ශ්‍රී ලංකා සංචාරයට පෙර, වියට්නාම ජනාධිපති ටෝ ලෑම්, ඉන්දියාවේ සංචාරයක නියැලුණු අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති ටෝ ලෑම් අතරේ හමුවක් පැවැත්විණි.

කලාපීය සහ ගෝලීය කරුණු පිළිබඳ මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු විය.
වියට්නාමයේ ජනාධිපතිවරයා ලෙස දෙවැනි වරටත් තේරී පත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මෝදි, ලෑම් වෙත් සුබ පැතුම් එක් කළ අතර, ඔහුගේ නායකත්වය යටතේ වියට්නාමය එහි සංවර්ධන අභිලාෂයන් කරා අඛණ්ඩව ඉදිරියට යනු ඇතැයි විශ්වාසය පළ කිරීමට ද අමතක කළේ නැත.

ඉන්දියාවේ ජාතික සංවර්ධනය, ඉහළ ආර්ථික වර්ධනය මෙන්ම බහුපාර්ශ්විකවාදය ශක්තිමත් කිරීමට සහ ගෝලීය දකුණේ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට ඉන්දියාව ගෙන ඇති මූලාරම්භයන් අගය කරමින් ජනාධිපති ලෑම් අග්‍රාමාත්‍ය මෝදිට සුබ පැතුම් පිරිනැමීය.

ඉන්දියාව සහ වියට්නාමය අතර සබඳතා තවදුරටත් ගැඹුරු කිරීම දෙරටේ ජනතාවට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ගෙන දෙනු ඇති බවත්, ඉන්දියාවේ ‘විකසිත් භාරත් 2047‘ සහ වියට්නාමයේ ‘විෂන් 2045‘ යන ජාතික ඉලක්ක සපුරා ගැනීම සඳහා අර්ථාන්විත දායකත්වයක් ලබා දෙනු ඇති බවත් නායකයෝ අවධාරණය කළේ යැයි ද පැවැසෙයි.

ගෝලීය සහ කලාපීය භූ දර්ශනයේ සිදුවන පරිවර්තනීය වෙනස්කම් පිළිබඳව පොදු අදහස් බෙදාගත් නායකයින් දෙපළ, අන්‍යෝන්‍ය විශ්වාසය, ගෞරවය, අවබෝධය සහ බොහෝ ක්ෂේත්‍ර ඔස්සේ පවතින ඵලදායී සහයෝගීතාවය මත පදනම් වූ ශක්තිමත් සබඳතාව පිළිගෙන ඇති බව පැවැසෙයි.