(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක අඩංගු කළ හැකි සංයුතිය කුමක්ද යන්න සහ එම සංයුතිය අදාළ සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරීමේ හැකියාව පිළිබඳව දැනුම් දීමට හෙට (15) වන තෙක් ලිට්රෝ ගෑස් සමාගමට කල් ලබා දීමට අභියාචනාධිකරණය අද (14) තීන්දු කළේය.
අනාරක්ෂිත ගෘහස්ත ගෑස් සිලින්ඩර ආනයනය කර බෙදා හැරීමට කටයුතු කල ගෑස් සමාගම් සහ වගකිව යුතු රජයේ බලධාරීන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ නීතිමය පියවර ගන්නා ලෙස නියෝග කරන්නැයි ඉල්ලා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ රිට් පෙත්සම ඊයේ කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය මෙලෙස කල් ලබා දෙන ලදී.
රුවන් ප්‍රනාන්දු සහ විනිසුරු සම්පත් විජේරත්න යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි.
විවෘත නොකල ගෑස් සිලින්ඩර නැවත කැඳවීමට සහ ගෑස් සිලින්ඩරය ක අඩංගු කල හැකි ගෑස් සංයුතිය කුමක්ද, එම සංයුතිය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණිය හැකි ද යන්න පෙත්සම අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල වගඋත්තරකාර පාර්ශවයෙන් විමසා සිටියේ ය.
එලෙස එකඟතාවයට පැමිණෙන්නේ නම් පෙත්සම මගින් ඉල්ලා සිටින අතුරු තහනම් නියෝගය නිකුත් කිරීමේ අවශ්‍යතාවයක් ඇති නොවන බව විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේය.
එහිදී පාරිභෝගික කටයුතු අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් මහත්මිය සහ ජනාධිපති නීතීඥ හර්ෂ අමරසේකර මහතා සදහන් කලේ විවෘත නොකල ගෘහස්ථ ගෑස් සිලින්ඩර නැවත කැඳවීමට මේ වන විටත් කටයුතු කර ඇති බව ය.
අධිකරණය යෝජනා කල සෙසු කරුණු සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී සහතිකයක් ලබා දිය නොහැකි අතර එම කරුණු ඉටු කිරීමට ඇති ප්‍රායෝගික හැකියාව පිළිබඳව අදාළ සමාගමෙන් උපදෙස් ලබා ගත යුතු බවද ජනාධිපති නීතීඥ හර්ෂ අමරසේකර මහතා සදහන් කලේය .
ඒ සදහා හෙට ( 15) වන තෙක් කල් ලබා දෙන ලෙසද ජනාධිපති නීතීඥවරයා අධිකරනයෙන් අවසර ඉල්ලා සිටියේය.
එහිදී ලාෆ් හෝල්ඩින්ග් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ලාෆ් ගෑස් සිලින්ඩර වල සංයුතිය වෙනස් කර නැති බවත්, එම සිලින්ඩර නැවත කැඳවන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියෙන් තමාට කිසිදු දැනුම් දීමක් ද නොකල බවය.
පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ගෑස් සිලින්ඩරවල සංයුතිය වෙනස් කිරීම නිසා එම සිලින්ඩර සහ ගෑස් ලිප් පුපුරා යාමේ සිද්ධි කිහිපයක් දිනකට වාර්තා වන බව ය. ඒ හේතුවෙන් විශාල පිරිසක් අනතුරු වලට ලක් සිටින අතර අවධානමකට ලක්ව සිටින බවද ඔහු සදහන් කලේය.
වගඋත්තරකරුවන්ගේ නොසැලකිලිමත් කම හේතුවෙන් මෙම සිද්ධිය සිදු වන බවද සදහන් කල පෙත්සම්කරු තමා ඉල්ලා සිටින අතුරු තහනම් නියෝගය නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලූ අධිකරණයට පෙත්සම හෙට ( 15) කැඳවීමට ද අභියාචනාධිකරණය තීරණය කලේය.
ප්‍රමිතියෙන් තොර ගෑස් සිලින්ඩර නිකුත් කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ඩී.එම්.එස්. දිසානායක, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ සිද්ධිකා සේනාරත්න, වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන, පාරිභෝගික ආරක්ෂණ රාජ්ය ඇමැති ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ට එරෙහිව අපරාධ නීතිය යටතේ විමර්ශනයක් සිදු කරන්නැයි පොලිස්පතිට නියෝග කරන්නැයි ද මෙම පෙත්සම මගින් ඉල්ලා තිබිණි.
මෙහි වගඋත්තරකරුවන් ලෙස ලාෆ්ස් හෝල්ඩින්ග්ස් ලිමිටඩ්,ලිට්ට්රෝ ගෑස් සමාගම, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ඩී.එම්.එස්. දිසානායක, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ සිද්ධිකා සේනාරත්න, වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන, පාරිභෝගික ආරක්ෂණ රාජ්ය ඇමැති ලසන්ත අලගියවන්න, රජයේ ප්‍රධාන තක්සේරුකරු ඇතුළු දස දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පැය 24න් විසදන්න ඕන බරපතල ප්‍රශ්නයක්. රටේ සමස්ත ජනතාවම අද කුස්සියේ ගෑස් උදුන පත්තු කරන්නේ නැහැ. මිනිස්සු මැරිලා, සමහරුට දරුණු තුවාල ගෑස් පත්තු කරලා රටේ හැම තැනම.
එක දවසක් හොඳටම ඇති. ලිඛිත ලියවිල්ලක්නේ
ඔව් නේද? තව මිනිස් බිලි 10ක් වත් ගන්නකම් කල්දෙන්න. මෙහෙමත් මෝඩයෝ... අනේ ඇත්තට...
නාගානන්ද මහත්තයෝ,ගෑස් වල සංසංයුතිය නොවෙයි වසර කීපයක් තුල ගෑස් ඇනවුම් කල ලිපිවල සත්‍ය පිටපත් ගෙන්වා බලන්න එතකොට වැරැද්ද හොදින්ම පෙනේවි.ඇනවුම් කිරීම අනුව තමා ඕඩරය නැත්නම් සැපයීම ලැබෙන්නේ
පාරිභෝගික අධිකාරිය විසින් ලැබෙන අල්ලස් හෝ වෙනත් කුමන හෝ පුද්ගලික වාසි හේතුවෙන් වගකීම පැහැර හැර ඇති විට, නාගලකන්ද මහතා පුද්ගලිකවම මැදිහත්වීම ඉතා ප්‍රශංසනීයයි.