(අජන්ත කුමාර අගලකඩ)
රට තුළ මතුව ඇති ඉන්ධන සහ විදුලි අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා විශේෂ කැබිනට් රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරු 5.00ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ .
එම රැස්වීමට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු මහ බැංකුවේ ඉහළ නිලධාරීන් ද ,මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා ඇතුළු එහි ඉහළ නිලධාරීන් ද, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශවල ලේකම්වරුන් ද කැඳවීමට ඊයේ (21) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කර ඇත .
කොවිඩ් අර්බුදය හේතුවෙන් පසුගිය සති කීපයේම කැබිනට් රැස්වීම් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වුවද අද පැවැත්වෙන විශේෂ කැබිනට් රැස්වීමට ඇමතිවරුන් සියලු දෙනා ජනාධිපති කාර්යාලයට කැඳවීමටද තීරණය කර ඇත.
ඩොලර් නොමැතිවීම හේතුවෙන් ඉන්ධන හිඟයක් මතුවීමත් ,ඒ සමගම විදුලි අර්බුදයක් ඇතිවීමත් සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත .
ඉන්ධන සහ විදුලි අර්බුදය හේතුවෙන් රටේ ආර්ථිකයේ පමණක් නොව සාමාන්‍ය ජනජීවිතය ද බරපතළ ගැටලුවකට ලක්ව ඇතැයි ඇමතිවරුන් පෙන්වා දී ඇත .
ඒ සම්බන්ධයෙන් වහා පියවරක් නොගතහොත් අර්බුදය තවත් උග්‍ර වනු ඇතැයි ඇමතිවරුන් එහිදී සඳහන් කර ඇත .
එහිදී අදහස් දක්වා ඇති බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පෙන්වා දී ඇත්තේ කොළඹ වරායට පැමිණ ඇති ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 කින් යුත් ඉන්ධන නැව අද දිනයේ දී ඩොලර් ගෙවා නිදහස් කර නොගතහොත්,රට තුළ ඩීසල් නොමැති වන බවය .
දැනටත් ඉන්ධන බෙදාහරිනු ලබන්නේ සීමා කරමින් බවද ඔහු පෙන්වා දී ඇත .
අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා අදහස් දක්වමින් පවසා ඇත්තේ විදුලිය කැපීම හේතුවෙන් උසස් පෙළ සිසුන්ට බරපතළ අර්බුදයකට මුහුණ දීමට සිදුව ඇති බව ය .
එහිදී අදහස් දක්වා ඇති සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දී ඇත්තේ,කොවිඩ් වසංගතයෙන් පසුව සංචාරකයින් රටට ඒමට පටන් ගෙන ඇති බැවින්, විදුලිය කැපීම සංචාරක කර්මාන්තයට බරපතළ බලපෑමක් එල්ල කර ඇති බව ය .
එබැවින් සංචාරක කලාපවල හෝ විදුලිය කැපීම නතර කරන්නැයි ඔහු ඉල්ලීමක් කර ඇත.
ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ, ආචාර්ය බන්දුල ගුණවර්ධන, වාසුදේව නානයක්කාර ,විමල් වීරවංශ යන මහත්වරුන් ඇතුළු ඇමතිවරුන් ගණනාවක් පවතින අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආඬි 7 දෙනාගේ කැඳ හැලිය වගේ තියෙයි... !!!
ඔව් ඔව් සංචාරකයින්ට ලයිට්. රටේ මිනිස්සු අඳුරේ. අනේ ඉතින් ආවේ නං මිනිස්සු රකින්න කියාගෙන...!