(අංජුල මහික වීරරත්න)

වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා වූ 2026 අයවැය සහන ලබා දීම සඳහා වන ක්‍රමවේදයට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

වතු කම්කරුවන්ට ඔවුන්ගේ සේවයට සරිලන සාධාරණ දෛනික වේතනයක් ලබා දීමේ අරමුණින් වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1,550 දක්වා වැඩි කිරීමට සහ පැමිණිමේ දෛනික දිරි දීමනාවක් වශයෙන් රුපියල් 200  ක් ඔවුන්ට ගෙවීමට මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  විසින් 2026 අයවැය ඉදිරිපත් කිරීමේදී යෝජනා කරන ලදී. ඒ අනුව, එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 5,000 ක ප්‍රතිපාදන 2026 වර්ෂයේ අයවැය මඟින් වෙන් කරනු ලැබ ඇත. ඒ අනුව, රජය විසින් ගෙවීමට යෝජිත දිරි දීමනාව 2026 ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මාස 06 ක කාල සීමාවක් සඳහා අදාළ වැවිලි සමාගම් හරහා ගෙවීමටත්, ඉන් අනතුරුව එකී දිරි දීමනාව සෘජුව වතු කම්කරුවන්ගේ පෞද්ගලික බැංකු ගිණුම්වලට බැර කිරීමටත් අදාළ සියලු  පාර්ශ්වයන් විමසමින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, එකී ක්‍රම වේදය අනුගමනය කරමින් අදාළ දිරි දීමනාව වතු කම්කරුවන් වෙත ගෙවීම පිණිස කම්කරු අමාත්‍යවරයා  සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා  ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.