(අංජුල මහික වීරරත්න)

මහයියාව උමං මාර්ගයේ වැඩ 80%ක් අවසන් කර ඇති අතර දෙසැම්බරයට පෙර ජනතා අයිතියට පත්කිරීම ඉලක්කය බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

මහනුවර නගරයේ රථවාහන තදබදයට විසඳුමක් දෙමින් ඉදිකෙරෙන මහයියාව නව මගී හා වාහන උමං මාර්ගයේ නිරීක්ෂණයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මහනුවර–යාපනය ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 2+064 සහ 2+097 අතර ඉදිකෙරෙන මෙම උමං මාර්ගය මීටර් 31.7ක දිගකින්, මීටර් 21ක පළලකින් සහ මීටර් 6.15ක උසකින් යුක්තය. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 650ක පමණ මුදලක් වැය කෙරෙයි.

මහනුවර නගරයට දිනපතා පිවිසෙන ජනතාවගේ ගමනාගමනය වඩාත් පහසු කිරීමත්, වත්තේගම, මාතලේ, කුරුණෑගල, අනුරාධපුරය, පොලොන්නරුව සහ යාපනය ඇතුළු ගමනාන්ත වෙත ගමන් කරන වාහන සඳහා වඩාත් කාර්යක්ෂම ගමනාගමන පහසුකම් සැලසීමත් මෙහි ප්‍රධාන අරමුණයි.