(ඩයනා උදයංගනී)

දැන වැඩවර්ජනයක නිරතව සිටින වෘත්තීය සංගම් ඉදිරිපත් කළ කරුණු සලකා බලා ලබාදීය හැකි විසඳුම් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ඔවුන් ඉදිරිපත් කරන ඇතැම් ඉල්ලීම් සඳහා කඩිනම් විසඳුම් ලබාදිය හැකි බවත්, එසේ විසඳුම් ලබාදිය හැකි කරුණු සම්බන්ධයෙන් අද (8) පැවති සාකච්ඡාවේදී එකඟතාවයට එළඹි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වන විට වැඩවර්ජනයක නිරතව සිටින හෙද, අතුරුවෛද්‍ය හා පරිපූරක සේවාවන්හි වෘත්තීය සංගම් කිහිපයක් සහ අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (8) පැවැත්විණි.

එහිදී මෙම වෘත්තීය සංගම් ඉදිරිපත් කළ ඇතැම් කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට සති දෙකක පමණ කාලයක් අවශ්‍ය බවත්, ඇතැම් කරුණු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

සෞඛ්‍ය සේවාවේ සෑම වෘත්තියක්ම අතිශය වැදගත් බව කී ඇමතිවරයා එහි එක් එක් වෘත්තීන් විශේෂත්වයෙන් ගෙන ක්‍රියා නොකරන බවත්, සෑම වෘත්තියකම වටිනාකම ඉහළින් අගය කරන බවත් කීවේය.

රටෙහි පවතින තත්ත්වය මත මේ මොහොතේ ඇතැම් ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීම අපහසු අතර විවිධ ක්ෂේත්‍ර සඳහා නව තනතුරු ඇතිකිරීම වැනි කටයුතු මෙම වසර තුළ සිදු නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.