(විනීතා එම් ගමගේ)

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශ රැකියාවන්හි නිරතව සිටින ශ්‍රී ලාංකිකයන්ට ලියාපදිංචිය ලබා ගැනීමට සති හතරක විශේෂ සහන කාලයක් කාර්යංශය මගින් ලබා දී ඇත.

මේ මස 15 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා කාලය තුළ මෙසේ ලියාපදිංචිවීමට අවස්ථාව ලබා දී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

 නීත්‍යානුකූල නොවන විවිධ මාර්ගවලින් විදේශ ගතව රට රැකියාවල නියුතුවන සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගතවුවත් ලියාපදිංචි කාලය ඉක්මවූ පසු ලියාපදිංචිය යාවත්කාලීන නොකර තවදුරටත් විදේශ රැකියාවල නියුතු වන ශ්‍රි ලාංකික විගමනික ශ්‍රමිකයින්හට  කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම සඳහා මෙම විශේෂ සහන කාලය ලබා දුන් බව ද එම නිළධාරියා කීය.

ලියාපදිංචි විගමනික ශ්‍රමිකයින්ට හිමිවන සුබසාධන හා රක්ෂණ ප්‍රතිලාභ මෙම පිරිසටද හිමිකර දීමේ අරමුණෙන් විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ අදහසක් අනුව මෙම විශේෂ සහන කාලය ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

ලොව ඕනෑම රටක විදේශ රැකියාවක නිරත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට මෙම ලියාපදිංචිය ලබාගත හැකි අතර තමා සේවයේ නියුතු රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණ වලංගු වීසා බලපත්‍රය සහ රැකියා ගිවිසුම හෝ පත්වීම් ලිපිය ඉදිරිපත් කර අදාළ ගාස්තුව ගෙවා ලියාපදිංචිය ලබාගත හැකි යැයි ඔහු කියා සිටියේය.

රැකියා ගිවිසුම හෝ පත්වීම් ලිපිය නොමැති ශ්‍රමිකයින් හට තානාපති කාර්යාලයේදී ලබාදෙන ප්‍රකාශ පත්‍රය පුරවා ලියාපදිංචිය ලබාගත හැකි බව පෙන්වා දුන් ඔහු රැකියා සඳහා විදේශ ගතවීමේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවීමට සපුරාලිය යුතු කොන්දේසි සපුරාලීමට නොහැකි පුද්ගලයින් විවිධ තැරැව්කරුවන් මාර්ගයෙන් මෙලෙස නීති විරෝධි අයුරින් විදේශ ගතවන බව ද කීය.

 මෙලෙස විදේශ ගතවන්නන් ගැටළුකාරී තත්ත්වයන්ට මුහුණ දුන් පසු සහනයන් හා සේවාවන් බලාපොරොත්තුවෙන් තානාපති කාර්යාලයට පැමිණෙන බවත් කාර්යාංශයේ ලියාපදිංචි වී නොමැති නිසා ඔවුන්ට අවශ්‍ය සහන හා සේවාවන් ලබාදීමට නීත්‍යානුකූල බාධාවන් පැමිණෙන බවත් පෙන්වා දුන් එම නිලධාරියා විදේශ ගතව රැකියාවල නිරත වෙමින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ප්‍රේෂණය කරමින් ආර්ථිකය පෝෂණය කිරීමට සුවිශේෂි දායකත්වයක් දක්වන විගමණික සේවක ප්‍රජාව හා ඔවුන්ගේ යැපෙන්නන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පිරිනමන සුභසාධන ප්‍රතිලාභ හා රක්ෂණ ප්‍රතිලාභ පිරිනැමීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය නොමැති වීම හා ලියාපදිංචිය යාවත්කාලීන නොකිරීම හේතුවෙන් ප්‍රතිලාභ පිරිනැමීමට නොහැකි වන බවද ප්‍රකාශ කළේය.

  එම තත්ත්වයන් අවම කර ගැනීම සඳහාත් නීති විරෝධිව විදේශ රැකියාවල නියුතු ශ්‍රමිකයින් සංඛ්‍යාව හැකිතාක් අවම කර ගැනීම සඳහාත් ශ්‍රී  ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙම සහන කාලය ප්‍රකාශයට පත් කළ බව ද සඳහන් කළේය.