(ඩයනා උදයංගනී)

වසර 580 කට පසු සිදු වන දීර්ඝතම අර්ධ චන්ද්‍රග්‍රහණය අද (19) සිදු වන දින සිදුවනු ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

මෙය ශ්‍රී ලංකාවට එය දිස්නොවන අතර ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශය ඇතුළු ඇමරිකාව, උතුරු යුරෝපය, නැගෙනහිර ආසියාව, ඔස්ටේ්‍රලියාව, පැසිෆික් කලාපයේ රටවල් ඇතුළු ලෝකයේ විශාල ප්‍රදේශයකට දිස්වන බව ජයරත්න මහතා සඳහන් කළේය.

මෙම අර්ධ චන්ද්‍රග්‍රහණ අවධියේ සම්පූර්ණ කාලය පැය 3 විනාඩි 28 ක් වන අතර එය ශ්‍රී ලංකා සම්මත වේලාවෙන් පෙරවරු 11.32 ට ආරම්භ වී පස්වරු 5.33 ට අවසන් වන බවත් එහි සම්පූර්ණ කාලය පැය 6 යි මිනිත්තු 1 ක් වන බවත් ඔහු පැවසීය.

මීට අමතරව පූර්ණ සූර්යග්‍රහණයක් දෙසැම්බර් 4 වැනිදා සිදුවන අතර එය පෙරවරු 10.59 ට ආරම්භ වී පස්වරු 3.07 ට අවසන් වන බව චන්දන  යරත්න මහතා කීය.

 එය ද ශ්‍රී ලංකාවට නොපෙනෙන අතර ඇන්ටාක්ටිකාවට, දකුණු අප්‍රිකාව සහ නැමීබියාවේ ප්‍රදේශ කීපයකට පමණක් දිස්වනු ඇත.

මේ දිනවල ශ්‍රී ලංකාවට දර්ශනය වන ග්‍රහණ ඉතා විරල බවත්, ලබන වසරේ ශ්‍රී ලංකාවට ග්‍රහණ දෙකක් පමණක් දිස්වනු අතර ඒ ඔක්තෝබර් 25 වැනිදා අර්ධ සූර්යග්‍රහණයක් සහ නොවැම්බර් 8 වැනිදා අර්ධ චන්ද්‍රග්‍රහණයක් වශයෙන් බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

මේ දින වල සෞරග්‍රහ මණ්ඩලයේ දීප්තිමත්ම ග්‍රහලෝක තුන වන බ්‍රහස්පති, සෙනසුරු සහ සිකුරු හිරු බැස යෑමෙන් පසු බටහිර අහසේ එක පෙලට සිටින සේ දැක බලා ගැනීමට ශ්‍රී ලාංකික ජනතාවට අවස්ථාව ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.