(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පතට  රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය ලැබිණ

ඒ එම කාරක සභාව  පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

2026 අයවැය මගින් යෝජනා කරන ලද බදු ප්‍රතිපත්ති සංශෝධන ක්‍රියාත්මක කිරීම සඳහා 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනතට මෙලෙස   සංශෝධන එක් කොට ඇත.

ඒ අනුව මෙම සංශෝධන මගින් 2026 ජූලි  මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සඳහා ලියාපදිංචියට අදාළ වන වාර්ෂික පිරිවැටුම් සීමාව රු: මිලියන 60 සිට රු: මිලියන 36 දක්වා අඩු කිරීම සහ 2026 මැයි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි වාහන ආනයනික අවස්ථාවේ දී හෝ නිෂ්පාදනය කර විකිණීමේදී සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කිරීම හා තොග හෝ සිල්ලර වෙළඳාමේදී සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් නිදහස් කිරීම සිදු වන බව  නිලධාරීහු කාරක සභාව පෙන්වා දුන්හ.

මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සහ එකතු කළ අගය මත බද්ද (VAT) යන බදු දෙවර්ගය සංශෝධනය කොට එක් බදු වර්ගයක් හඳුන්වා දීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නේය. ඒ අනුව දැනට පවතින බදු ආදායම් නොවෙනස්ව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පැහැදිලි කළ නිලධාරීහු ඉදිරියේදී එම බදු ව්‍යුහය සංශෝධනය කරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බව පැවසුහ.

තවද 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව අපනයනකරුවන්ට දේශීය ඩොලර් බැඳුම්කරවල ආයෝජනය කිරීමට පහසුකම් සැලසීම අරමුණු කර ගනිමින්  2473/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති  2026 අංක 01 දරන අපනයන ඉපැයීම්  ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති සඳහා  කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

ඒ අනුව 2024 අංක 01 දරන අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති මෙමගින් සංශෝධනය වේ. 2024 රීති රාමුවට අනුව අපනයනකරුවන්ට තම අපනයන ආදායමෙන් 10%ක් දක්වා ආයෝජනය කිරීමට අවසර දී ඇත්තේ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (SLDBS) වල පමණි. කෙසේ වෙතත් 2026 සංශෝධිත  නව රීති මඟින් තනි බැඳුම්කර වර්ගයකට ඇති සීමාව ඉවත් කර ඇති අතර අපනයනකරුවන්ට දැන් එම 10% රජය විසින් නිකුත් කරනු ලබන විදේශ මුදලින් නිරූපිත ණය සුරැකුමක (බැඳුම්කර) ආයෝජනය කළ හැකි බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.