(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අධිකරණ සඳහා වාර්තාධිකාරි විනිසුරුවරුන්  පත්කිරීම්  දේශපාලඥයන්ට පැවරීම සුදුසු නැතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවැසීය.

එම පත් කිරීම්  දේශපාලන අධිකාරියෙන් එළියට ගෙන අධිකරණ සේවා කොමිෂන් සභාවට පැවැරිය යුතු බවද  හෙතෙම සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

නඩු ඇසීමට වෙනම විනිශ්චකාරවරුන්ද නඩු විභාග සූදානම සඳහා  වාර්තාධිකාරී විනිසුරුවන්ද  පත් කිරීමට කටයුතු කරගෙන යන බව පැවසූ අධිකරණ අමාත්‍යවරයා නීතියේ නව නැම්මක් ඇති කිරීම මෙහි අරමුණ බවද  සඳහන් කළේ‍ය

නීතියේ ආධිපත්‍යය ගැන අද ජනතාවට ලොකු හැඟීමක් නැති බවත් නීතියේ පාලනය ගැන විශ්වාසය වැඩිවූ විට  නඩු කියන ප්‍රමාණද  වැඩිවිය හැකි බවත් ඔහු  කීවේය.

නීතියේ ප්‍රමාදය අද තිබෙන ලොකු ප්‍රශ්නයක් බව පැවසූ අලි සබ්‍රි මහතා  එක්තරා අතවර පිළිබඳ  නඩුවක තීන්දුව ප්‍රකාශ කිරීමට අවුරුදු විස්සක් ගතවූ බවද සඳහන් කළේය

නීතියේ ප්‍රමාදය වළක්වා ගැනීමට විවිධ හේතු නිසා නොහැකිවී තිබෙන බවද එක්තරා නඩුවක සාක්ෂිකරුවකුගෙන් සාක්ෂි ලබා ගැනීමට වසර හතක් ගතවූ බවද ඔහු පැවසීය.

තමා නීතිඥවරයකු ලෙස ඉදිරියටත් නියැලීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.