(යොහාන් භාසුර)

මන්නාරම් ද්‍රෝණියේ තෙල් බැරල් බිලියන 2 ක් හෙවත් බැරල් කෝටි 200 ක් සහ ගෑස් ඝනඅඩි ටි්‍රලියන 9 ක් හෙවත් කෝටි ලක්‍ෂ 9 ක් ඇතැයි  දැනට කර ඇති ගවේශනවල දත්ත අනුව විශ්වාස කරන බව ලංකා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය නීල් ද සිල්වා මහතා අද (25) පැවසීය.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් ගවේෂණ බලපත්‍ර පිරිනැමීමේ 2026 වසරේ වටය ආරම්භ කිරීම වෙනුවෙන් දෙමටගොඩ පිහිටි ලංකා ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේදී අද (25) පැවැති මාධ්‍ය හමුවේදී ආචාර්ය නීල් ද සිල්වා මහතා එසේ පැවසීය.

එම තෙල් සහ ගෑස් ප්‍රමාණයන් අනුව යම්කිසි ආකාරයකට එහි වාණිජමය වටිනාම ගණනය කළ හැකි වන බවත් ඇත්තවශයෙන්ම මෙම ඇස්තමේන්තුව වෙනස්විය හැකි අතර එම තෙල් සහ ගෑස් ප්‍රමාණය මීට වඩා වැඩිවිය හැකි බවත් ආචාර්ය නීල් ද සිල්වා මහතා කීය.

මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස් පිළිබඳව මීට පෙර කළ ගවේෂණණවලදී ස්වාභාවික වායු සහ ද්‍රව සොයාගැනීමට හැකිවීම තුළින් එහි ඛනිජ තෙල් පද්ධතියක් පවතින බවට තහවුරුවී ඇති අතර එය එම ද්‍රෝණියේ ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු පවතකින බවට නිගමනයකට ඒමට ඉතාම වැඳගත් සාක්‍ෂියක් බව කී ඒ මහතා පැවසුවේ සාපේක්‍ෂ වශයෙන් ගතවිට විශාල ප්‍රදේශයක් ආවරණය වන පරිදි ගවේෂණ කරනොමැති බැවින් නවීණ භූගවේෂණ තාක්‍ෂණික ක්‍රමවේද ඔස්සේ දත්ත එකතු කිරීමට සහ දත්ත අර්ථ නිරූපනයට ජාත්‍යන්තර සමාගම් සඳහා මෙය හොඳ අවස්ථාවක් බවත්ය.

බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසුවේ මෙම ගවේෂණයෙන් ලබාගන්නා ඛනිජ තෙල් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඉන්ධන ආනයනය යන ගැටලුවට හොඳ විසදුමක් වියහැකි බවත් එහිදී අතිරික්ත ඉන්ධන අසල්වැසි රටවල්වලට අපනයනය කර විදේශ විනිමය උපයාගැනීමට හැකියාව ඇති බවත්ය.

මෙම ආයෝජන කැඳවීමට මන්නාරම් ද්‍රෝණියේ වෙන්කර ඇති වර්ගකිලෝමීටර 34,000 කින් යුත් අක්වෙරළ බිම් කොටස් 4 ක් ඇතුළත් බවත් මීට පෙර සමාගම්වලට ලබාදීම නීතිමය ගැටලු ඇතිවූ ප්‍රදේශ මෙම වර්ගකිලෝමීටර 34,000 ක කොටසට ඇතුළත් නොවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව මෙම වසරේදී දළ වශයෙන් වර්ගකිලෝමීටර 33,964 ක් වන ප්‍රදේශය කොටස් 4 කට බලපත්‍ර ප්‍රදානය කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.  

මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා එහිදී පැවසුවේ  මෙම ඛනිජ තෙල් සහ ගෑස් ගවේශණය ආර්ථික වශයෙන් සාර්ථක වීම එක අංශයක් පමණක් වන අතර අනන්‍යතාව, තාක්‍ෂණය කැදවීම ඇතුළු සෙසු සම්බන්ධතා ආදි විශාල පරාසයක මෙම ව්‍යාපෘතිය දිවෙන බවත් මෙම ඉතාම සංකීර්ණ ක්‍රියාවලිය යාථාර්තයක් බවට පත්කරගැනීමේ සුවිශේෂි අවස්ථාව උදාවී ඇති බවත්ය.  

මෙම බලපත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාවේද වඩාත්ම හොඳම ආයෝජකයන් සොයාගැනීම වඩාත් ප්‍රමුඛතම කාර්ය බව ද අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ලංකා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය ධම්මික තන්ත්‍රිගොඩ සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)