(මනෝප්‍රිය ගුණසේකර)

කුඩා දරුවකුට දීම සඳහා කල් ඉකුත් වූ ඖෂධ විකිණීම, ඖෂධවේදීන් නොමැතිව ෆාමසි පවත්වාගෙන යෑම ඇතුළු චෝදනාවන්ට වරදකරුවන් වූ කොළඹ ප්‍රදේශයේ ඖෂධහල් හිමියන් සිව්දෙනකුට මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් රුපියල් ලක්ෂ දෙක හමාරකට ආසන්න දඩ නියම කෙරිණී.

ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්‍ෂක නෙවිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් කරන ලද වැටලීම්වලදී අත්අඩංගුවට ගනු ලැබූ විත්තිකරුවන්ට එරෙහිව පවරන ලද චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා ඔවුන්ට මෙලෙස දඬුවම් නියම විය.

චෝදනාවන්ත වරදකරුවන් වීම නිසා මෙලෙස දඬුවම් නියම වූයේ මරදාන ප්‍රදේශයේ ‘සිරි මෙඩිකල්’ ෆාමසියේ ඖෂධවේදි මොහොමඩ් ගවුස් අන්සාර්, කොළඹ 15  හේනමුල්ල ෆාමසියේ හිමිකරු වන කනගරත්නම් අමීර්ථ ගජනන්, මරදාන ග්‍රෑන්ඩ් ෆාමසියන් ඇන්ඩ් ගොසරි හි හිමිකරු වන අයි.එල්. සිල්මි, කොළඹ 14 ප්‍රදේශයේ පවත්වාගෙන යන ගෝල්ඩන් කෙමෙස්ට් හී හිමිකරුවන නවාස් මොහොමඩ් නස්හාර්, නමත්තන්ටය.

විත්තිකරුවන්ට එරෙහිව කල් නිකුත්වූ ඖෂධ විකිණීම, ඖෂධවේදීන් නොමැතිව ෆාමසි පවත්වාගෙන යෑම, බලපත්‍ර නොමැතිව ෆාමසි පවත්වාගෙන යෑම, වෛද්‍ය වට්ටෝරූ නොමැතිව ඖෂධ නිකුත් කිරීම, ලියාපදිංචි නොකරන ලද ඖෂධ ගබඩා කිරීම, වෛද්‍යවරුන් සඳහා නිකුත් කළ ඖෂධ සාම්පල් ගබඩා කිරීම ඇතුළු චෝදනා යටතේ වෙන වෙනම නඩු හතරක් පවරා තිබිණී.