(නිමන්ති රණසිංහ)
සංචාරයකට මෙරටට පැමිණී ඉන්දීය ජාතික කාන්තාවකගේ රුපියල් ලක්ෂ 07ක් වටිනා කමකින් යුත් ගෙල බැඳි රන්මාලය කොල්ලකෑ බවට කුරුදුවත්ත පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (16) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ හිත්තැටිය ඇහැලියගොඩ පදිංචි එච්. මහේෂ් පුෂ්පකුමාර සහ දේවානම්පියතිස්ස මාවත, මරදාන පදිංචි කරුපයියා විනයාගමූර්ති නැමැත්තන්ය.
ඉන්දියන් ජාතික කාන්තාවකගේ ගෙලබැඳි රන්මාලය කොල්ලකෑ බවට මෙම සැකකරුවන් දෙදෙනා අධිකරණය හමුවේ වරද පිළිගත් අතර, දඬුවම් නියම කිරිම සහ ඇගිලි සලකුණු වාර්තා කැඳවීම සඳහා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණයෙන් නියෝග නිකුත් විණී.
දින පහක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණී තමන් කුරුදුවත්ත ප්‍රදේශයේ නිදහස් චත-ුරස්‍රය අවට ඡායාරූප ගනිමින් සිරි නරඹමින් සිටින අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණී දෙදෙනකු තම ගෙල බැදි රන්මාලය කඩාගෙන ගිය බවත්, එය ඉන්දීය රුපියල් ලක්ෂ තුනක් වන බවත් පැමිණීලිකාර ඉන්දියන් ජාතික කාන්තාව කුරුදුවත්ත පොලීසියට මෙම පැමිණීල්ල ඉදිරිපත් කර තිබුණේ පෙරේදා 15 දාය.
ලද පැමිණීල්ලට අනුව සිදුකළ විමර්ශනයෙන් පසු සැකකරුවන් දෙදෙනා සහ ඔවුන් කොල්ලකෑ රන්මාලය සොයා ගත් බවත් සැකකරුවන් පැදවූ ස්කූටි වර්ගයේ යතුරු පැදිය ද අත්අඩංගුවට ගත් බවත් කුරුදුවත්ත පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කලේය.
මෙම යතුරුපැදිය ද ඇහැලියගොඩ ප්‍රදේශයෙන් සොරාගත් එකක් බවට ද කරුණු අනාවරණය වී ඇතැයි ද මෙහිදී පොලීසිය අධිකරණයට කරුණු සඳහන් කළේය.
පැමිණීලිකාර ඉන්දීය ජාතික කාන්තාව නැවත ඇගේ රටට පිටව යෑමට නියමිතව ඇති බැවින් නඩු භාණ්ඩය වූ රන් මාලය ඇය වෙත ලබා දෙන ලෙසට මෙහිදී කුරුදුවත්ත පොලීසිය අධිකරණයෙන් ඉල්ලීය. ඒ අනුව පැමිණීලිකාරියට රන්මාලය මුදා හැරීමට අධිකරණය නියෝග නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd