(විමුක්ති එස් රුද්‍රිගු)

මෙවර ලෝක සාම දර්ශකයේ ස්ථාන 14 ක් ඉදිරියට එමින් දකුණු ආසියාවේ දෙවැනි ස්ථානයට සාමකාමීම රට වීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇත. දකුණු ආසියානු කලාපයෙන් ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින්නේ භූතානය පමණි.

ආර්ථිකය සහ සාමය සඳහා වූ ආයතනය වාර්ෂිකව නිකුත් කරනු ලබන මෙම දර්ශකයේ ලකුණු 1.91ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව 67 වැනි ස්ථානය ලබාගෙන ඇත. මෙවර ශ්‍රේණිගත කිරීමේ ඉන්දියාව ස්ථාන තුනක් පහළට යමින් 127 වැනි ස්ථානය ලබාගෙන ඇති අතර පාකිස්තානය ස්ථාන 6ක් පහළට යමින් 152 වැනි ස්ථානය ලබාගෙන තිබේ.

භූතානයට ශ්‍රේණිගත කිරීමේ 16 වැනි ස්ථානය හිමිව ඇති අතර ලොව සාමකාමීම රට ලෙස අයිස්ලන්තය කිරුළ හිමිකරගෙන ඇත. ලෝක සාම දර්ශකයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් නවසීලන්තයත්, ස්විට්සර්ලන්තයත් හිමිකරගෙන ඇත.

ශ්‍රී ලංකාව පසුගිය වසරේ 91 වැනි ස්ථානය හිමිකරගත් අතර එම දර්ශකයේද පළමුවැනි ස්ථානය අයිස්ලන්තය හිමිකරගෙන තිබුණේය.

පසුගියදා දර්ශකයේ දෙවැනි ස්ථානය ස්විට්සර්ලන්තය හිමිකරගෙන තිබූ අතර තෙවැනි ස්ථානය නවසීලන්තය හිමිකරගෙන තිබිණි.

ආර්ථිකය සහ සාමය සඳහා වූ ආයතනය වාර්ෂිකව මෙම දර්ශකය නිකුත් කරනු ලබන අතර රටවල් සහ ස්වාධීන භූමි 163 ක් පදනම් කර ගනිමින් මෙම දර්ශකය පිළියෙළ කරනු ලබයි.

කෙසේ නමුත් මෙවර දර්ශකය නිකුත් කරමින් ආර්ථිකය සහ සාමය සඳහා වූ ආයතනය පෙන්වා දී තිබුණේ පසුගියදා වසරට සාපේක්ෂව මෙම වසරේදී ලෝක  සාමය සියයට 0.7 කින් පහළ ගොස් ඇති බවත් ලෝක සාමය අඛණ්ඩව පිරිහුණු 12 වැනි වසර මෙය බවත්ය.