(අජන්ත කුමාර අගලකඩ)

විදුලිබල මණ්ඩලයට මින් ඉදිරියට ඉන්ධන ලබා දෙන්නේ ඩොලර් ලබාදුනහොත් පමණක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විදුලිබල අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

ඒ අනුව  මණ්ඩලයට අදින් පසුව ඩොලර් නොමැතිව ඉන්ධන ලබා නොදෙන බව  බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ ය.

ඉන්ධන නොමැතිවීම හේතුවෙන්, විදුලිබල මණ්ඩලයේ බලාගාර කිහිපයක්  ගිය සතියේ  නතර වූ අතර, එය යථා තත්වයට පත්කර ගැනීම සඳහා ඩීසල් මෙට්‍රික් ටොන්  තුන් දහසක් අවස්ථා දෙකකදී ලබාදී ඇතැයි කී ඇමතිවරයා ඩොලර් නොමැතිව මින් ඉදිරියට ඒ ආකාරයෙන් ඉන්ධන දිය නොහැකි බව සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලය ඩොලර් ලබාදුනහොත් ඛනිජ තෙල් ආනයනය කර ලබාදිය හැකි බව කි ඇමතිවරයා ඒ සඳහා සතියක පමණ කාලයක් ගතවනු ඇති බව ද  කීවේය .

විදුලිබල මණ්ඩලයට ලබා දීමට තරම් අවශ්‍ය ඉන්ධන තොග සංස්ථාව සතුව නොමැති බව කී ඔහු දැනට තිබෙන ඉන්ධන විදුලිය නිෂ්පාදනයට ලබාදුනහොත් වාහන ධාවනය කිරීමට නොහැකි වනු ඇතැයි කීවේය .

ඉන්ධන නොමැති වුවහොත් විදුලිය සැපයුම පැයකට දෙකකට කපාහැර තත්වය කළමකළමනාකරණය  කිරීමට හැකියාව ඇති නමුත්, වාහන ධාවනය සඳහා එවැනි පියවරකට යා නොහැකි බව ද කීවේය .

ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන ඇත, ඉන්ධන නැත  යනුවෙන් ප්‍රදර්ශනය කරනවා හැරෙන්නට අතරමැදි තත්වයක් නොමැති බවද  ඔහු කීවේය .

ඉන්ධන දීම වෙනුවෙන් විදුලිබල මණ්ඩලයෙන් රුපියල් කෝටි 920 ක මුදලක් ද , ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන්  රුපියල් කෝටි 650ක මුදලක් ද ණය වශයෙන් ලැබිය යුතුව  ඇතැයි කී ඇමැතිවරයා ඉන්ධන අවශ්‍ය නම් මුදල්  ලබා දෙන ලෙස එම ආයතන දෙකටම කල්තියාම දැනුම් දුන් බවද කීවේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඩොලර් ලබාදුන් බව කී ඇමතිවරයා විදුලි බල මන්ඩලය එසේ ඩොලර් ලබාදී නැතැයි කීවේය .

ඩීසල් සහ දැවිතෙල් අවශ්‍ය ප්‍රමාණය කල්තියා දැනුම් දෙන ලෙස විදුලිබල මණ්ඩලයට මුලදී දැනුම්  දුන් නමුත් ජනවාරි අගවන තෙක් දැවි  තෙල් හෝ ඩීසල් අවශ්‍ය නොවන බවට මණ්ඩලය දැනුම් දී තිබූ බව කි ඇමති ගම්මන්පිල මහතා එසේ තිබියදී මං 13 වැනිදා   සිට ඩීසල් අවශ්‍ය බව  මණ්ඩලය ඉකුත් එකොළොස් වැනි දා දැනුම් දුන් බවද කීවේය .

තෙල් සංස්ථාව ද බරපතළ ඩොලර් අර්බුදයකට මුහුණ දී සිටින මේ අවස්ථාවේ එවැනි හදිසි ඉල්ලීමක් සපුරාලිය නොහැකි බව කී ඇමතිවරයා ඩොලර් ලබා දෙන්නේ නම් පමණක් ඉන්ධන ගෙනැවිත් දිය හැකි බව සඳහන් කළේය