල්ලීම් නොකරන්නේ දැයි කළ විමසුමට පිළිතුරු වශයෙන් ජාජබ මහ ලේකම්වරයා ප්‍රකාශ කළේ එවැනි ඉල්ලීම් ඉදිරිපත් ව නැති බවය.

කෙසේ වුවද  භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම එම තනතුරින් ඉවත් කරන ලෙස සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම විවිධ බහුජන සංවිධාන දිගින් දිගටම ඉල්ලා සිටීම ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ල කර ඇතැයි වාර්තා වේ.

මීට අමතරව මුදල් අමාත්‍ය ධුරය හොබවන ජනාධිපතිවරයා ද මේ සිද්ධියට වගකිවයුතු හෙයින් ඔහුද එම අමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතු බවට විපක්ෂයේ දේශපාලනඥයන් මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු ප්‍රකාශ කරති. විපක්ෂයේ මන්ත්‍රීවරු ලබන සතියේ පාර්ලිමේන්තුවේදීද දිගින් දිගටම මෙම ඉල්ලීම කිරීමට සූදානම් වෙති.

මේ අතර ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පෙන්වා දෙන්නේ ඉහත සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීමට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මුදල් ලේකම්වරයාට මාසයක කාලයක් ලබාදීම නොකළ යුතුව තිබූ බවයි.

ඒ සඳහා සතියක කාලයක් ප්‍රමාණවත් බවද ඔහු පෙන්වා දෙයි.

ගෙවීම් වාර දහයකදී මෙම වංචාව සිදුව ඇති හෙයින් තවත් මුදල් මේ ආකාරයට අහිමිවූවා දැයි සැකයක් මතුවන බව මෛත්‍රී ගුණරත්න පවසයි.

ඔස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක ණය මුදලක් වංචනිකයන් පිරිසක් අතට පත් කිරීමේ සිද්ධියෙන් පසු භාණ්ඩාගාර ලේකම්වරයා කටයුතු කළ ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පටහැණි හෙයින් ඔහු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

මෙම කාරණය  හදිසි යෝජනාවක් ලෙස සලකා විභාග කර සුදුසු නිර්දේශ ලබාදීම සඳහා ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කරන ලෙසට ද ඔහු ඉල්ලා ඇත.

සිද්ධිය දැනගෙන පාර්ලිමේන්තුවට වාර්තා නොකිරීමෙන් භාණ්ඩාගාර ලේකම්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තු කාර්ය පටිපාටි රීති සහ ස්ථාවර නියෝග කඩ කර ඇතැයි පෙන්වා දෙන ජයසේකර ඔහු භාණ්ඩාගාර ලේකම් තනතුරට පත් වූ දා සිට කිසිම අවස්ථාවක රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පෙනී සිට නැතැයි ද ප්‍රකාශ කළේය.

ඔහුට පසුගිය 30 වැනිදා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට පැමිණෙන ලෙස දැනුම් දුන් අවස්ථාවේ දී නොපැමිණෙන බව මුලින් දැනුම් දී පසුව එහි පැමිණි නමුත් ඔහු එහිදී ඉදිරිපත් කළ කරුණු සත්‍ය සහ පිළිගත නොහැකි යැයි ද මන්ත්‍රීවරයා සඳහන් කරයි. මේ අනුව මෙම කරුණු සලකා බලන කල ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම් කළ හැකි වරදක් කර ඇතැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

  • උපුල් වික්‍රමසිංහ, සුජිත් හේවාජුලිගේ