(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කතානායකවරයාගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලිපියක් බාර දෙමින් කතානායකට විරුද්ධව  මැතිසබේ  හිටපු  නියෝජ්‍ය ලේකම් අල්ලස් කොමිසමට දුන්  පැමිණිල්ල ගැන මහලේකම්වරියගෙන් ලිඛිතව  තොරතුරු විමසා ඇති බවත් අල්ලස් පරීක්ෂණයට මේ අාකාරයට  බාධා කිරීම සම්බන්ධයෙන්  ඔහුට එරෙහිව  පරීක්ෂණයක් කරන්නැයි තමා   එම කොමිසමෙන් ඉල්ලා සිටින බවත් සමගි  ජන බලවේගයේ  ගම්පහ දිස්ත්‍රික්  මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.

මෙහෙම කටයුතු කිරීමට  කතානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට කොහේ තියෙන බලයක්දැයි ඔහු ප්‍රශ්න කළේය.

කතානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා පාර්ලිමේන්තු  මහලේකම්වරයාට යැවූ බව පැවසෙන ලිපිය හර්ෂණ රාජ කරුණා මහතා විසින්  මෙහිදී  සභාගත කළේය.

හර්ෂණ රාජකරුණා මහතා මෙසේද පැවසීය

කතානායකතුමාගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ මීට දවස් දෙකකට කලින් මහලේකම්තුමියට ලිපියක් යවලා කතානායකට එරෙහි අල්ලස් පැමිණිල්ල ගැන තොරතුරු විමසනවා. සම්පූර්ණ විස්තර ඉල්ලනවා. අල්ලස් පනතට අනුව මේක බරපතළ දඬුවම් ලැබිය හැකි වරදක්. වහාම මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා අල්ලස් කොමිසමෙන් ඉල්ලනවා.  පරීක්ෂණ කටයුතු වලට බාධා කිරීමක් මෙයා කරන්නේ. අල්ලස් කොමිසමේ කටයුතු වලට බාධා කරන්න කතානායකතුමාගේ ලේකම්ට අයිතියක් නෑ. මොන නීතිය යටතේද එහෙම   කරන්නේ. කොහේ තියෙන බලයක්ද එයාට. කතානායක ඇතුළු  සියලු දෙනාම රටේ නීතියට යටත්. මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා අල්ලස් කොමිසමෙන් නැවතත්  ඉල්ලීමක් කරනවා.  ලිපිය මම සභාගත කරනවා.

අල්ලස් පනත අනුව පරීක්ෂණවලට බාධා කිරීම, ඒවාට අදාල ලියැ කියවිලි විනාශ කිරීම බරපතළ දඬුවම් ලැබිය හැකි වරදක්.  අධිකරණ ඇමතිතුමාත් එකඟ වෙනවා ඇති.