(සුජිත් හේවාජුලිගේ)

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයට ගන්නා දින දෙකේදී  වෙනත් ගමන් බිමන්වලින් වැළකී  කොළඹ රැඳී සිටින ලෙස ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය සිය මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.

එසේම එම දිනවල විදේශ සංචාරවල යෙදීමෙන් වළකින ලෙසටද වැඩිදුරටත් දන්වා ඇත.

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන( සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 24 සහ 25 යන දිනවල පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය 10 වැනිදා බ්‍රහස්පතින්දා තීරණය කළේය.

එම කාරක සභාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.

මේ අනුව ලබන 25 වැනිදා පස්වරුවේ  එම පනත් කෙටුම්පත් පිළිබඳ අවසාන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

මේ අතර එම  පනත් කෙටුම්පත් වලට දැඩි විරෝධයක් එල්ල වී තිබීම හේතුවෙන්  දින දෙකේ විවාදය දැඩි උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

විසි දෙවැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු විවිධ සංවිධාන රැසක් දැනටමත්  සිය විරෝධය පළ කර ඇත.

එම පනත් කෙටුම්පත් විවාදයට ගන්නා දින දෙකේදී  පාර්ලිමේන්තුව සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂක විධිවිධාන දැඩි කිරීමටද තීරණය කර ඇත

ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ සහ පහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත් දෙක ඉදිරිපත් කෙරේ.