(අංජුල මහික වීරරත්න)

කුමන භාෂාවක් කතා කළත්, කුමන ආගමක් ඇදහුවත් සියලු පුරවැසියන්ට අභිමානයෙන් ජීවත්විය හැකි ජාතිවාදයෙන් තොර, ජාතික සමඟිය පිරුණු පොහොසත් රටක් ගොඩනැඟීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (15) පස්වරුවේ යාපනය, වේලනෙයි, අයියනාර් කෝවිල් ක්‍රීඩා පිටියේ පැවති උතුරු පළාත් තෛපොංගල් උත්සවයට සහභාගී වෙමිනි.

තෛපොංගල් උත්සවය සඳහා සහභාගී වූ ජනාධිපතිවරයා චාරිත්‍රානුකූලව පිළිගනු ලැබූණු අතර, සංස්කෘතිකාංග රැසකින්ද මෙම අවස්ථාව විචිත්‍රවත් විය.

තෛපොංගල් සැමරුම සියලු දෙනාට නව අපේක්ෂා සහ බලාපොරොත්තු ඇති කරන අවස්ථාවක් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා තිබෙනවාට වඩා සෑම අතින්ම දියුණු, පොහොසත් රටක් නිර්මාණය කරමින් දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනඟා දීමට තිර අදිටනින් යුතුව පෙරට එන ලෙස සියලුදෙනාට ආරාධනා කළේය.