(සුජිත් හේවාජුලිගේ)

යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගයේ නායකත්වය සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය දක්වා ඇති ප්‍රතිචාරය ප්‍රමාණවත් නොවන බව එම පක්ෂයේ ඒකාබද්ධ වෘත්තීය සමිති බලමණ්ඩලය පක්ෂ නායකත්වය වෙත විශේෂ ලිපියක් යොමු කරමින් පෙන්වා දෙයි

එම බලමණ්ඩලයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා එහි සඳහන් කර ඇත්තේ, යෝජිත සංශෝධනයට එරෙහිව සමාජය දැනුවත් කරමින් ප්‍රබල මහජන කතිකාවක් ගොඩනැගීම සඳහා පක්ෂ නායකත්වය මීට වඩා ක්‍රියාකාරී මැදිහත්වීමක් කළ යුතු බවයි.

ඒ අනුව සැප්තැම්බර් 24 වැනිදා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර, 25 වැනිදා පාර්ලිමේන්තුවේදී සංශෝධනය පිළිබඳ කටයුතු අවසන් වන තෙක් එය අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසද එම ලිපියෙන් ඉල්ලා ඇත.

විපක්ෂ නායකවරයා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සමස්ත විපක්ෂයම එම වැඩපිළිවෙළට සෘජුව දායක විය යුතු බවද බලමණ්ඩලය පෙන්වා දී තිබේ.

එමෙන්ම සෙසු විරුද්ධ දේශපාලන පක්ෂ, නීතිඥ ප්‍රජාව, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන එකම වේදිකාවකට එක්කරමින් විරෝධතා ව්‍යාපාරයට අවශ්‍ය නායකත්වය ලබාදෙන ලෙස ආනන්ද පාලිත මහතා විපක්ෂ නායකවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.