(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ කුරුඳු භූගෝලීය දර්ශකයක් ලෙස යුරෝපා සංගමයේ ලියාපදිංචි කළ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ශ්‍රී ලංකාවට ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කරමින් ඊයේ (2) ශ්‍රී ලංකා කුරුඳු භූගෝලීය දර්ශකයක් ලෙස යුරෝපා සංගමය ප්‍රසිද්ධ කළ බව කී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා යම් නිෂ්පාදනයක් ඉහළ ගුණාත්මභාවයකින් වෙළඳපොළට සැපයෙන බවට හඳුනාගැනීමට සළකුණක් ලෙස භූගෝලීය දර්ශකය මඟ පෙන්වන බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් යුරෝපා සංගමයේ ලියාපදිංචි කළ ප්‍රථම අවස්ථාව මෙන්ම ශ්‍රී ලංකාවට අනන්‍ය වූ භෝගයක් වන කුරුඳුවලට එම සහතිකය  ලබාගැනීමට හැකිවීම වඩාත් කැපී පෙණෙන බවත් අමාත්‍යවරයා කීය.

ශ්‍රී ලංකාව 2021 වසරේ කුරුඳු අපනයනයෙන් ඩොලර් මිලියන 230 ආදායමක් උපයූ බව සඳහන් කළ අමාත්‍යවරයා භූගෝලීය දර්ශකය ලබාගැනීම තුළින් කුරුඳු මෙම වර්ෂයේදී ඩොලර් බිලියනයක් උපයන අපනයන කර්මාන්තයක් දක්වා වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන බව ද කීය.