(සුජිත් හේවාජුලිගේ)

සත්වෝද්‍යානයේ අලුත උපන් අලි  පැටවුන් තිදෙනාගෙන් අයකු   වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ නමින් නම් කිරීමට  සත්වෝද්‍යාන බලධාරීන් තීරණය කර ඇත.

ඒ අනුව එම අලි පැටවා  විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයාගේ  දිසානායක යන වාසගමේ මුල් කොටස වන "දිසා"  යන්න යොදාගෙන  නම් කෙරෙනු ඇතැයි සත්වෝද්‍යාන ආරංචි මාර්ගවලින් පැවසේ.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව බාරයේ  සිටින ඇත්තු අලි පැටවුන් තිදෙනකු පසුගිය කාලයේදී බිහි කළහ. මෙම අලි පැටවුන් තිදෙනාගෙන් දෙදෙනෙකු "සද්ජන"සහ  "වීරමන්" යන නම්වලින් නම් කිරීමටද  පියවර ගෙන ඇතැයි දැනගන්නට ඇත.

එම නම් දෙක  යෝජනා කරනු  ලැබ ඇත්තේ  වනජීවී රාජ්‍ය අමාත්‍යවරයා විසිනි.

මේ අතර දෙහිවල සත්වෝද්‍යානයට අලුතෙන් ලැබුණු සතුන් කිහිපදෙනෙකුට  නම් තැබීමද පසුගියදා සිදු කෙරිණ. ඒ සතුන්ට යෙදුවේ මේ රටේ පාසල් දරුවන් පිරිසක් යෝජනා කළ නම් බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය.

සතුන්ට නම් තැබීම සඳහා පාසල් දරුවන්ට ඉදිරියේදීත් ආරාධනා කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.