(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)

විදේශ රැකියාවල නියුතුව සිටියදී මරණයට පත්වූ, රෝගීවූ සහ අනතුරුවලට ලක්වූ රක්ෂණ වන්දි සඳහා හිමිකම් නොලබන විගමනික ශ්‍රමිකයින් සඳහා සේවක සුබසාධන අරමුදලෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වන්දි ලෙස පසුගියදා පිරිනැමීය.

සේවක සුභසාධන අරමුදල් කමිටුව ප්‍රතිලාභීන් 84 ක් සඳහා රුපියල් මිලියන 9.95 ක මුදලක් ප්‍රදානය කිරීමට අනුමැතිය ලබාදුන් බවත් ඒ අනුව බස්නාහිර පළාතේ ප්‍රතිලාභීන් 47 ක් සඳහා රුපියල් මිලියන 5.25 ක රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා අතින් ප්‍රදාන කළ බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.

සහන ප්‍රතිලාභ පිරිනැමීම විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරන රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා විදේශ ගතවන සියලුම ශ්‍රී ලාංකිකයන්ට නොමිලයේ රක්ෂණාවරණයක් හිමි වන බවත් එම රක්ෂණාවරණයේ ලියාපදිංචි වලංගු කාලසීමාව තුළ මරණ වෙනුවෙන් සහ බරපතල රෝගී තත්ත්වයන්, අනතුරු සහ  හිරිහැර සඳහා වන්දි හිමිවන බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ආවරණය නොවන අවස්ථාවලදී ඉතාමත් සාධාරණ හේතූන් සඳහා මානුෂීය පදනම මත සලකා බැලීම සඳහා සේවක සුබසාධන අරමුදලෙහි විශේෂ කමිටුවට යොමුකරනු කරන බවත් එම කමිටුව ගන්නා  තීරණයන් මත සහන සළසන බවත් එම කාර්යාංශය කියයි.