(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරයා දෙලොවක් අතර අතරමං වී තිබෙන බව ඔහු අයවැය ‍ලේඛනය ඉදිරිපත් කළ ආකාරයෙන් නිරීක්ෂණය වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අයවැය විවාදය අමතමින් පැවසීය.

"බුදුන් වහන්සේගේ ධර්මය උපුටාගෙන ජනපති අයවැය කතාව කළා.රාජ්‍ය පාලනය ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ වැදගත්ම සූත්‍රය වන්නේ චක්‍කවත්ති සිහනාද සූත්‍රයයි.

රට පාලනය කරන ආකාරයත් බදු අය කරන ආකාරයත් සංවර්ධන කටයුතු කරන ආකාරයත් එහි සඳහන්ව තිබෙනවා.අකටයුතුකම් අසාධාරණකම් අයුක්තිය පීඩනය නිර්මාණය කරන අයවැයක් ලෙස අප මෙම අයවැය හඳුන්වා දෙනවා.ජනාධිපතිතුමා දෙලොවක් අතර අතරමං වෙලා වගේ කතා කරන ආකාරය අප නිරීක්ෂණය කළා.මොකද එතුමා දේශපාලන ජන්මයෙන්ම මාක්ස්වාදියෙක්.හැබැයි දැන් ඒ ප්‍රතිපත්ති අමතක කරලා නව ලිබරල්වාදී ප්‍රතිපත්තියේ කප්පිත්තෙක් බවට පත්වෙලා.එතුමා මෙලෙස දෙලොවක් අතර අතරමං වී සිටින මොහොතක සොහොන් පිටිවල නූල් ගැන කතා කළා.වස් කවි ගැන කතා කළා. ඒවා ගැන කලබල විය යුතු නැහැ.ඔය හූනියම් අපිටත් කරනවා ඇති.වැදගත්ම දේ චේතනාව පිරිසිදු කර ගැනීමයි.කුසලය අකුසලය අවබෝධ කරගෙන පිරිසිදු චේතනාවෙන් ක්‍රියාත්මක වන විට වස් කවි වලට බය වෙන්න දෙයක් නෑ.

මෙය පිරිසිදු චේතනාවෙන් අවංකව නිර්මාණය වෙච්ච අයවැයක් කියලා මම හිතන්නේ නැහැ.එදා ඔබලා එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එක්ව සරදියල්ගේ අයවැය කියා එකක් ඉදිරිපත් කළා .ඒ කියන්නේ පොහොසතුන්ගෙන් අරගෙන දුප්පතුන්ට දීම.අද ජේවීපී එක ජනාධිපති ධුරය, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය අරගෙන මිනිස්සුන්ගේ බඩට ගහන ජාතියේ මොහොමඩ් අලි අයවැයක් ඉදිරිපත් කරලා තියෙනවා.පොඩි මිනිහගේ බඩට ගහලා දුප්පතුන් කොන් කරලා පොහොසතුන්ට තැන ලබා දෙන අයවැයක් මේ.මේක අයවැයක් නෙමෙයි පච වැයක්.මේක ඇතුලෙ පචවැලක් තියෙනවා.අනේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය අමතක කරන්න එපා.මේ 159 දෙනා ආපහු ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය මුල ඉඳන් අගට කියවන්න.මේ අයවැයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉදිරිපත් කළ සිහින මරා දාලා.පැහැදිලිවම ආණ්ඩුව මාක්ස්වාදය පාගා දාලා නව ලිබරල් වාදය සිප වැළඳගෙන යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.