(අංජුල මහික වීරරත්න)

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්විණි.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක කරන ‘Vision’ වැඩසටහන් මාලාවට සමගාමීව විද්‍යාර්ථ විද්‍යාලයට මෙම අවස්ථාව හිමි වී තිබේ.

මෙහිදී අනාගත නායකත්වය, පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ඉතිහාසය සහ වත්මන් පාර්ලිමේන්තුවේ කාර්යභාරය සම්බන්ධයෙන් ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයන් දැනුවත් කිරීම සිදු කෙරිණ. ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කිරීමෙන් අනතුරුව කථානායක පත් කිරීම, කථානායක දිවුරුම් දීම, මන්ත්‍රීවරුන් දිවුරුම් දීමද සිදු විය.

ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයන්හට සහභාගීත්වය වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානය කිරීම සහ මෙම අවස්ථාව සනිටුහන් කරමින් පාසල වෙත වටිනා පැළයක් ප්‍රදානය කිරීමද සිදු විය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ විදුහල්පති එම්. ඒ. එස්. ශ්‍රීලාල් මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.