(නිමල කොඩිතුවක්කු)

දිස්ත‍්‍රික්ක  කිහිපයකට බලපා ඇති ආපදා තත්වය හේතුවෙන්  විපතට පත් ජනතාවට හදිසි සහන සැලසීම සඳහා රජය රුපියල් ලක්ෂ 170 ක් එම ප‍්‍රදේශ වෙත යොමු කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹදී අද (23) පැවසීය.

සහන සැලසීම සඳහා අවශ්‍ය ඉතිරි  මුදල් අතුරු සම්මත  ගිණුමේ ප‍්‍රතිපාදන යටතේ හෝ  විශේෂ ආපදා අරමුදල් යටතේ ලබා දීම වෙනුවෙන්  මුදල් අමාත්‍යවරයා ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් ලබාදුන් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

රජයේ ප‍්‍රවෘත්ති ශ‍්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

දිස්ත‍්‍රික්ක  කිහිපයකට බලපා ආපදා තත්වය හේතුවෙන්  ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාස 112 ක පවුල් 20,000 කට පමණ අයත් 65,000 ක පමණ පිරිසක් මේ වනවිට පීඩාවට පත්ව සිටින බවත් ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු  රජය මේ පිළිබඳ පූර්ණ අවධානය යොමුකරමින්  ජනතාවට සහන සැලසීම වෙනුවෙන් කළ හැකි උපරිම දේ සිදු කරන බවත් අමාත්‍යවරයා කීවේය.

හමුදා ඇතුළු ආරක්ෂක අංශ සහන කටයුතු සඳහා යොදවා ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා දිස්ත‍්‍රික් ලේක්ම්වරුන්, ආපදා කළමනාකරණ නිලධාරින් මගින් කඩිනම්  සහන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කර ඇති බවත් සඳහන් කළේය.