(රන්ජන් කටුගම්පොල)

පසුගිය රජය සමයේ විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම්වලට පැවරීමට හිටපු අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය යළි සලකා බැලීමට මෙම රජය තීරණය කර ඇති බවත් ඉදිරියේදී රජයේ තීරණය සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දීමට බලාපොරොත්තු වන බවත් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ විවේකා සිරිවර්ධන මහත්මිය මේ සම්බන්ධයෙන් දැනුම් දෙනු ලැබුවේ මේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකොට ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය,

මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රීතිපද්මන් සුරසේන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අර්ජුන ඔබේසේකර සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීණ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්දිරන්, පාඨලී චම්පික රණවක සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ඇතුළු පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් වගඋත්තරකරුවන් වශයෙන් ආගමන විගමන පාලකවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.