(අංජුල මහික වීරරත්න)

ප්‍රාදේශීය පරිපාලනය තුළින් පුරවැසි - කේන්ද්‍රීය පාලනය සහ ඉදිරි පෙළ රාජ්‍ය සේවා සැපයීම ශක්තිමත් කිරීම සඳහා 'ජනරිද්ම' (SL - PULSE) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය පරිපාලන ව්‍යුහය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25 කින් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341 කින් සමන්විත වේ. එම ආයතනික පද්ධතිය මඟින් ප්‍රජා සංවර්ධනය, සමාජ ආරක්ෂණ, රජයේ ඉඩම් පරිපාලනය, ආපදා කළමනාකරණය, සිවිල් ලියාපදිංචිය, විශ්‍රාම වැටුප් සම්බන්ධ සේවා සහ වෙනත් පුරවැසි කේන්ද්‍රීය පරිපාලන කාර්යයන් ඇතුළු අත්‍යවශ්‍ය මහජන සේවාවන් රාශියක් සපයනු ලබයි.

එම සේවාවන් සඳහා ප්‍රවේශය, සේවාවන්හි ගුණාත්මක භාවය සහ කාර්යක්ෂමතාව පිළිබඳ පුරවැසි ප්‍රතිචාර සහ අත්දැකීම් ක්‍රමානුකූලව ලබා ගැනීමට සහ ඇගයීමට ලක් කිරීමට ජාතික යාන්ත්‍රණයක් වර්තමානයේ ස්ථාපිතව නොමැත. එබැවින්, ඒ සඳහා වන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය සේවා පුරවැසි ප්‍රතිචාර සමීක්ෂණය පැවැත්වීම පිණිස එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් ලබා දෙන මූල්‍ය හා තාක්ෂණික සහාය යටතේ 'ජනරිද්ම' (SL - PULSE) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ.

විවෘත මහජන සහභාගිත්වය, ප්‍රජා මූලික සමීක්ෂණය සහ අහඹු සමීක්ෂණය යන මට්ටම යටතේ පුරවැසි සහභාගිත්වය, පුරවැසියන්ට වගවීම, දූෂණ අවම කිරීම, රාජ්‍ය පරිපාලන කාර්ය පටිපාටි, රාජ්‍ය සේවා, පරිසරය සහ ඩිජිටල්කරණය යන ප්‍රධාන ක්ෂේත්‍ර හත (07) ආවරණය වන පරිදි පුරවැසියන් 13,000-15,000 අතර සංඛ්‍යාවක් සහභාගි කරවාගනිමින් අදාළ සමීක්ෂණය දිවයින පුරා සිදු කිරීමට නියමිතය.

ඒ අනුව, ලබා ගන්නා දත්ත විශ්ලේෂණය කර අදාළ මහජන සේවා සැපයීමේ කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට හැකිවන අයුරින් 'ජනරිද්ම' (SL-PULSE) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.