(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා–කටාර් කම්කරු ඒකාබද්ධ කමිටුවේ නිත්‍ය රැස්වීම කටාර් රාජ්‍යයේ දෝහාහිදී පැවැත්විණි.

කටාර් රාජ්‍යයේ කම්කරු අමාත්‍යාංශයේ උපලේකම් H.E. Sheikha Najwa bint Abdulrahman Al Thani සහ විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහත්ම මහත්මීහු මෙම රැස්වීමේ සම-සභාපතිත්වය දැරූහ.

මෙහිදී ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර කම්කරු ක්ෂේත්‍රයේ පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම, සදාචාරාත්මක හා විනිවිදභාවයෙන් යුතු බඳවා ගැනීම් සහතික කිරීම සහ ශ්‍රමිකයන්ගේ සුබසාධනය හා ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

පුහුණු හා වෘත්තීයමය සුදුසුකම් සහිත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා කටාර් රාජ්‍යයේ වැඩි රැකියා අවස්ථා නිර්මාණය කිරීම, වෘත්තීය සුදුසුකම් අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම සහ දෙරටේ අදාල ආයතන අතර සම්බන්ධීකරණය වඩාත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණ.