තායිලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ෂිනවත්‍රා මාස අටක සිරදඬුවමකින් පසු නිදහස ලැබීය. තායිලන්ත දේශපාලන ඉතිහාසය උඩුයටිකුරු කළ ප්‍රබල චරිතයක් ලෙස ෂිනවාත්‍රා සැලකෙයි.

තායිලන්ත මාධ්‍ය වාර්තා කළේ, 76 හැවිරිදි ෂිනවත්‍රා පෙරවරුවේ, නිදහස ලබා බැංකොක්හි ක්ලෝන්ග් ප්‍රෙම් මධ්‍යම බන්ධනාගාරයෙන් පිටතට පැමිණි බවය.

ඔහු පිළිගැනීමට ඔහුගේ දියණිය, මෙන්ම තායිලන්තයේ හිටපු අග්‍රාමාත්‍යවරියක ද වන පැටොන්ග්ටාර්න් ෂිනවත්‍රා ඇතුළු පවුලේ සාමාජිකයන් සහ ආධාරකරුවන් බොහෝ පිරිසක් පැමිණ සිටි බව වාර්තා විය.

‘අප තක්ෂින්ට ආදරෙයි’ යනුවෙන් හඬ නගමින් ආධාරකරුවන් ඔහු පිළිගත් අතර, ඔහු සිය දඬුවම් කාලයෙන් තුනෙන් දෙකක් ගෙවා අවසන් කිරීම හේතුවෙන් මෙලෙස සමාව මත නිදහස් කර ඇති බව තායිලන්ත මාධ්‍ය වාර්තා කළේය.

ෂිනවාත්‍රාගේ ගමන් බිමන් සීමා කර ඇති අතර, ඉතිරි දඩුවම් කාලය අවසන් වනතුරු, ෂිනවාත්‍රා වළලුකරේ, ජීපීඑස් සංවේදක උපාංගයක් පැලඳ සිටිය යුතුය.

තක්ෂින් ෂිනවාත්‍රාට අග්‍රාමාත්‍ය ධුරය අහිමි වූයේ හමුදා කුමන්ත්‍රණයකිනි. හමුදා අත්අඩංගුවෙන් බේරී, වසර 15ක් විදේශගතව සිටි ෂිනවාත්‍රා, 2023 වසරේදී යළි තායිලන්තයට පැමිණියේ වසර අටක සිරදඬුවමකට මුහුණ දීම සඳහාය. 2023 වසර වෙද්දී තායිලන්ත අග්‍රාමාත්‍ය ධුරය හෙබූවයේ පැටොන්ග්ටාර්න් ෂිනවත්‍රාය.

තායිලන්ත රජු විසින් ඔහුගේ දඬුවම වසරක් දක්වා අඩු කළ ද, ඔහු සිරගෙදර ගත කළේ පැය කිහිපයක් පමණි. කෙසේ නමුත්, හෘදයාබාධයක් බව පවසමින් රෝහල්ගත වූ ඔහු මාස හයක් රෝහලේ ප්‍රභූ අංශයේ රැඳී සිටියේය.

කෙසේ නමුත්, දණ්ඩන නියමයෙන් වැළකී සිටීම සඳහා වංචනික ලෙස රෝහල්ගතව සිටි බවට අධිකරණය මගින් චෝදනා එල්ල වීමෙන් පසු ඔහුට මෙම සිරදඬුවම විඳීමට සිදුවිය.